හසලක විරුවා වෙනුවෙන් අලිමංකඩ කෞතුකාගාරයක් විවෘත වේ
පරම වීර විභූෂණ පදක්කම වූ කලී සෙබළෙකුට දිනාගත හැකි ඉහළම ගෞරවය වේ. එනමුත් ඒ ගෞරවය කිසිදු සෙබළෙකුට ජීවතුන් අතර සිටියදී හිමිකර ගත නොහැකිය. මක්නිසාදයත් පරම වීර විභූෂණ පදක්කම හිමි වන්නේ සිය සහෝදර සෙබළුන්ගේ දිවි රැක ගැනීමට තම දිවිය පූජා කළ වීර වික්‍රමාන්විත විශිෂ්ටයන්ට පමණක් වන බැවිනි.
විශිෂ්ටයන්ට පමණක් උරුමකම් කිවහැකි පරම වීර විභූෂණ පදක්කම දිනාගත් අතළොස්සක් පමණ යුද හමුදා සෙබළුන් අතරේ මුලින්ම කියවෙන නාමය වන්නේ හසලක ගාමිණී කුලරත්නය. ඔහු ලංකා යුද හමුදාවේ වීර කතා අතර පුරාවෘත්තයකි. ඔහු මුළු රටේම ගරු සම්භාවනාවට පාත්‍ර වූ වීර චරිතයක් බවට පත්වූයේ එක රැයකිනි.
දිනය එක් දහස් නමසිය අනූ එකේ ජුලි දහ වැනිදාය. එල්.ටී.ටී.ඊ. ය එදින අලුයම අලිමංකඩ කඳවුර වට කළේ එතෙක් සිය ඉතිහාසයේ හමුදාව ඉලක්ක කරමින් සැලසුම් කළ දැවැන්තම ප්‍රහාරයට සැරසෙමිනි.
හුදකලාව පිහිටි අලිමංකඩ කඳවුරෙහි 600ක පමණ භට පිරිසක් සිටියහය. හමුදා කඳවුර වටකළ 3000 ක් පමණ වූ කොටි කඳවුරට නොකඩවා ප්‍රහාර එල්ල කරමින් සිටියෝය.
එල්.ටී.ටී.ඊ. ප්‍රහාර තීව්‍ර වීමත් සමග මිය යන හා තුවාල ලබන සෙබළුන් දිනපතා වැඩි වූහ. හතර වටින් ගරිල්ලන් වටකරනු ලැබ සිටියද සෙබළුන්ගේ චිත්ත ධෛර්ය තිබුණේ ඉහළ මට්ටමකය. ඔවුන්ට අණදෙනු ලැබුවේ එකල සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා වූ මේජර් (පසුව මේජර් ජෙනරාල්) සනත් කරුණාරත්නය.
මේ අතර මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න එක්ව බලවේගය නමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ අලිමංකඩ කොටුවී සිටින සෙබළුන් ගලවා ගැනීමේ අරමුණිනි.
අලිමංකඩ කඳවුරට කිලෝ මීටර් 18 ක් පමණ නැගෙනහිරින් පිහිටි වෙත්තිලකර්නි වෙරළට මුහුදින් ගොඩබැස අලිමංකඩ දක්වා මෙහෙයුම ක්‍රියාත්මක කර අවශ්‍ය සැපයුම් හා ආධාරක හමුදා ලබා දී කඳවුර බේරා ගැනීම 'බලවේගය' මෙහෙයුමේ සැලසුම විය.
මේ ගමන සඳහා සති තුනක පමණ කාලයක් ගතවන බවට ගණන් බලා තිබුණි. අලිමංකඩ කඳවුරේ සෙබළුන්ට ලැබුණ උපදෙස වූයේ ආධාරක භට පිරිස් පැමිණෙන තෙක් කඳවුර රැක ගන්නා ලෙසය. කොටින්ගේ උත්සහය වූයේ ආධාරක භට පිරිස් පැමිණීමට පෙර කඳවුර තම ග්‍රහණයට ගෙන එහි සිටි සෙබළුන් සමූල ඝාතනය කිරීමයි.
නොනවතින රැල්ලක් සේ අඛණ්ඩව එල්ල කළ මෙම ප්‍රහාරය හමුවේ හමුදා කඳවුරේ කොටසක් අත හැර පසුබැසීමට සෙබළුන්ට සිදුවිය.
තීරණාත්මක දිනය උදා වූයේ 1991 ජූලි 13 දාය. එදින රාත්‍රියේ ගරිල්ලෝ සියලු ශක්තිය යොදා ගනිමින් අලිමංකඩ කඳවුරට පහරදුන්හ. එම ප්‍රහාරය වෙනුවෙන් කොටි විශේෂ රථයක් නිෂ්පාදනය කර තිබුණි. ඒ රජයේ වාරිමාර්ග සංවර්ධන කටයුතු සඳහා තිබූ විශාල බුල්ඩෝසර යන්ත්‍රයකට අඟල් ගණනාවක් ඝනකම ඇති යකඩ තහඩු පාස්සා යුද ටැංකියක් ලෙස සකස් කිරීමය. එහි ඝනකම ලෝහ තහඩුවලට පිටතින් යකඩ දැල් ආවරණයක් යොදා තිබුණි. තීරණාත්මක 13 දා රාත්‍රී බුල්ඩෝසරය පිටතට ගත් කොටි එය කඳවුර දෙසට පදවන්නට වූහ. ඩෝසරය තුළ කොටි සිව් දෙනෙක් සිටියහ. ඔවුන්ගේ දෑත් හා පාදවලට විලංගු දමා විලංගු ඩෝසරයට සම්බන්ධ කර තිබූ බව සඳහන්ය. එසේ කර තිබුණේ හදිසියේ හෝ ඩෝසරය තුළ සිටිනවුන්ට පලා යාමට අදහසක් පහළ වුවහොත් එය කිරීමට නොහැකි වන ලෙසටය. ඩෝසරයේ පසුපසට ධාවනය කළ හැකි ගියර කොටස් ගලවා තිබූ බවද සඳහන්ය.
අලිමංකඩ කඳවුරේ ප්‍රධාන ආරක්ෂක වළල්ල ඉලක්ක කරගත් බුල්ඩෝසරය ඉදිරියට යන විට ගරිල්ලෝද බුල්ඩෝසරය ආවරණයක් කරගනිමින් පසුපසින් එන්නට වූහ. සියලු බාධක බිඳගෙන බුල්ඩෝසරය කඳවුර අභ්‍යන්තරයට කඩාවැද පුපුරවා ගැනීමත් සමග ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීම කොටින්ගේ සැලසුම විය.
කෙසේ නමුත් ආරක්ෂක වැටකඩුලු කඩා බිඳ දමමින් තමන් ඉදිරියට එන බුල්ඩෝසරය ඉලක්ක කර සෙබළුන් ටී. 56 සිට ආර්.සී. එල්. වැනි බර අවිවලින් ප්‍රහාර එල්ල කළද පෑස්සුම් කර තිබූ ඝන ලෝහ තහඩුව හේතුවෙන් එහි ගමන නතර කිරීමට නොහැකි විය.
ලෝහ උණු කරන ආර්. පී.ජී. ප්‍රහාරවලින් ද ප්‍රතිඵලයක් නොලැබුණේ ඩෝසරය වටා තිබූ දැල් ආවරණයේ වැදී පිපිරීම හේතුවෙනි. මේ අතර කොටින්ගේ බුල්ඩෝසරය ලාන්ස් කෝප්‍රල් ගාමිණී කුලරත්න සිටි බංකරය ආසන්නයට ළඟාවෙමින් තිබුණි. ඒ මොහොතේ ඔහුගේ සහයක සෙබළා වූයේ රයිෆල් බළකා සෙබළ රොවෙල්ය.
මාරක බුල්ඩෝසරය නවතා ගැනීමට නොහැකිව හමුදාව හුන්නේ සියලු බලාපොරොත්තු සුන් කරගනිමිනි. එළඹ ඇති බැරෑරුම්කම තේරුම් ගත් ගාමිණී කුලරත්න කඳවුර හා සහෝදර සෙබළ ජීවිත ආරක්ෂා කර ගැනීම අරමුණින් දැඩි තීරණයක් ගත්තේය. සිය පෞද්ගලික අවිය හා අත්බෝම්බ දෙකක් අතට ගත් ගාමිණී කුලරත්න සහෝදර සෙබළ රොවෙල්ට පැවැසුවේ තමාට බුල්ඩෝසරයට නැගීමට වෙඩි ආවරණය දෙන ලෙසය. එහිදී රොවෙල් මාරක බුල්ඩෝසරය පිටුපසින් වෙඩි තබමින් එන කොටි කණ්ඩායම දෙසට වෙඩි ප්‍රහාරයක් මුදා හරින අතරතුර ගාමිණී අත් බෝම්බ දෙකද රැගෙන කඳවුර අභ්‍යන්තරයට යන මාරක බුල්ඩෝසරයේ පිටත් දැල් ආවරණ ආධාරයෙන් එහි පිටුපසින් නැග ගත්තේය. ඒ සැනින් අත්බෝම්බ දෙකේ ආරක්ෂක අගුළු ඉවත් කළ ඔහු එය බුල්ඩෝසරයේ රියැදුරු කුටියේ විවරය ඔසවා ඒ තුළට දමන ලදී. බෝම්බ පිපිරීමත් සමග රියැදුරු කුටිය තුළ සිටි කොටි සිව්දෙනා ක්ෂණිකව මිය ගියහ. පාලනයෙන් තොර ඩෝසරය පැරණි ලුණු සංස්ථා ගොඩනැගිල්ලක ගැටී නතර වූයේ සිදු වීමට ගිය මහා විනාශයක් නතර කරමිනි. යම් හෙයකින් පුපුරණ ද්‍රව්‍ය පැටවූ එම බුල්ඩෝසරය කඳවුර මැදදී කොටි පුපුරවා හැරියේ නම් සෙබළුන් සිය ගණනක් මිය යාමට ඉඩ තිබුණි. ඒ සියලු සෙබළුන්ගේ ජීවිතය රැකුණේ ගාමිණී කුලරත්නගේ වීර වික්‍රමාන්විත ක්‍රියාව හේතුවෙනි. ඩෝසරය නතර වූ විට සෙබළුන් ගාමිණී කියා කෑ ගැසූහ. එනමුත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නොවීය. බුල්ඩෝසරය පිපිරී යන අවස්ථාවේදී හෝ එල්.ටී.ටී.ඊ. එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු මරණයට පත් විය.
කෙසේ නමුදු ලාන්ස් කෝප්‍රල් ගාමිණී කුලරත්න කළ වීර ක්‍රියාව හේතුවෙන් කොටින්ගේ නොනවතින රැල්‍ලේ බල බිඳුණි. ඒ අතරේ 'බලවේගය' මෙහෙයුම අලිමංකඩ කඳවුරට සම්බන්ධ විය. ඒ වන විටත් මිය ගිය සෙබළුන් 26 කු කඳවුර තුළම මිහිදන් කර තිබුණි. බරපතළ තුවාල ලද සොල්දාදුවන් 52 කුද කඳවුර තුළ වූහ.
ගාමිණී කුලරත්නගේ මේ ක්‍රියාව අගයනු පිණිස එකල ජනපති ආර්. ප්‍රේමදාස විසින් ඔහු වෙනුවෙන් පරම වීර විභූෂණ සම්මානය ප්‍රදානය කෙරුනි. එම පදක්කමින් පිදුම් ලැබූ මුල්ම සොල්දාදුවා ඔහුය. ඒ සමග ඔහු කෝප්‍රල් නිලයටද උසස් කෙරුනි.
ගාමිණී කුලරත්නගේ ගම වූයේ මහනුවර උඩුදුම්බර හසලකය. ඔහුගේ දෙමාපියන් වූයේ වයි.ජී. බබානිස් හා වයි.ජි. ජුලියට්ය. එක් දහස් නවසිය අසූ හයේ අගෝස්තු විසි හතර වැනිදා යුද හමුදාවට එක්වූ ඔහුගේ මව් ඒකකය වූයේ හයවැනි සිංහ රෙජිමේන්තුවය. ඔහු අවසන් වරට ගෙදර ආවේ අනූ එකේ මැයි පහළොස් වැනිදාය. නිවාඩුව අවසන් වී ගෙදරින් පිටත් වූ ඔහු ආපසු හැරුණේය.
ඇයි පුතේ අම්මා ජුලියට් ඔහුගෙන් ඇසුවාය.
නෑ නෑ කියූ ඔහු මවගේ දෙපා නැමද මුහුණ ඉඹ ඈට සමු දුන්නේය. ඒ සමුදීම ඔහුගේ අවසන් සමුදීමද විය.
ගාමිණී කුලරත්න එදා නතර කළ බුල්ඩෝසරය තිස් වසරක යුද්ධයේදී සෙබළුන් රට වෙනුවෙන් කළ කැපවීමේ ජීවමාන සංකේතයක් වැනිය. ඔහුගේ එම ක්‍රියාව අගය කරනු පිණිස 2014 ජනවාරි 02 දින එකල කිලිනොච්චිය ආඥාපතිවරයා වූ මේජර් ජෙනරාල් උදය පෙරේරා විසින් ඔහුගේ පිළිරුවක් අලිමංකඩදී නිරාවරණය කළේය. ගිය සතියේදී යුද හමුදාව ගාමිණී කුලරත්න වෙනුවෙන් තවත් නොමැකෙන ක්‍රියාවක් කළහ. ඒ වසර විසිතුනකට ඉහතදී ඔහු කළ වීර ක්‍රියාවේ සංකේතය වන බුල්ඩෝසරය ප්‍රධාන කර ඔහු වෙනුවෙන් අලිමංකඩ බිමේ කෞතුකාගාරයක් ඉදිකිරීමය. එවැනි දෙයක් හමුදා ඉතිහාසයේ සිද්ධ වූයේ මුල් වරටය.
මේ කෞතුකාගාරය ස්ථාපිත කළේ වර්තමාන කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපතිවරයා වන මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහගේ අදහසක් අනුවය.
අලිමංකඩ යුද ඉතිහාසය ගාමිණී කුලරත්න හමුදාවේදී පාවිච්චි කළ ඔහුගේ පෞද්ගලික භාණ්ඩ මෙන්ම ඔහු සිය මෑණියන්ට ලියන ලද ලිපි මෙම කෞතුකාගාරයේ දී දැකගත හැකිය. යුද හමුදාව පවසන්නේ කෞතුකාගාරය පැය විසිහතරේම විවෘතව පවතින බවය.
Last edited: