මිනිස්සුන්ට රටක් ඕනේ කියලා එකපාරටම පාරට බැහැලා යුද්ධ කරන්න ගන්නේ නෑ. 1815 දී ලංකාව ඉංග්‍රීසින් ඇල්ලුවම 1818 දී ඌව වෙල්ලස්ස කියලා කැරැල්ලක් ඇතිවුනා, මේක ඇතිවීමට ප්‍රධානතම හේතුව තමයි ඉංග්‍රීසින්ගේ ප්‍රජාපීඩනය, ආගමට ජාතියට නිසි තැනක් ලබා නොදීම. ඊට පස්සේ සිංහලයන්ගේ ඉඩම් මුඩුබිම් ආඥා පනත කියලා එකක් ගෙනල්ලා ඉංග්‍රීසින් කොල්ල කනවා ඊට පස්සේ ඒවායේ කෝපි වවන්න ගන්නවා, සිංහලයෝ වැඩ කරන්න අදිමදි කරාම ඉන්දියාවෙන් කුළිකාරයෝ ගෙනවා, ඊට පස්සේ බලු බද්ද, ඇග බද්ද, සාප්පු බද්ද, කරත්ත බද්ද, තුවක්කු බද්ද වගේ බදු මහා ගොඩක් ගහලා මිනිස්සුන්ව තව තව පීඩාවට පත් කරනවා, මේ නිසා 1848 දී තව කැරැල්ලක් පටන් ගන්නවා, ඊට පස්සේ ඉංග්‍රීසින් මේ ගොඩක් ප්‍රශ්ණ හදාගත්තම මිනිස්සු ඉංග්‍රීසින්ට විරුද්ධව කැරලි ගැහුවේ නෑ. ඊට පස්සේත් විවිධ ප්‍රශ්ණ තිබ්බා නමුත් 1848 ට කලින් වගේ දැඩි ලෙස මිනිස්සු පීඩාවට පත්වෙන දෙයක් තිබ්බේ නෑ. දෙවැනි ලෝක යුද්දේ දවස් වල ලංකාවේ තිබ්බා නිදහස් ව්‍යාපාරයක්, ඒකට ගොඩක් සහාය දුන්න මිනිස්සු තමයි වෘත්තීය සමිතියි, උගතුයි මේකට නායකත්වය දුන්නේ රොබට් ගුණවර්ධන, මේ ව්‍යාපාරයට බහුතරයක් වූ සාමාන්‍යය දුප්පත් ජනතාව වැඩි සහායක් දුන්නේ නෑ, නිදහසක් දිනා ගන්න මිනිස්සුන්ට ඒ හැටි උවමනාවක් තිබ්බේ නෑ.
මේ උදාහරණ 2ක් විතරයි, ලෝකේ පුරාම වෙච්ච කැරලි , යුද්ධ දිහා බලනකොට පෙනෙන දෙයක් තමයි රටක් උවමනාව උනා කියලා කවුරුත් යුද්ධ කරන්නේ නෑ, මිනිස්සු යුද්ධ කරන්න ඊට වඩා ගිය හේතු තියෙනවා. ගොඩක් වෙලාවට බඩට වදින කොට, ආගමට, සංස්කෘතියට වදින කොට තමයි කැරලි අරවා මේවා පටන් ගන්නේ. මිනිස්සුන්ට හොද ජීවන ක්‍රමයක් තියෙන කොට, මිනිස්සුන්ගේ ආගම සංස්කෘතියට වෙන හානිය අවම උනාම මිනිස්සුන්ට ප්‍රශ්ණයක් නෑ රට කවුරු පාලනය කරත්, මේක නිසා තමයි තමිල් නාඩුවේ අච්චර කෝටි ගාණක් ඉදලත් ලොකු කැරැල්ලක් නැත්තේ මධ්‍යයම රජයට විරුද්ධව. නමුත් මේ මොන ප්‍රශ්ණ නැති උනත් සුළු කොටසක් කොහොමත් ඉන්නවා තමන්ගේම කියලා රටක් ඕනේ කියලා හිතන, උන් බලන්නේ මිනිස්සු කොහොම හරි එකතු කරගෙන තමන්ගේ අවශ්‍යයතා ඉටුකරගන්නයි, නමුත් මිනිස්සුන්ට උන්ට එකතුවෙන්න හේතුවක් නැති උනාම උන්ට කරන්න දෙයක් නෑ.
