මාපලගම සෝමිස්සර හිමි
සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා
මහරජ! ධර්මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයම්හ. ඔබට ම අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියම්හ.
මේ බෞද්ධ ලංකාවක් ඇති කරනු සඳහා මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ වදාළ ප්‍රථම වචනයයි. දිග් විජය අත්හළ ධර්මාශෝක නරනාථයෝ ධර්ම විජය ආරම්භ කළහ. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේ ධර්ම විජය පිළිබඳ අනගිතම පණිවුඩය මුර්තිමත් කරමින් ශාන්තියේ දූතයන් වශයෙන් ලංකාවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පවුවට වැඩ වදාළහ. ජම්බුද්වීපයෙන් ලංකාවාසීන්ට අනුකම්පා පිණිස මෙහි වැඩම කළ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ කරණ කොට ගෙන ලංකා භූමියේ ඇතිවුණ මහා වෙනස මෙනෙහි කිරිම අපට පොසොන් දිනයේ කළ හැකි හොඳම පොසොන් භාවනාවයි. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ නිසා ම ජම්බුද්වීපයේ ගංගා නිම්නයේ පැතිර පැවැති ධර්මය ලංකාවට අසහාය ශාන්තිකර වූ අතිවිශිෂ්ට ධර්ම සම්ප්‍රදායයක් බවට පත්විය.
අනුබුදු මිහිඳු මහරහත් මාහිමියන් වහන්සේ ලංකාවට වැඩමවීමට ප්‍රථමයෙන් මෙරට පැවති ආගමික තත්ත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අපට මහාචාර්ය සහ දීපවංසයත් මුඛ පරම්පරාගත ජන කථාත් පුරා විද්‍යාවත් සහාය වෙයි. පුරාණ ලංකාවේ සභ්‍යත්වය හා සංස්කෘතිය පිළිබඳ තිබෙන හැම දෙයක් ම මහින්දාගමනයෙන් පසු ව ඇතිවුණු ඒවා බව ස්ථිර වශයෙන් අපට නිගමනය කළ හැකිය. පුරා විද්‍යාව - වාස්තු විද්‍යාව- ප්‍රතිමා ශිල්පය හා චිත්‍ර කලාව ආදී කලාත්මක අංශයන් දෙස බැලුවත් පුරාණතම ශිලා ලේඛන දෙස විමසුවත් අපට හමුවන්නේ දෙවන පෑතිස් රජු සමයේ මිහිඳු මාහිමියන්ගේ ලංකාවතරණයෙන් පසුව ආරම්භ වුණු බෞද්ධ සංස්කෘතිය යි.
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධය තිබුණු බව යම් යම් සිද්ධීන් දෙස විමසන කල්හි පැහැදිලි වෙයි. ඈත අතීතයේ ලංකාවත් එකට එක්වී \බුණු බවට ඉන්දියාවේ ධනුස්කොඩියත් ලංකාවේ තලෙයිමන්නාරමත් අතර පිහිටි ‘ආදම් ගේ් පාලම’ සාක්ෂ්‍යයක් වශයෙන් භූ විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කොට තිබේ. ලංකාව මුහුදෙන් වෙන් වූවාට පසු ඉන්දියාවේ ඇතිවුණු හැම විපර්යාසයක් ම ලංකාවේ ද බලපෑවේ ය. භාරතයේ ආභාසය ආදියේ සිට ම ලංකාවට ලැබුණු නමුදු එය නියම වශයෙන්ම ක්‍රමානුකූලව බලපාන ලද්දේ මිහිඳු මහා හිමියන් ගේ වැඩමවීමෙන් පසුවය. බෞද්ධ සංස්කෘතියක නියම ලක්ෂණ අපට දක්නට ලැබෙන්නේ දෙවනපෑතිස් නිරිඳුන් ගේ රාජ්‍ය කාලයේ පටන් ය. විජය රජු ගේ ලංකාවට පැමිණීමත් සමග ම සිංහල ඉතිහාසය ආරම්භ විය. විජය කුමරු ලක්දිවට පැමිණෙන අවධියේ මෙහි යක්ෂ ගෝත්‍රිකයන් ද වාසය කළ බව හෙළි වෙයි. විජය කුමරු ඇතුළු පිරිස ගොඩ බසින ලද්දේ යක්ෂ ගෝත්‍රිකයන් වාසය කළ පෙදෙසට ය.
විජයාවතරණයේ සිට මහින්දාගමනය දක්වා ලංකාවේ පැවැති සාමයික ඇදහිලි ක්‍රම ගැන වංශකථාවන්හි හා සමන්තපාසාදිකා විනයට්ඨකථාවෙහිත් ස්වල්ප වශයෙන් සඳහන් ව ඇත. ප්‍රාග් යුගයේ එනම්, බුද්ධාගමට කලින් මෙහි පැවැති ප්‍රධාන ලබ්ධි වශයෙන් බ්‍රාහ්මණ, ආගම -ෙෙ ජනාගම - යක්ෂයන් සහ වෘක්ෂ දේවතාවන් පිදීම යන ඇදහිලි ක්‍රම දැක්විය හැකිය. අපේ වංශ කථා ආදියෙහි සඳහන් වන හැටියට විජය කුමරු ඇතුළු පිරිස ගේ් ලංකාවතරණය සිදුවූයේ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවුණු දිනයේ ය. එදා පටන් ලක්දිව බ්‍රහ්මාගමය පැවැති බව සිතිය හැකිය. විජය කුමරුන් සමග පැමිණි පිරිස අතර බමුණෝ ද සිටිය හ. විජය රජුගේ පුරෝහිතයා වූ ද කලක් ලංකාවේ අගනුවර වශයෙන් පැවැති උපතිස්ස ගම ඉදිකරන ලද මූලිකයා ද වූ උපතිස්ස එයින් කෙනෙකි.
ක්‍රි. පූ. සතරවැනි ශත වර්ෂයේ රජ කළ පණ්ඩුකාභය රජතුමා කුඩා කාලයේ ශාස්ත්‍රොද්ග්‍රහණය කෙළේ පණ්ඩුල නම් බ්‍රහ්මණයා යටතේ් බව මහාවංසයෙහි සඳහන් වේ. එම බ්‍රාහ්මණයා ගේ් පුත්‍රයා පසුව පණ්ඩුකාභය රජතුමා ගේ් පුරෝහිත තනතුරට ද පත් වූයේ ය. දෙවනපෑතිස් නිරිඳුන් අශෝක චක්‍රවර්තීන් හට තුඩු පඬුරු යවන විට අරිට්ඨ කුමරුන් සමග ගිය දූත පිරිසෙහි බ්‍රාහ්මණයකුª විසූ බව අපේ මහාවංසයෙහි දැක්වෙයි. ලංකාවේ බුද්ධාගම පිහිටුවන්නට කලින් බ්‍රාහ්මණ බලය ශක්තිමත් ව තිබුණු බව මේ කරුණු වලින් පැහැදිලි වෙයි.
Last edited: