සියල්ලෝම කියවත්වා.
“සමහරවිට” බොහෝ ගණනක් ජීවිත බේරා ගැනීමට හැකි වේවි.
කොවිඩ් 19 අත්දැකීම්...!
අගෝස්තු 14 වෙනි සෙනසුරාදා උදෑසන මා අවදි වූයේ සෙම්ගෙඩි සෑදීගෙන එන විට දැනෙන උගුරේ අපහසුව හා සමාන දැනීමක් සමඟය. එදින දවස පුරා යන්තමින් දැනුණු හිස රිදීමක් හැර වෙනත් ලොකු ප්‍රශ්නයක් නොවීය. මේ වෙන විට මා දිනපතා, එක හුස්මකින් ගණන් කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම ආරම්භ කර තිබිණි. උණ නැත. දිව යටින් උපකරණය තබා පරීක්ෂා කිරීමේදී පවා මගේ උෂ්ණත්වය පෙන්වන්නේ 97.2ට අඩුවෙනි. සමහරවිට, උණ කටුවේ (Thermometer) ලෙඩක් විය හැකිය. කොහොමටත් මා කූල් කොල්ලෙකි.
සෙනසුරාදා රාත්‍රී ආහාර වේල සාදා තිබුණේ ලුණු අඩුවෙනි. කෑමෙහි කිසිම ගතියක් නැත. බඩ ගින්න නිසා බත් කටවල් කිහිපයක් අනුභව කර ඉතිරිය වීසි කර දැමුවෙමි.
ඉරිදා (අගෝස්තු 15) උදෑසන උගුරේ අපහසුව වැඩි වී ඇති බව දැනිණි. ඒ මදිවාට ඔලුවත් යන්තමින් රිදෙන්නේය. හෙම්බිරිස්සාව හැදෙන්නට එනවා වගේ දැනේ. ශරීර උෂ්ණත්වය (දිව යට) පරීක්ෂා කළෙමි. 98.1 කි. බෙල්ලේ පිටුපස කැක්කුමක් අලුතින් සෑදී තිබිණි. නිවසේ සිටින බැවින් කාමරයමට වී සිටියෙමි. දවසම ෆෑන් එකක් දමා සිටි නිසාදෝ පැයෙන් පැයට පරීක්ෂා කළත් ශරීර උෂ්ණත්වයේ සැලකිය යුතු වැඩිවීමක් නොමැත. උපරිමය තිබුණේ 98.7ය. හවස් වෙන විට එම අගයත් අඩුවිය. මා සාමාන්‍යයෙන් අධි රුධිර පීඩනයට භාවිතා කරන ඖෂධ (Losartan Potassium 50mg / Ecosprin 75mg) හැරුණු විට කොත්තමල්ලි වේල් දෙකක් පමණ මේ වන විට ලබා ගෙන තිබිණි. උදෑසන දුම් ඇල්ලුවෙමි. වෙනසක් නැත. ක්‍රමානුකූලව අපහසුතා වර්ධනය වන බව හැඟෙමින් තිබිණි. එය බොහෝ විට දවසම එකම ආසනයක වාඩි වී පරිගණකයේ එල්ලී සිටීම නිසා බව සිතුවෙමි.
කෙසේ වෙතත් නරකම දේ අපේක්ෂාවෙන් සිටි බව මෙහි සඳහන් කළ යුතුය.
නිවසේ සිටින දිනවල හවස් වෙන විට බුලත් විටක් කන්නටම සිතේ. නිවසට ආසන්න කඩෙන් ගෙන්නා ගත් බුලත් විටක් සැපීමි. බුලත් පුවක් හුණු දුම්කොළ කුරුඳු සහ කරාබුනැටි සහිත විටක් ඒදා ගත් විට එය රස සංකලනයකි. එම සුපුරුදු රසයන් විටෙහි නොතිබුණු බව මතකයට නැගේ. නිකම් ලී කැබලි සපන විට මුවට දැනෙන හැඟීමට ආසන්න මොකක්දෝ එකක් පමණක් තිබුණු බවත්, විටෙහි සුපුරුදු රසය නැති නිසා එපා වූ බවත් මතක් වුණේ පසුවදා වැඩේ හරියටම නිගමනය කිරීමෙන් පසුව ය.
සඳුදා (අගෝස්තු 16) උදෑසන දත් මදින විට දන්තාලේපයේ රස නොදැනෙන බවත්, සුවඳ කිසිසේත් නොදැනෙන බවත් (එය මින්ට් සුවඳති ලෙමන් රසැති දන්තාලේපයකි) කිසිම රසත් නැති බවත්, නිකන් මැටි වැනි යමක් මුවෙහි ඇති බවත් හැඟිනි. “නරකම දේ” මටත් ආසාදනය වී ඇති බව තේරුම් යමින් තිබිණි.
මා ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා දෙකම ලැබූ අයෙක් වුවත් මාත්‍රා දෙක අතර පරතරය මාස 5කුත් සති දෙකක් විය. වෙනත් කිසිදු පැණියක් හෝ කෙමක් කොරෝනා වැළැක්වීම පිණිස ලබා ගෙන නොමැත. විද්‍යාත්මක සාක්ෂි අනුව එන්නත් දෙකම ලබා ගත්තත් කොරෝනා ආසාදනය විය හැකිය.
මේ මොහොත වන විට උගුරේ අපහසුව යම් තරමකින් වේදනා දෙන තත්වයක් දක්වාත් නාසය සිරවූ ගතියක් දක්වාත්, කොන්ද පිටුපස වේදනාව, බෙල්ල පිටුපස වේදනාව, කකුල්වල දහ වැලමිට සන්ධිවල වේදනා සිදධාලේප තැවරීමට සිතෙන තරම් වර්ධනය වී තිබුණේ ය. මා මිත්‍ර, රාගම රෝහලේ වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා හට දුරකතනයෙන් අමතා රෝග ලක්ෂණ පවසා සිටියෙමි. ඔහු පැවසුවේ නිවැසියන් හා මුසු නොවී හැකිතාක් තනිවම සිටින ලෙසත් හෙට වෙන තුරු ඉවසා සිට ඇන්ටිජෙන් පරීක්ෂණයක් කර ගන්නා ලෙසයි. ඇන්ටිජෙන් කර ගැනීමට ආසන්නම නගරය වරකාපොල යි. පළාත් අතර ගමනාගමනය දැඩි ලෙස සීමා කර ඇති බව රජය නිවේදනය කර තිබිණි. මා බස්නාහිර පළාතේ කොනේ ය. වරකාපොළ සබරගමු පළාතේ ය. දේශසීමා පැනීම ලේසි නැත. නිට්ටඹුවට යා යුතුය. අවම වශයෙන් ත්‍රීවීල් රථයක් කැන්දා ගත යුතුය. ඇත්ත කිව්වොත් මොන තරම් යාළු මිත්‍රයන් වුවත් මඟහරින බව සහතිකය. බොරු කියා එක්ක එක්ක යාම මගේ ප්‍රතිපත්තිය නොවේ. මට රෝගය ආසාදනය වූ බව සැබෑය. නමුත් මගෙන් කිසිවෙකුටවත්, අවම වශයෙන් නිවසේ කිසිවෙකුටවත් රෝගය බෝ නොවිය යුතුය. මා මිය ගියත් මගේ ප්‍රතිපත්තිය එයයි. ප්‍රශ්න ගොඩකි. ඩොක්ටර් මොනවා කිව්වත්, මට ලෙඩේ ඇවිත් දැයි සැක හැර දැන ගැනීමේ උවමනාවක් මට තිබුණත් ඇන්ටිජෙන් එකක් හෝ පීසීආර් එකක් කර ගැනීමට යාම මා සමඟ ගමන් කරන සෙසු අයත් අවදානමක හෙළිමක් කියා හැඟීමක් ඇතිවිනි.
