අද එන්න බෑලු-ලබන බදාදා එන්නම්ලු
අද දිනයේ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටින ලෙස බැඳුම්කර කොමිසම මඟින් සිතාසි යවා තිබුණද අද දිනයේ ඒ මහතාට කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බව නීතීඥයින් මාර්ගයෙන් දන්වා තිබේ.
අද දිනයේ ආරක්ෂක කවුන්සිලයේ ඇති වැඩසටහනක් හේතුවෙන් කොමිසම හමුවේ පෙනීසිටිය නොහැකි බවත්, හෙට සහ අනිද්දා දිනයේ පාර්ලිමේන්තු හේතුවෙන් කොමිසම හමුවේ පෙනීසිටිය නොහැකි බවත්, සඳුදා දිනයේ මාලදිවයින් සංචාරයක් සඳහා සහභාගීවීම හේතුවෙන් කොමිසම හමුවේ පෙනීසිටිය නොහැකි බවත් ඒ මහතා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ඒ මහතාට නැවත කොමිසම හමුවේ පෙනී සිටිය හැක්කේ ලබන බදාදා දිනයේ බවත් ඒ මහතා දැනුම් දී ඇති බව සඳහන්ය.
විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට අද(26) දිනයේ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන හා පරීක්ෂණ සිදු කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
රවී කරුණානායක මහතාට ඊයේ(25) දිනයේ බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි බාරදී තිබුණි.
එහෙත් කැබිනට් රැස්වීමට සහභාගි වීම හේතුවෙන් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඔහු නීතීඥවරයෙකු මාර්ගයෙන් කොමිසමට දැනුම් දී ඇති බව සඳහන්ය.
ඒ හේතුවෙන් අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි යවා තිබුණි.