1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබඳ පනතේ 110වන වගන්තියේ විධිවිධාන අනුව එළැඹෙන මැතිවරණයේ දී ස්වකීය ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු ලබාදෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තිකයෙකුට ම නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමසාරිස් මහන්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේ දෙනු ලබන නිවාඩු කාලසීමාව අනියම් සේවා නියුක්තිකයන්ද ඇතුළු ව සියලු ම සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු වන අතර එය සේවා නියුක්තිකයාගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතුය.
සේවා නියුක්තිකයෙකුට මෙම කාර්යය සඳහා දෙනු ලබන නිවාඩු කාලසීමාව එම සේවා නියුක්තිකයාගේ කාර්ය ස්ථානයේ සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත සේවායෝජකයා විසින් නිගමනය කළ යුතු වේ.