ගඳ සුවඳ දැනීම අඩුවීමක්ද, නැත්නම් මා හට සිදුවූ වැරදීමක්ද කියා තහවුරු කර ගැනීමේ දැඩි වුවමනාවක් ඇති විය. නිවස ඉදිරිපිට වැවී තිබෙන මදුරුතලා ගස සොලවා බැලුවෙමි. වෙනදා ගස සොලවා තත්පර ගණනික් පරිසරයම සුවඳවත් වේ. නැත. යන්තමින්වත් නොදැනේ. වත්තේ ඉහල කොටසේ යකිනාරං, දෙහි, නාරං, සහ ගඳපාන වැනි, පත්‍ර පොඩිකළ විට ප්‍රබල සුවඳක් හමන ශාක තිබේ. වත්තේ ඉහලට යාමට ගල් පඩි දිගේ නගින විට වෙනදා නොතිබුණු හතියක් මහන්සියක් දැනුනත් යකිනාරං පැලය අසලට ගොස් කොළයක් පොඩි නාසයට හොඳටම කිට්ටු කර බැලුවෙමි. හැකිතාක් නාසයට ලංකොට ඉඹ බැලුවෙමි. කිසිදු සුවඳක් නැත. වඩා සැර සුවඳක් සහිත ගඳපාන ශාකයත් ඒ අසලම නිසා එහි කොළයක්ද පොඩිකර බැලුවෙමි. එහිත් සුවඳක් නැත. යන්තමින් මොනවාද දැනේ. නමුත් සුපුරුදු ආකර්ශණීය ටර්පන්ටයින් වැනි ආවේනික සුවඳ දැනෙන්නේ නැත. දැන් වැඩේ තහවුරුය. අතේ ෆෝන් එකද තිබුණු නිසා පඩිපෙලෙහි වාඩි වුණෙමි. එතන සිට ෆේස්බුක් බලමින් කල්පනා කළේ ඉදිරි කටයුතු කර ගන්නා ආකාරයයි. ඔළුව පිස්සන් කොටුවක් වගේය.
රස දැනීම අඩුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීමේ හැඟීමක් ඇතිවිය. වාඩිවී සිටි තැනට වම් පැත්තෙන් මා විසින්ම සිටවූ පැලයක කොළ දෙකක් කඩා සරමෙහි පිස දමා සැපුවෙමි. කිසිම රසක් නැත. කඩදාසි කෑල්ලක් කෑවා හා දැනේ. ඊයේ රාත්‍රියේ සැපූ බුලත් විටෙහි රසයක් නොදැනී නිකන් ලී කෑලි සපනවා වගේ හැඟීමක් තිබුණු බවත් ජරා පුවක් යැයි සිතමින් බුලත්විටය වීසි කළ බවත් මතක් වූයේ එවිට ය. කෑම රස නොවීමට හේතුව පැහැදිලිව තේරුම් ගැනීමට හැකි වූයේ එම තිත්ත කොළයේ රසය නොදැනීම තේරුම් ගැනීමෙන් පසුව ය.
එන දේට මුහුණ දීම හැර වෙන කිරීමට දෙයක් නැත. ෆේස්බුක් එකේ දුටු හුස්ම ගැනීමට නොහැකිව වද විඳින මිනිස් මුහුණු මැවී පෙණිනි.
එසේ පැයක් පමණ සිටියාට පසුව “කොත්තමල්ලි හැදුවා.. බොන්න එන්න” යනුවෙන් මා අමතන හඬ ඇසිනි. උදේ කිසිවක්ම ආහාරයට නොගත් බවත් දැඩි කුසගින්නක් ඇති බවත් හැඟිනි. කාමරය අසලට ගොස් බලන විට කෑම ගෙනවිත් තැබීමට තැබූ බංකුව උඩ කොත්තමල්ලි හකුරු සමඟ ෆෘට් ඇන්ඩ් නට්ස් කේක් කෑල්ලකි. කොත්තමල්ලිවලට වඩා මට ඒ මොහොතේ අවශ්‍ය වී තිබුණේ කුසට යමක් දමා ගැනීමට ය. ඒ තරම්ම කුස ගින්නක් දැනිනි. කේක් කෑල්ල අතට ගතිමි.
අදහා ගත නොහැක. මට කේක් කෑල්ලේ සුවඳ දැනේ. මට පිස්සු නොහැදුණා පමණි. මෙරට තිබෙන ප්‍රබලම සුවඳක් තිබෙන ශාක පත්‍රවල සුවඳ නොදැනී පැයක් ගතවී නැත. සාපේක්ෂව යන්තම් සුවඳක් ඇති කේක්වල සුවඳ දැන් දැනේ. කේක් කෑල්ලේ කොළ පාට කෑල්ලක් කඩා එය රස බැලුවෙමි. සුපුරුදු රසය දැනේ. කේක් කෑල්ල ආපසු පීරිසියේ තබා හකුරු කෑල්ල ගෙන සිඹ බැලුවෙමි. හකුරුවලට ආවේනික සුවඳ දැනේ. කොත්තමල්ලි කෝප්පයේද සුවඳ දැනේ. ගත වූ විනාඩි 50ත් පැයත් අතර මහා වෙනසක් සිදුවී තිබේ.
ආපස්සට කල්පනා කර බැලුවෙමි. අවස්ථා සම්බන්ධය ඉතාම වැදගත් ය. මා දත් මැදීමෙන් පසුව මුවට ගත්තේ “දෙහි කොළ දෙකක්” පමණි. සපා දිවේ එහාට මෙහාට පෙරලමින් සිටියා මිස කෙළ ගිල්ලේ නැත. විනාඩි 5ක් පමණ හපය කටේ තියෙන්නට ඇත. නිසැකවම මේ වෙනස ඇති කරන්නට ඇත්තේ දෙහි කොළ විසිනි.
එය බරපතල ලෙසින් සැලකිය යුතු අහඹුවකි. මා දෙහි කොළ සැපුවේ රස දැනෙන ස්නායු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා ය. එම අහඹුව මගින් කොරෝනා කොවිඩ් -19 රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයක් තාවකාලිකව හෝ මගේ ශරීරයෙන් ඉවත්වී තිබේ. එතරම් ක්ෂණික වෙනසක්; ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මගින් පමණක් රෝගයක ප්‍රධාන රෝග ලක්ෂණයක් ඉවත්විය නොහැකි බව දනිමි. එම නිසා, කොවිඩ් -19 රෝග ලක්ෂණය ඉවත් කළ එකම බාහිර බලපෑම විය යුත්තේ විනාඩි කිහිපයක් කටේ තබා ගත් දෙහි කොළ හපය මගින් මගේ ශරීරයට එකතු වූ රසායනිකයක බලපෑමකි.
කේක් කෑල්ල ඉතාම රසවත්වය. අවුරුදු 54ක ජීවිතය තුළ මෙතෙක් කෑ රසවත්ම කේක් කෑල්ල එයයි. හකුරුත් සමඟ කොත්තමල්ලි දිව්‍ය පානයක් සේය. ඒ මොහොතේ සිතේ ඇති වුණු සතුට නිසා මට දැනුණු ආකාරයයි.
දෙහි කොළයේ තිබෙන යම් රසායනකයක් කොවිඩ් 19 වෛරසය විසින් මගේ ශරීරය වෙත එල්ල කළ බලපෑම යම් ප්‍රමාණයකින් මැඩ පැවැත්වීමේ මෙහෙයක් ඉටු කළ බව අවබෝධ කර ගතිමි.
කොත්තමල්ලි කෝප්පය පානය කිරීමෙන් පසුව නැවත දෙහි ගස අසලට ගොස් කොළ දෙකක් කඩා ටැප් එකට අල්ලා සෝදා සැපුවෙමි. දැන් තිත්ත සහ පැඟිරි රස මුසුව ඉතා හොඳින් දැනේ. කොළ දෙකකින් රස සුවඳ ගඳ දැනීම සාමාන්‍ය අතට පත් වුණා නම් කොළ දෙකක බලපෑම හොඳටම ප්‍රමාණවත් යැයි තීරණය කළෙමි. වරකට දෙහි කොළ දෙක බැගින් යනුවෙන් තීරණයක් ගතිමි. පරීක්ෂණයට භාජනය කරන්නේ මගේ ශරීරයයි. එයට කාගෙන්වත් තහනමක් නැත. කාටවත් තහනම් කළ නොහැකිය. උගුරේ වේදනාව, බෙල්ලේ පිටුපස වේදනාව, හන්දි කැක්කුම් සහ යන්තමින් දැනෙන හිසරදය දිනය අවසන් වෙන තුරු පැවතිනි.
රාත්‍රී නින්දට පෙර පරීක්ෂා කිරීමේ දී එක හුස්මකින් ගණන් කළ හැකි ගණන 17 සිට 25 දක්වා වර්ධනය තිබිණි.
පසුදා උදෙත් (අගෝස්තු 17) තේ පානයෙන් පසුව දෙහි කොළ දෙකක් සැපුවෙමි. ඒ වන විට අත්හදා බැලීම සඳහා බුලත් විටක් සේ සම්පූර්ණයෙන් ක්‍රීම් එකක් වෙන සේ හපමින් දිවෙන් වමට, දකුණට පෙරලමින් විනාඩි 8ක් පමණ මුව සම්පූර්ණයෙන් කෙළවලින් පිරී යන තෙක් තබා සිටියෙමි. විනාඩි 8කට පමණ පසුව කෙළ ගැසීමි. දිනය අවසන් වෙන විට උගුරේ අමාරුව සහ හිසරදය පැනඩෝල් පෙත්තක්වත් නොබී වේදනාවක් නොදැනෙන තරමට අඩු වී තිබිණි.
“දවසට දෙවරක්; මේරූ තද කොළ පැහැති දෙහි කොළ දෙකක්, ශාකයෙන් නෙළා ගත් සැනින්, පත්‍ර නොතලා ගලා යන වතුරෙන් සෝදා බුලත් හපයක් සේ (pulp or cream) වනතුරු තොල් වසා ගත් මුව තුළ හපා විනාඩි 8ක් වමට දකුණට දිවෙන් පෙරලමින්... කෙළ ගිල දැමීමක් අවශ්‍ය නොවන බව”මගේ ශරීරය යොදා ගනිමින් කළ පරීක්ෂණයේ ආසන්නතම නිගමනයක් සේ සඳහන් කරමි.
නින්දට පෙර පරීක්ෂා කිරීමේදී එක හුස්මකින් ගණන් කළ හැකි ගණනෙහි සාමාන්‍ය අගය 34ක් දක්වා වර්ධනය වී ඇති බව සතුටින් සිහි කරමි. එම පරීක්ෂාව කරන්නේ මෙසේය. ලොකු හුස්මක් ගන්න. පිටතට ඇසෙන පරිදි එකේ සිට ඉදිරියට ගණන් කර ගෙන යන්න. නැවත හුස්මක් (ආශ්වාස) නොගෙන ගණන් කළ හැකි උපරිම අගය මතක තබා ගෙන අවම වශයෙන් තුන් වතාවක් වත් පරීක්ෂාව කර එහි සාමාන්‍ය අගය ගන්න. එමගින් ඔබගේ පෙනහලුවන ශක්තිය තේරුම් ගත හැකි බව අන්තර්ජාලයේ සංසරණය වූ විශේෂඥ වෛරවරයෙකු විසින් නිකුත් කළ වීඩියෝවකින් දැන ගැනීමට ලැබිණි.
මා අනුගමනය කරනු ලැබුවේ එම වෛද්‍ය උපදේශයයි.
.....