LTTE එක උනත් ඇති වුනේ බණාඩරනායකලගේ ඉදලා තිබ්බ අදූරදර්ශී පාලන ක්‍රමය නිසයි. මේකෙන් දෙමලුන්ට ගොඩක් අවාසි උනා, ඊට පස්සේ කළු ජූලිය වගේ ඇති උනාම ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වෙලා ගියා, මේ අස්සේ ප්‍රබාකරන් උතුරට පැනපු කට්ටිය දඩමීමා කරගෙන රට අල්ලන්න ප්ලෑන් කරා. LTTE එකෙන් පැනපු, නිදහස් වෙච්ච සමාජිකයෝ ගොඩක් දෙනෙක් කියන කථාවක් තමයි උන් ඒකට එකතු වුනේ තමන්ට තිබ්බ ජීවන ප්‍රශ්ණ වලට පිළිතුරක් ප්‍රබාකරන් දෙයි කියලා බලාපොරොත්තු වෙච්ච නිසා කියලා, ඒ වගේම උතුරේ සමහර හමුදාවේ සොල්දාදුවේ දෙමලුන්ට හරියට සලකලා නෑ, උන්ගේ සමහර කෙල්ලෝ දූෂණය කරලා තියෙනවා, ප්‍රජාපීඩනයක් ගෙනියලා තියෙනවා මේ වගේ ගොඩක් ප්‍රශ්ණ දෙමළුන්ට උතුරේ තිබිලා තියෙනවා, මේවා ආණ්ඩුවේ අනුදැනුම මතම වෙච්ච දේවල් නෙවෙයි, සමහර ඒවා ආණ්ඩුව දන්නෙත් නෑ, දකූනේ මිනිස්සු දන්නෙත් නෑ. ගිය අවුරුද්දේ හමුදාවේ සැරයන් කෙනෙක්ට මරණීය දණ්ඩනය නියම වුනා පොඩි ළමයි 2 ක් සහා, තව මිනිස්සු 8 දෙනෙක් මැරුවා කියලා. මැරුවේ කොටිමද කියන්න මම දන්නේ නෑ, නමුත් නීතිය අතට ගන්න සෙබලුන්ට බෑ, ඒකට තමයි අධිකරණයක් තියෙන්නේ. මේ වගේ නීතිය අතට අරගෙන මිනිස්සුන්ට දඩුවම් කරන්න ගත්තම, ඒකෙන් වාසිගන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. හමුදාවේ හැම එකාම නරක උන් නෙවෙයි උන් දෙමළුන්ට ගොඩක් උදව් කරා, දෙමළුන්ව යුද්ධය තිබ්බ පැති වලින් බේරගත්තා, ප්‍රථමාධාර ලබා දුන්නා, දෙමළුන්ගේ ගෙවල් දොරවල් හදලා දුන්නා, නමුත් කිරි කලේට ගොම වැටුනම කිරි කලේම නරක් වෙනවා වගේ, වැරදි දෙක තුනක් තිබ්බත් ඇති හමුදාවේ නම කැත වෙන්න. සමහර විට ඒ දවස් වල දෙමළ නායකයෝ මේ සිද්දියත් වාසියට අරගෙන දෙමලුන්ට කියන්න ඇති අන්න අපේ ළමයි 2ක් සිංහල හමුදාවේ උන් මැරුවා, උන් උබලවත් මරයි ඊට කලින් අපිට එකතු වෙලා සටන් කරපල්ලා කියලා. දෙමළ නායකයෝ හමුදාවේ හොද කවදාවත් කියන්නේ නෑ, උන් වැරදිමයි හොයන්නේ. ඉතින් මේ වගේ තත්වයකදි, LTTE එකට මිනිස්සු එකතු වෙච්ච හේතුව පුදුමයක් නෙවෙයි.
මහින්දගේ කාලේ ගොඩක් ප්‍රශ්ණ විසදිලා තිබ්බා ඒක තමයි කරුණා වගේ නායකයොත් හමුදාවේ පැත්තට ආවේ, නමුත් තාමත් උතුරේ දෙමළුන්ට හොද ජීවන මට්ටමක් නෑ, උන්ගේ නායකයෝ කියන්නේ උබලා වෙනම රටක් ඉල්ලපන් එතකොට අපි මේ ප්‍රශ්ණ විසදලා දෙන්නම් කියලා, එතකොට උන් වෙනම රටක් ඉල්ලනවා. ඉතින් ආණ්ඩුවේ වගකීම තමයි දෙමළ මිනිස්සුන්ගේ ආර්ථික, සමාජීය, ආගමික ප්‍රශ්ණ හොයලා බලලා විසදන එක එහෙම නැත්නම් උන්ගේ ඊළාම් සිහිනය නැති කරන්න බෑ. උන්ගේ ගොඩක් නායකයන්ට තමයි වෙනම රටක් ඕනේ මොකද උන් දන්නවා උන්ට වෙනම රටක් හම්බ උනොත් උන් තමයි ඒක පාලනය කරන්නේ කියලා, මේක බල කෑදර කම ප්‍රබාකරන් වගේ උන්ට තිබ්බේත් මේකයි, නමුත් සාමාන්‍යය මිනිස්සුන්ට ඕනේ පාඩුවේ ඉන්නයි. සිංහල දෙමළ මිනිස්සු අවුරුදු දහස් ගාණක් තිස්සේ එකට ජීවත් උනා කිසිම ප්‍රශ්ණයක් නැතුව, ඉන්දියාවේ ඉදලා ආක්‍රමණ ඉදලා හිටලා ආවත් ඒවා ආවේ බල තණ්හාවට මිසක් වෙන හේතුවකට නෙවෙයි. ලංකාවේ ජීවත් වෙච්ච දෙමළ සිංහල මිනිස්සු අතර ප්‍රශ්ණ එන්න ගත්තේ බ්‍රිතාන්‍යයේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් ක්‍රමය නිසයි, ඊට පස්සේ ලංකාව පාලනය කරපු පාලකයන්ගේ අදූර දර්ශී පාලන ක්‍රමය නිසයි. මේක උන්ට විතරක් නෙවෙයි, අපිටත් අදාළයි, මේ ආණ්ඩුව දිගට දිගට දකුණේ සිංහල මිනිස්සුන්ව පීඩනයට පත් කරොත් දකුණේ මිනිස්සුත් පාරට බැහලා කැරලි ගහන්න ගනියි. ඉතින් ආණ්ඩුව දැනගන්න ඕනේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම උසස් වෙන විදියට රට පාලනය කරන්න.