Gota’s War –

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    gotas-war.jpg



    ප්‍රවීණ මාධ්‍යවේදී සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම විසින් රචනා කරන ලද’Gota’s War’ නම් කෘතිය ඉකුත් දා එළි දැක්විණ. මෙරට ඊළාම්වාදයේ දේශපාලන පසුබිම සහ එය සන්නද්ධ ප්‍රකාශනයක් බවට පත් වූ ආකාරය යට කී කෘතියෙන් මොනවට අනාවරණය කෙරෙන්නේ මෙතෙක් අප නො දැන සිටි රහස් සහ ඉතා සුළු සිදුවීම් පවා චිත්‍රණය කරමිනි.
    එදා මෙදා ඊළාම්වාදයේ ගමන් මඟ, කොටි සංවිධානය සහ ප්‍රභාකරන් සම්බන්ධයෙන් පළ වී තිබු මත සියල්ල බැහැර කරන සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම, මූලාශ්‍ර කරාම ගමන් කොට අනාවරණය කරන්නේ කෙනෙකු මවිත කරවන තොරතුරුය. එය නිසැකයෙන්ම පෙරළිකාර කෘතියක් බවට විවරණ ලබා ඇත. ඒ සම්බන්ධයෙන් ලේඛකයා ලබා දුන් පළමු සම්මුඛ සාකච්ඡාවයි මේ.


    අපි මේ සාකච්ඡාව ඔබේ පොතේ පිට කවරයෙන්ම පටන් ගනිමු.”Gota’sWar” ? මේ නම තෝරා ගන්න හේතුව මොකක්ද?

    ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්න දේශපාලන අධිකාරිය තීන්දුවක් ගත්තට පස්සේ ඒ කටයුත්ත මෙහෙයවූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි. ඔහු කළ කාර්ය භාරය සිහිපත් කරන අදහසින් මේ පොතට ඒ නම තෝරා ගත්තා.


    නමුත් තනි පුද්ගලයකුට යුද්ධයක් දිනන්න බෑ.
    ඔව්. මේ පොත කියවන කෙනෙකුට වැටහෙනවා පුද්ගලයන් සහ පාර්ශ්වයන් කීයක් මේ කටයුත්තට සම්බන්ධ වෙලා හිටිය ද කියලා. විවිධ භූමිකාවන් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භූමිකාව වුණේ අර සියලු පුද්ගලයන්, සියලු පාර්ශ්වයන්, සහ ඔවුන්ගේ භූමිකාවන් එකට ගොනු කරලා එක අරමුණකට යෙදවීමයි. එය සුවිශේෂයි.


    ඔබේ පොතේ අවසන් පරිච්ඡේදය කියවත්දී මට හැඟුණේ යුද්ධය තවම අවසන් නැති බවයි?
    ඔව්. යුද්ධය වෙනත් ආකාරයකින් තවම පවතිනවා. මෝටාර්, ප්‍රභාකරන් සහ කොටි සංවිධානය නැති වුණත් වෙන පිරිසක් දැන් ඒ තැන අරගෙන යුද්ධයක් කරන්න හදනවා. ඒක රාජ්‍ය තාන්ත්‍රික යුද්ධයක්.


    ඊළාම් යුද්ධයේ රාජ්‍ය තාන්ත්‍රික යටි කූට්ටු වැඩ ඔබ මේ කෘතියෙන් මොනවට අනාවරණය කරනවා. ඇත්තටම ශ්‍රී ලංකාවේ හතුරෝ කවුද? මිතුරෝ කවුද?
    ඔය කාරණය මම අවස්ථානුකූලව විස්තර කරලා තියෙනවා. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන බටහිර ලැදි නායකයෙක්. ධනවාදී චින්තනයක් අනුගමනය කළ බටහිර මිතුරෙක්. නමුත් ඊළාම් යුද්ධයට මුහුණ දෙන්න ජයවර්ධන ජනාධිපතිට උදවු කළේ චීනය, පාකිස්ථානය, ඊශ්‍රායලය, රුසියාව කියන රටවල් කිහිපයක් විතරයි.
    මෙදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට උදවු කරන්න ආවෙත් ඒ රටවල්මයි. ඔන්න අපේ මිතුරෝ. එතකොට හතුරෝ කවුද? එංගලන්තය ශ්‍රී ලංකාවට සන්නද්ධ යුද රථ අලෙවි කළා. නමුත් ඊට පස්සේ කිව්වා ඒවා ක්‍රියාත්මක කරවන්න වුවමනා උණ්ඩ දෙන්න බැහැ කියලා. මේක සදාචාරය ගැනත් ප්‍රශ්නයක්. යම් භාණ්ඩයක් විකුණුවා නම් ඒක ක්‍රියාත්මක කරවන්න වුවමනා දේවල් සපයන්න ඕනේ. ඊටත් පස්සේ තුවක්කු නැතිව යුද රථ විතරක් ශ්‍රී ලංකාවට දුන්නා. මේ වගේ සිද්ධි ගණනාවක් මා සඳහන් කරලා තියෙනවා. මේ ගැටලුවේදී ඉතිහාසයේදී ශ්‍රී ලංකාව එක්ක හිටිය මිතුරෝ දිගටම මිතුරුකම් පෙන්නුවා වගේම හතුරෝ දිගටම හතුරුකම් පෙන්නුවා.


    ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ඇත්තටම වැදගත් වන්නේ සාම්ප්‍රදායක සතුරු – මිතුරු සංකල්පය ද? නැතිනම් ප්‍රායෝගික මිත්‍රත්වය ද?
    මොන ආණ්ඩුව තිබුණත්, මොන නායකයා හිටියත් වැදගත් වන්නේ ප්‍රායෝගික මිත්‍රත්වය විතරයි. සමාජවාදී – ධනවාදී – ඒකාධිපති හැටියට කියන දේශපාලන බෙදීම් මෙතනදී කොහෙත්ම අදාළ කාරණයක් නෙවෙයි. සදාචාරයක් ඇති ජාතියක් හැටියට ලිබියාවේ ගඩාෆි අපිට දුන්න වාචික පොරොන්දුව ගැන පවා අප ළඟ කෘතවේදීත්වයක් තිබිය යුතු බවයි මගේ අදහස.
    1991 කාලයේදී බටහිරට පක්ෂපාතී එජාප ආණ්ඩුවක් තිබුණත් කිසිම රටක් ශ්‍රී ලංකාවට ආයුධ විකුණන්න කැමති වුණේ නෑ. එදා අපිට ආයුධ දුන්නේ චීනය විතරයි කියා ඔබ සඳහන් කර තියෙනවා.
    ඔව්. ශ්‍රී ලංකාවට ආයුධ දෙන්න එපා කියලා චීනයටත් බලපෑම් එල්ල වුණා. චීනයත් යම් ප්‍රමාණයකට ඒ බලපෑම්වලට යටත් වන තත්ත්වයකට පත්ව හිටියත් ශ්‍රී ලංකාවට උදවු කළා.


    නමුත් චීනය පවා අදිමදි කරපු අවස්ථා තිබුණා?
    ඔව්. ඒ 1991 දී. එදාට වඩා අද චීනය අතිශය බලගතු රටක්. මේ චීනය බලපෑම්වලට යටපත් වෙන්නේ නෑ. ඔවුන් අපට විශාල වශයෙන් උදවු කළා.
    මේ කෘතියේ කොටස් දෙකක් දකින්න ලැබෙනවා. එක ඊළාම්වාදය මතවාදීව ප්‍රකාශයට පත්වීම, දෙක ඊළාම්වාදයේ සන්නද්ධ ප්‍රකාශනය. අප මෙතෙක් නොදැන සිටි ඉතා සුළු කාරණා පවා ඔබ අනාවරණය කරනවා. මේ තොරතුරු සොයා ගත් ක්‍රමවේදය මොකක්ද?
    1956 සිට මොකක්ද වුණේ කියා මා මූලික අධ්‍යයනයක් කළා. අනුන් පළ කළ අදහස් – මතවාද මත පදනම් වුණේ නෑ. මා මූලාශ්‍රවලටම ගියා. දැනුමටත් වෙනම සමාජ විද්‍යාවක් තියෙනවා. ලෝකයේ නරක විලාසිතාවක් තමා බුද්ධිමත් රැළේ යෑම. හරියටම එක බැල්ලියක වටේ බලු රංචුවක් දුවනවා වගේ. කවුරු හරි කෙනෙක් පළ කළ මතයක්, අදහසක් අල්ලගෙන හැමෝම ඒ පස්සේ දුවනවා. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධයෙනුත් බුද්ධිමතුන්, ලේඛකයන් කරලා තිබුණේ රැළේ යෑමයි. ඔය ගැන මම හොඳ අවධානයෙන් හිටිය නිසා මම රැළේ ගියේ නෑ. මේ රටට වෙලා තිබුණෙත් ඔය විනාශයයි. මොකක්ද වෙලා තියෙන්නේ කියලා මම ම හොයා බැලුවා. ඔබ අහනවා මොකක්ද ක්‍රමවේදය කියලා. දූවිලි කාගෙන – කිවිසුම් යවා ගෙන රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පොත්, පත්තර කියෙව්වා. පුද්ගලයන් හමුවෙලා සාකච්ඡා කළා. සිද්ධිවලට අදාළ මූලාශ්‍රයම හොයා ගෙන අධ්‍යයනය කළා. මීට මහා ක්‍රමවේදයක් නැහැ.


