පසුගිය කාලය තුළ සංචාරක කර්මාන්තයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් දින දහයක පමණ කාලයේදී රුපියල් මිලියන 542.5ක (ඇමෙරිකානු ඩොලර් 1,750,000) ආදායමක් රටට අහිමි වී තිබේ.
වත්මන් ආණ්ඩුවට එරෙහිව රට පුරා සිදු කරන උද්ඝෝෂණ හා පෙළපාළි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්රයෙන් පහත වැටීම නිසා මෙසේ ආදායම අහිමි වී ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.
දළ වශයෙන් එක් දිනක දී සංචාරකයන් 3,800ක් පමණ ශ්රී ලංකාවට පැමිණි නමුත් රට පුරා පවතින උද්ඝෝෂණ හා පෙළපාලි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්රයෙන් පහත වැටී තිබෙන බව පෙන්වා දුන් ඒ මහත්මිය ඒ අනුව අද වන විට දෛනික පැමිණීම ආසන්න වශයෙන් 2,800ක් දක්වා පහත වැටී තිබෙන බවද ඒ අනුව දිනකට සංචාරකයන්ගේ පැමිණීම 1000කින් පමණ පහත වැටී තිබෙන බවද පෙන්වා දුන්නේය.