පැහැරගෙන ගොස් බොරැල්ල කනත්තේ දමා ගිය ජනශක්ති සභාපති මරුට
බොරැල්ල සුසාන භූමිය තුළදී ගෙළ සිර වන සේ පිරිසකගේ වධහිංසාවට ලක් වී සිටි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (දෙසැ. 15) රාත්‍රී මියගිය බව බොරැල්ල පොලිසිය පවසයි.
මියයන විට ඒ මහතා 51 හැවිරිදි වියේ පසුවිය.
රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබා දීමට නියමිත පුද්ගලයෙකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසමින් කුරුඳුවත්ත මල් පාර නිවසින් සභාපතිවරයා ඊයේ දහවල් පිටත්ව ගොස් තිබූ බව පොලිසිය පැවසීය.
ඔහුගේ බිරිඳ මද වේලාවකදී ඔහුට දුරකතන ඇමතුම් ලබා ගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකතනය ක්‍රියා විරහිත වී තිබී ඇති අතර බිරිඳගේ ජංගම දුරකතනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියෙයකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇති අතර ඔහු කළ සොයා බැලීමේදී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියැදුරු අසුන මත ඔහුගේ අත් දෙක ගැට ගසා ගෙළට වයරයක් දමා සිරකර තිබෙන අයුරු දැක තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව, විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයෙකුගේ උදව් උපකාර ඇතිව සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙළ තද වන ලෙස ගැටගසා තිබූ වයර් ඉවත් කර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය සඳහන් කළේ ය.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සභාපතිවරයාගේ කිසිදු ප්‍රකාශයක් ගැනීමට නොහැකි වන ලෙස ඔහු දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවත් ඊයේ රාත්‍රී 11.30ට පමණ ඔහු මියගිය බව ත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයෙකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයෙකු දැක තිබූ බව පොලිසිය කියයි.
ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාගෙන් ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිලි තුනක් ද සභාපතිවරයා සිදුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කිසියම් පිරිසක් එක්ව සභාපතිවරයා පැහැරගෙන සුසාන භූමිය වෙත රැගෙන විත් මෙලෙස වද හිංසා කර ගෙළ සිර කිරීම හේතුවෙන් ඝාතනය වන්නට ඇති බව බොහෝ දුරට සැක කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියක් සඳහන් කළේ ය.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්.ආර්. සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
https://mawbima.lk/2022/12/16/dines...ed-inside-a-car-at-borella-cemetery-has-died/
------
Post added on Dec 16, 2022 at 2:05 AM