    අනිත් අය රැළේ ගිහින් මත පළ කළා. ඔබ රැළේ නොගිහින් මේ කෘතිය කළා කියා කිව්වා. අවසන් ප්‍රතිඵලයේ වෙනස මොකක්ද?
    මේ සිද්ධිය ගැන විවිධ අය පළ කළ විවිධ මතවල හිර වෙන්නේ නැතුව මොකක්ද වුණේ කියලා මමම හොයා බැලුවා. එතකොට වරදින්න විදිහක් නෑ. විශ්වසනීයව ඉතා සුළු සිද්ධි පවා අනාවරණය කරන්න පුළුවන් වුණේ ඒ නිසයි.


    ඊළාම් යුද්ධය ගැන ඔබ අලුත් ඉතිහාසයක් නිර්මාණය කළා ද?
    අලුත් ඉතිහාසයක් නෙවෙයි, තිබුණු – ඇත්ත ඉතිහාසය මම ලේඛනගත කළා. වෙනම ඉතිහාසයක් නිර්මාණය කරලා තිබුණා. මම ඇත්ත ඉතිහාසය මතු කළා.
    ඔබ සඳහන් කරනවා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම් පසුව ඊළාම් සන්නද්ධ කණ්ඩායම්වල හිරකරුවෙක් බවට පත් වුණා ය කියලා. නමුත් හේතු යුක්ති භාවය ගැන ඔබ නිහඬයි.
    හේතුව බෙදුම්වාදියට උඩගෙඩි දීම. එහි ප්‍රතිඵලය වුණේ අමිර්තලිංගම්ලාට පවා පාලනය කරන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අයත් නොවන පුද්ගලයන් බලවත් කිරීමයි. සිංහල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ පවා මේ භයානක වරද කළා. කවුරු හරි සිද්ධියක් ඇති කරනවා නම් ඒ මත නැඟලා ගමනක් යන්න දකුණේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ පවා උත්සාහ කළා. මේක බරපතළ දුර්වලකමක්. තමන්ට පාලනය කරන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අයත් නැති චරිත බලයට ගේන්න හදනවා. ඊට පස්සේ ඔවුන් හිරකරුවන් බවට පත් වෙනවා. අමිර්තලිංගම්ලාට විතරක් දොස් කියන්න වටින්නේ නෑ.


    2010 ජනාධිපතිවරණයේදී එවැනි දෙයක් ඔබ දුටුවා ද?
    පැහැදිලිවම ඔව්.


    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම අනුවණ ක්‍රියාවක් බවයි ඔබ කියන්නේ?
    ඔව්, ඒ සිද්ධිය පැහැදිලි වුණා. සරත් ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂවලට පාලනය කරන්න බැරි බව ඔප්පු වුණා. ඒක දැන දැනමයි විපක්ෂය ක්‍රියා කළේ. ඒක අනුවණ ක්‍රියාවක්.


    මානුෂිය මෙහෙයුම සහ ඊට පෙර පැවැති යුදමය මෙහෙයුම් ගැන අප මෙතෙක් නොදැන සිටි රහස් – ඉතා සුළු සිදුවීම් පවා ඔබ විස්තර කරනවා. මෙතරම් විශ්වසනීයත්වයකින් ඔබේ කෘතිය ඉදිරිපත් කරන්නේ කොහොම ද?

    ඒකට හේතුව යුද බිමේ හිටපු මිනිස්සුන්ට කතා කිරීම. ප්‍රභාකරන්ගේ මළ සිරුර ගෙනෙන විට ඇඟ අල්ලලා රස්නෙද කියලා බලපු අයත් එක්කත් කතා කළා. මට ඔවුන් ගෙන් විශාල උදවුවක් ලැබුණා.
    ඔබේ කෘතිය කියවත්දී දිගින් දිගටම හමු වෙනවා, අන්තර්ජාතිකව ශ්‍රී ලංකාවට එරෙහිව මතු වුණ පීඩනය, යටිකූට්ටු වැඩ කොයිතරම් ද කියලා. අනෙක් පැත්තෙන් ජාතික මට්ටමින් තිබුණ කකුල් මාට්ටු. ඒ සේරටම ඉහළින් ප්‍රභාකරන්ගේ හිතාගත නොහැකි ත්‍රස්තවාදී උපක්‍රම. මේ සියල්ල මැද මානුෂීය මෙහෙයුම ජයග්‍රහණය කිරීම ආශ්චර්යයක් ද කියලත් හිතෙනවා.
    මානුෂිය මෙහෙයුමට සම්බන්ධ වෙලා ත්‍රස්තවාදීන්ට පහර දුන්න සොල්දාදුවෝ පවා අහනවා. අපි කොහොමද ගැහුවේ කියලා. කොටි බිම් ප්‍රදේශ එකින් එක අල්ල ගෙන ඉදිරියට යත්දී නිලධාරීන්ට පවා පුදුම හිතුණ බව කිව්වා. ජීවිතේට නොදැක්ක අහලා තිබුණු ග්‍රාම නාම පුවරු පසු කරගෙන යත්දී මේක හීනයක් ද කියලා හිතුණ කියා ඔවුන් මා සමඟ කිව්වා. මේ ජයග්‍රහණ හිතා ගන්න බෑ කියලා ඔවුන් කිව්වා. නමුත් මානුෂීය මෙහෙයුම සිදු කර ගෙන යත්දී යුද පෙරමුණ කොයි මොහොතකවත් හිස් වුණේ නෑ. එය ඉතාම සාර්ථක උපක්‍රමයක්.


    ඔබේ තොරතුරු නිවැරැදි බව ඔබ කියනවා. විකිලීක්ස් නම් වෙබ් අඩවිය අනාවරණය කළ රහස්‍ය පණිවිඩ කිහිපයක් ඔබ උපුටා දක්වනවා. ඒ මූලාශ්‍රය කෙතරම් දුරට පිළිගත හැකි ද?
    ඒ එක පණිවිඩයක්වත් වැරැදියි කියලා අමෙරිකාව ප්‍රකාශ කරලා නෑ. අතිශය රහසිගත ලේඛන ප්‍රසිද්ධ කළා කියලයි අමෙරිකාව කලබල වුණේ. මේකෙන් සිද්ධ වෙන්නේ අපි දැනටම දන්න දෙයක් තව දුරටත් තහවුරු වීමයි. මිලි බෑන්ඩ්ලා ලංකාවට ආවේ ඇයි කියලත් අපි දන්නවා.


    කොටින් ගේ සැහැල්ලු ගුවන් යානා කොළඹට ඇවිත් ගහලා යත්දී පෙරළා ප්‍රති ප්‍රහාර නොදුන්නේ ඇයි කියලා බොහෝ දෙනා ඇහුවා. අපි ඒකට නියම හේතුව දැන ගත්තේ ඔබේ පොතින්. එය ඔබේ අනුමානයක් ද?

    නෑ. මා දක්වන කරුණු පවා ප්‍රායෝගික ඇත්ත හේතු. ඔය ප්‍රශ්නයම කොටින්ටත් තිබුණා. අපේ ප්‍රහාරක යානා කොටි ඉලක්ක සුන් කරලා නිරුපද්‍රිතව කොළඹ ආවා. කොටි ගෙනාව මිසයිල යල් පැනලයි තිබුණේ. ඔවුන් අලුත් මිසයිල අරන් අපේ කෆීර්වලට ගහන්න හැදුවා. නමුත් ඇමෙරිකාවේදී මිසයිල ගන්න ගිය කොටි කොටු වුණා. අන්න එතනදී අපි ඇමෙරිකාවට ස්තුතිවන්ත විය යුතුයි.


    යුද්ධය කළ ආකාරය ගැන ඉතා සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරන ඔබ යුද්ධයේ දේශපාලන නායකත්වය ගැන ඉදිරිපත් කරන තොරතුරු ප්‍රමාණවත් නැති බවයි මගේ අදහස?
    නෑ… ඒ සම්බන්ධයෙන් අවස්ථානුකූලව තොරතුරු පළ කළා. මොකද දේශපාලන නායකත්වය නැතිව මේ කිසි දෙයක් කරන්න බෑ. නමුත් මම මෙතනදී යුද පැත්තට වැඩි ප්‍රමුඛතාවක් දුන් බව ඇත්ත. එදා වඩමාරච්චියේදී දිගටම ගහගෙන යන්න දේශපාලන නායකත්වය ශක්තිමත් වුණා නම් කොටි සංවිධානය ඉවර වෙන්න තිබුණේ එදායි. ජෙනරල් කොබ්බෑකඩුව සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට ආපහු හැරිලා එන්න සිදු වුණේ දේශපාලන නායකත්වය දුර්වල වුණ නිසයි. ඒකෙන් පෙනෙනවා යුද්ධයකදී දේශපාලන නායකත්වය මොන තරම් තීරණාත්මක ද කියලා.


    ඔබේ පොතේ සඳහන් වෙන එක් සිද්ධියක් අනුව යාපනේ කොටුවේ හිරවෙලා ඉන්න සෙබළුන් බේරා ගන්න ජෙනරල් කොබ්බෑකඩුව එක් පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ සහ අනෙක් පැත්තෙන් සරත් ෆොන්සේකා යන නිලධාරීන් දෙදෙනා කැඳවනවා. මෙවැනි සිදුවීම් ඔබ කදිමට හෙළි කරන බව ඇත්ත. නමුත් යුද්ධයේ අවසන් චිත්‍රය දකින්නේ කොහොම ද?

    එය දිග ක්‍රියාවලියක්. මේ පොත ලියලා ඉවර වුණාට පස්සේ මටත් දැනුණා. මේ ජයග්‍රහණය ආශ්චර්යයක් කියලා. මොකද තිබුණු බාධක – බලපෑම් සියල්ල යටපත් කරගෙන ඉදිරියට යන්න තරම් ශ්‍රී ලංකාවට දේශපාලන නායකත්වයක් ලැබුණා. ඒ තමා මේ ජයග්‍රහණයේ මූලිකම හේතුව.


    1983 ජූලි සිද්ධිය, සිංහල දෙමළ ජන කොටස් අතර හටගත් ගැටුමක් බව ඔබ සඳහන් කරනවා. නමුත් කළු ජූලියට වගකිව යුත්තේ එවකට පැවති එජාප ආණ්ඩුවයි. ඔබ ඒ කාරණය වසන් කිරීමට හේතුව මොකක්ද?

    නෑ… ආණ්ඩුවක් එහෙම ක්‍රියා කරන්නේ නෑ. යූඇන්පී ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් කළු ජූලි සිද්ධියට සම්බන්ධ වෙලා හිටි බව මම පිළිගන්නවා. නමුත් ඒ ගැටුම්කාරී තත්ත්වයට යම් මහජන සහභාගිත්වයක් තිබුණා. මේ තමා අන්තිම මහජන කළහකාරීත්වය හැටියට මා දකින්නේ.
    නමුත් මේ සිද්ධිය නිසයි ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය අන්තර්ජාතික ගැටලුවක් බවට පෙරළුණේ. විශේෂයෙන්ම නරකම බලපෑම් එල්ල වන්න ගත්තේ මෙයින් පසුවයි.
    එය අප ඉගෙන ගත යුතුව තිබෙන පාඩමක්. ගහනවා නම් ත්‍රස්තවාදීන්ට ගහන්න ඕනේ. සිද්ධියට අදාළ නොවන පාර්ශ්ව ඈඳා ගත යුතු නෑ.


    ඔබ ඉදිරිපත් කළ කෘතියේ එල්. ටී. ටී. ඊ. ය නිසැකයෙන්ම ත්‍රස්තවාදීන් බවට නම් කරනවා. ඒ ගැන කිසිම සැකයකට ඉඩක් ඉතිරි නොකරමින් ඔබ කරුණු ඉදිරිපත් කරනවා.

    එස්. ජේ. වී. චෙල්වනායගම් එහෙමත් නැත්නම් වේළුපිල්ලේ චෙල්වනායගම් ගේ සිට වේළුපිල්ලේ ප්‍රභාකරන් දක්වාම ඔවුන් එකම ආකල්පයක හිටි බව මා නිරීක්ෂණය කළා. නමුත් වේළුපිල්ලේ චෙල්වනායගම් ත්‍රස්තවාදයට ගියේ නෑ. වේළුපිල්ලේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක්.
    එක් අතකින් ඔබ ඉදිරිපත් කරන්නේ ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක්. නමුත් ඒ පොතේ එක තැනකවත් අනුමාන, උපකල්පන, සැකයකට ඉඩක් දෙන්නේ නෑ. ඔබම සාදා නිම කළ මෙන්න ඇත්ත වගේ සිද්ධි ඉදිරිපත් කරනවා.

    ඒ මගේ සාමාන්‍ය ස්වරූපය. පුවත්පතකට කොළමක් ලියූවත් මම ඒ විදිහටයි කරුණු ඉදිරිපත් කරන්නේ. ඒවා ගැන අධ්‍යයනය කිරීම පාඨකයා සතු කාර්යයක්. මගේ විශ්වාසය මම ස්ථිරසාරව ඉදිරිපත් කළ යුතුයි.


    කරුණු ඉදිරිපත් කිරීමේදී ඔබ නිර්භීතයි. නමුත් එල්. ටී. ටී. ඊ. ය පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමේදී ඔබට මඟ හැරෙන තැන් තිබුණා වෙන්න බැරි ද?
    මුල් පරිච්ඡේදවල සියලු පාර්ශ්වයන්ගේ භූමිකාවන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළා. නමුත් එල්. ටී. ටී. ය තනි බලවේගයක් හැටියට මතු වුණාට පසුව ශ්‍රී ලංකා රජයේ හමුදාවන් සහ එල්. ටී. ටී. ඊ. ය අතරයි සටන පැවතුණේ. ඇත්ත. බොහෝ දුරට මා සිද්ධි දකින්නේ ශ්‍රී ලංකා හමුදාවේ දෘෂ්ටි කෝණයෙනුයි. නමුත් කොටි සංවිධානය පැත්තෙන් ලබාගත හැකි සෑම තොරතුරක්ම ඉදිරිපත් කළා.


    එල්. ටී. ටී. ඊ. ය පැත්තෙන් ඔබ තොරතුරු ලබා ගත්තේ මොන මූලාශ්‍රවලින් ද?
    කුමරන් පද්මනාදන්, කරුණා අම්මාන්, එල්. ටී. ටී. ඊ. පහළ සාමාජිකයන්, වගේ කිහිප තැනකින් තොරතුරු ලබා ගන්න පුළුවන් වුණා. නමුත් මම එල්. ටී. ටී. ඊ. පැත්ත එතරම් බර නොකළේ එය වෙනම කෘතියක් ලෙස පළ කළ යුතු ව තිබෙන නිසයි. දැනටම මේ කෘතියේ පිටු 521 ක් අඩංගුයි. යම් යම් සීමාකම් කරන්න වුණා.


    ප්‍රභාකරන් දේවත්වයට නංවලා තිබුණා. දෙමළ හා ඇතැම් ඉංගී‍්‍රසි ලේඛකයන් ප්‍රභාකරන් හිරු දෙවියන් ගේ පුත්‍රයා හැටියට නම් කළා. නමුත් ඔබේ කෘතියේ එක තැනක වත් ඒ වගේ අසහාය වීරයෝ දේවත්වයට නැංවූ චරිත දකින්න ලැබෙන්නේ නෑ. යටත් පිරිසෙයින් ප්‍රභාකරන් රණශූරයෙක් හැටියට වත් ඔබ නිරීක්ෂණය කළා ද?

    ඔය කාරණය මම 1994 සිට 2002 දක්වාම රන්ජන් විජේරත්න දේශපාලන ඇකඩමියේ දේශනා කළ දෙයක්. ප්‍රභාකරන්ට කවුරු හරි වෙඩි තිබ්බොත් ඔහු මැරෙන බව මම කිව්වා. ප්‍රභාකරන් නැති කරන්න පුළුවන් මනුස්සයා එනතුරුයි ප්‍රශ්නය තිබුණේ. ඔය විතරක් ද ජවිපෙ ආයුධ අතට ගත්ත වෙලාවේ ඔවුන් පරාජය කරන්න බැහැ කියලත් කී දෙනෙක් කිව්ව ද? මේක අපේ සමාජයේ ප්‍රශ්නයක්. කොළපාට සමාජය පොතේදීත් මම සඳහන් කළා. ප්‍රභාකරන් පරාජය කරන්න ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ දක්වාම පහර දිය යුතුයි. ඒ හැම ක්‍රමයකින් ම ගහලා බැරිනම් යටත් වුණාට කමක් නෑ. නමුත් එහෙම ගහන්නේ නැතිව බාගයක් දුරට ගිහින් යටත් වීම ගොන් කමක්. මගේ අතිජාත මිත්‍රයෙක් වුණ සිවරාම් මිය යන්න දවස් තුනකට කලිනුත් මට කිව්වා ප්‍රභාකරන් කියන්නේ සාතන් වගේ මිනිහෙක් කියලා. ඒ කියන්නේ කවදාවත් විනාශ කරන්න බැරි චරිතයක්. ජෝන් මිල්ටන්ගේ කවියක එන සාතන් මොන දේකටවත් යටත් කරන්න බැරි බලයක්. සිවරාම් මට ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නේ ප්‍රභාකරනුත් අන්න ඒ වගේ යටත් කරන්න – විනාශ කරන්න බැරි චරිතයක් කියලයි. දෙවියන් වහන්සේට වත් සාතන්ව විනාශ කරන්න බෑ. නමුත් සමහරුන් ප්‍රභාකරන්ව සාතන්ට සමාන කරන්න මෝඩ උත්සාහයක් ගත්තා. නමුත් ප්‍රභාකරන් මැරුණේ එකම එක වෙඩි උණ්ඩයකින්. නමුත් ප්‍රභාකරන් ගැන ලෝකය පුරා මොන තරම් මිථ්‍යා ප්‍රබන්ධ පතුරලා තිබුණද? අපේ සමහර අයත් ඒ මෝඩකම් කළා. මගේ පොතේ හැටියට නං බැහැයි කියලා දෙයක් නෑ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අර මිථ්‍යා ප්‍රබන්ධ පැත්තකට දාලා මේක කරන්න පුළුවන්ය කියලා හිතපු නිසයි කොටි ත්‍රස්තවාදය විනාශ කරන්න පුළුවන් වුණේ.


    අදානග්‍රාහීත්වයෙන් මිදීම සාර්ථකත්වයට හේතුවක් කියලයි ඔබ කියන්නේ?

    අන්න ඒක තමයි මම කියන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන තනි චරිතය ඒ අදානග්‍රාහීත්වයට කොටු වුණේ නෑ. එතුමාටත් ප්‍රභාකරන් ගැනයි කොටි සංවිධානය ගැනයි අන්තර්ජාතිත බලපෑම් ගැනයි මොනතරම් දේවල් කියන්න ඇත්ද? නමුත් ඒවා පැත්තකට දාලා වැඩේ කළා. මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ රැළේ නොගිය එකම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. යුද්ධය ජයග්‍රහණය කළේ ඒ නිසයි. අනිත් හැමෝම වගේ අර රැළේ යන මානසිකත්වයට යටවුණා. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපති යම් උත්සාහයක් දැරුවා. නමුත් අන්තිමේදී යට වුණා. එතැනින් පස්සේ හැම නායකයෙක්ම යට වුණා. යට නොවුණේ මහින්ද රාජපක්ෂ රාජ්‍ය නායකයා විතරයි. ඒ තමා ඇත්ත ඉතිහාසය.


    ඔබේ කෘතියත් රැළේ යන්නේ නැතිව කළ දෙයක් බව ඔබ කීවා. නමුත් ඔබ සීමාන්තිකව මෙතෙක් පැවති මත නොපිළිගෙන ඔබේ සොයාගැනීම් ඉදිරිපත් කළාය කියා යෝජනා කළොත්?

    මේ ප්‍රශ්නය ගැන යුද්ධය, ජනවාර්ග ප්‍රශ්නය, ප්‍රභාකරන්, එල්.ටී.ටී.ඊ.ය ගැන මෙතෙක් හදල තිබුණ මත මා පිළිගන්නේ ඇයි? ඒවා බොරු නැත්නම් බාගෙට බොරු. සමහර එන්ජීඕ පොත් ප්‍රකාශන තොග ගණනේ ප්‍රකාශයට පත් කළා. විදේශ තානාපති කාර්යාල පවා කියවන්න ගත්තේ ඒවා. මම ඒ බොහෝමයක් කියෙව්වා. සිද්ධි – මත සඳහන් වෙනවා. වෙනත් වැදගත්ම මූලාශ්‍ර ඒවායේ නෑ. ඉතිං විකෘති ඉතිහාසයක් විකෘති මතවාද, අදහස් පවා ලේඛනගත කෙරුණේ. මම කොහොමද ඒ බොරුව මත පදනම් ;වන්නේ. ඒ සියල්ලම කුණු කුඩයට දාලා ඇත්ත මූලාශ්‍ර හොයා ගන්න සිදුවුණේ ඒ නිසයි.


    ඔබ ඉතිහාසය නැවත ලිව්වා?

    නෑ. මම ඉතිහාසය ලිව්වා. කලින් තිබුණේ විකෘතියක්. ඇත්ත කාරණා හොයලා ඒවා එළියට ගන්න කවුරුවත් මහන්සි නොවීමයි මෙතැන තිබුණ ප්‍රශ්නය.


    ඔබ යුද බිමේ උපාය උපක්‍රම සවිස්තරව හා ඉතා සරලව ඉදිරිපත් කරනවා. එතන මොකක්ද ඔබට තිබුණ මූලාශ්‍රය?

    ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා ඔහුට මේ උපාය ගැන අදහස ආවේ ඉන්දියන් හමුදාව ක්‍රියා කළ ආකාරය අනුවය කියලා. එය සරලයි. ඔවුන් සෑම තැනකම සෙබළ බල මුළු තර කළා. එතකොට කොටින් ගේ ගමන් බිමන් – ක්‍රියාකාරකම් සීමා වෙනවා. එය පෙරළා – මානසිකවත් බලපානවා. හමුදාව නැඟෙනහිර පළාත් අල්ලා ගත්තාට පස්සේ කොටින්ට නැවත එන්න බැරි වෙන්න හැම තැනකම වගේ සෙබළ බලමුළු රැඳෙව්වා. ප්‍රහාරක බලඇණි ඉදිරි පෙළ සීමාවේ තර කෙරෙන අතරම ඇතුළේ හැම තැනකම සෙබළ බලය පෙන්නුම් කළා. සටන කැළේ ඇතුළට ගියහම කැළෑවේ හැමතැනකම නැවත අර උපාය ක්‍රියාවට යෙදුවා. හැම ගහක් ගලක් ගාණේම රැකවල් යෙදුවා. ත්‍රස්තවාදීන් මීට කලින් අපිට කරපු දේ අපි කොටින්ටත් කළා. එක ජාතක කතාවක සඳහන් වෙනවා ඌරු රංචුවක් විසින් කොටින් පරාජය කරපු හැටි. සූඛරයෝ කොහොමද කොටියව පරාජය කළේ? කොටියා කරන කරන දේ සූඛරයොත් අනුකරණය කළා. නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ කොටින්ටම ගැළපෙන්න කුඩා ප්‍රහාරක යාත්‍රා විශාල ගණනක් හදලා මුහුදට දැම්මා. කොටි නාවික බලය බිඳ දැම්මේ එහෙමයි.


    යුද බිමේ ක්‍රියාන්විතය පැහැදිලියි. නමුත් රනිල් – ප්‍රභා අවබෝධතා ගිවිසුම කාලේ හමුදා බුද්ධි අංශය විශාල තර්ජනයකට මුහුණ දුන්නා. හොඳම උදාහරණය මිලේනියම් සිටි පාවාදීම. ඔබේ පොතට ඒ කරුණු ඇතුළත් වෙන්නේ කොහොමද?

    ඒ තත්ත්වය බලත්දී මේ යුද්ධය ජයග්‍රහණය කිරීමත් පුදුමයක්. මොකද හමුදා බුද්ධි අංශය ඒ සිද්ධියෙන් විශාල විනාශයකට මුහුණ දුන්නා.


    හමුදා බුද්ධි අංශය දුර්වල කෙරුණත් පොට්ටු අම්මාන් ගේ කොටි චරපුරුෂ ජාලය තව තවත් ශක්තිමත් කෙරුණා. මා අහන්නේ ඔබේ කෘතියේ මේ තොරතුරු සඳහන් කෙරෙන්නේ මොන ආකාරයෙන්ද කියලයි.
    ඔව්. ඒ විස්තර මම පොතේ සඳහන් කර තියෙනවා. ඇත්තටම යුද්ධය උතුරේ තිබුණට පොට්ටු අම්මාන් ගේ යුද්ධය තිබුණේ කොළඹ. ඒ කටයුත්තට පොලීසිය හොඳින් මුහුණදුන්නා. කොළඹ මහා විනාශයක් කරන්න හදපු සැලසුමක් අනාවරණය කරගත්තේ පොලීසිය හා බුද්ධි අංශයයි. එය වළක්වා ගන්න නොහැකි වුණා නම් යුද පෙරමුණේ වේගය වෙනස් වෙන්නත් ඉඩ තිබුණා. ඒ විස්තර මම සඳහන් කර තියෙනවා.


    මූලාශ්‍ර සොයා යමින් ඔබ ලියූ ඉතිහාසය දැන් ප්‍රකාශයට පත්වී අවසන්. ඔබේ නිරීක්ෂණය අනුව අපට තිබුණ විශාලතම දුර්වලතාව සහ ශක්තිය මොකක්ද?

    අපට තිබුණ ලොකුම දුර්වලතාව හා ලොකුම ශක්තිය මොකක්ද? කියන ප්‍රශ්නයට තනි උත්තරයක් දෙන්න පුළුවන්. ඒ තමා දේශපාලන නායකත්වය. මම සඳහන් කළා වගේ ත්‍රස්තවාදය පරාජය කරන සටනේදී මුල දී අපට ශක්තිමත් දේශපාලන නායකත්වයක් තිබුණේ නෑ. වඩමාරච්චියෙන් හැරිලා එන්න වුණේ ඒ නිසයි. නමුත් අවසන් මොහොතේ ආපසු නොහැරෙන දේශපාලන නායකත්වයක් ලැබුණා. ඒ තමා මහින්ද රාජපක්ෂ කියන තනි චරිතය. එතුමා වෙන අය වගේ රැළේ ගිය නායකයෙක් නෙවෙයි. ඒ තමා අපට තිබුණ විශාලම ශක්තිය.


    Gota’sWarකෘතියේ ඉතා සවිස්තරව යුද පෙරමුණේ සිද්ධි ඉදිරිපත් කර තියෙනවා. ඇතැම් තොරතුරු පුදුම උපදවන සුළුයි. එසේම යුද පෙරමුණේ නායකත්වය ඔබ දකින්නේ කොහොමද?

    යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, බුද්ධි අංශ කියන සෑම අංශයක්ම එකසේ වැදගත් භූමිකාවක් ඉටු කළා. මා තොරතුරු සොයාගෙන යද්දී නිරීක්ෂණය කළ දෙයක් තමා ඉහත කී එක් අංශයක්වත් ජයග්‍රහණයේදී බැහැර කරන්න හෝ සුළුකොට සලකන්න හෝ නොහැකි බව. ඒ සියලු අංශ එක අරමුණකට යොමු කළේ ආරක්ෂක ලේකම්වරයා. ඒ වගේම මේක සාමූහික ජයග්‍රහණයක්. ගොඩබිම කෙරෙන යුද්ධයට ගුවන් හමුදාවේ සාර්ථකත්වය එකතු නොවුණා නම් මේ ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා. ගුවන් හමුදාව සහ යුද හමුදාව කළ සටන සාර්ථක වෙන්න නාවික හමුදාවේ සාර්ථකත්වය අත්‍යවශ්‍යව තිබුණා. ඒ වගේම පොලීසිය සහ බුද්ධි අංශ අර සියල්ලටම අවශ්‍යයි. ඒ නිසා සියල්ලෝ යුද වීරයෝ හැටියටයි ඉතිහාසයේ ලියවෙන්නේ. එහෙම නැතිව තනි යුද වීරයෙක් මෙතැන නැහැ. එහෙම ඉන්නත් බැහැ. ඒ තමා ඇත්ත ඉතිහාසය.


    - සංවාද සටහන කේ. සී. ජේ. රත්නායක
    logo.png