ලෝකය බිහි වූ දිනයේ පටන් බොහෝ පුද්ගලයෝ "සත්‍යය" සොයා ගියහ. ඇතැම්හු තම අරමුණ සපුරා නොගෙනම මිය පරලොව ගියහ. තවකෙක් "සත්‍යය" සොයාගත්හ. ඔවුහු තමන් දැනගත් සත්‍යය ලොවට හෙළි කළහ. "සත්‍යය" සොයාගත් පුද්ගලයන් අතර අපූරු සබඳතාවක් ඔවුන්ගේ චරිත විශ්ලේශනයෙන් පැහැදිලි වේ. එනම් ඒ පුද්ගලයින් අතරින් එක් අයෙකු හැර අන් සියලු දෙනාම "සත්‍යය" සෙව්වේ තම ශරීරයෙන් පිටත බවයි. ඔවුන්ට "සත්‍යය" හමු වූයේ ඉතා දුර ඈත සිටින, නොපෙනෙන, නොදැනෙන, මහා බලසම්පන්න දෙවියෙකු සන්තකයේ තිබී ය. නමුත් "සත්‍යය" සොයා තමා තුළට ගිය පුද්ගලයා පමණක් අනෙක් "සත්‍යයන්" සියල්ලටම වඩා වෙනස් "සත්‍යයක්" සොයාගත්තේ ය. කවුරු පිළි ගත්තත්/නොගත්තත්, විශ්වාස කළත්/නොකළත් පුද්ගලයා කෙරෙහි බලපවත්වන්නා වූ "සත්‍යය" වන්නේ බාහිරව කෙරෙන බලපෑම නොව පුද්ගලයා "තුළ" පවත්නා "සත්‍යය" බැව් මධ්‍යස්ථ මතධාරී, තාර්කික බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට අපහසුවෙන් හෝ පිළිගැනීමට හැකි යැයි මම උපකල්පනය කරමි. එයට "විශ්වීය සත්‍යය" යන නම ව්‍යවහාර කෙරේ. තමා තුළ පවතින සත්යස සොයා ගිය එම ගවේෂකයා බුදුරජාණන්වහන්සේ පමණක් බව ඔබට දනියි. මා බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ විශ්වාස කරන්නෙකු වීම නිසා ද බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ යන්නෝ "බෞද්ධයෝ" නම්වන නිසා ද උපතින් බෞද්ධයන් වන පුද්ගලයන් පමණක් වර්තමානයේ එම "විශ්වීය සත්‍යය" දකිතැයි කීමට මා සැරසෙතැයි ඔබ සිතනු ඇත. නැත! මම එසේ නොකියමි. එසේ නොකියන්නේ එසේ කිවහොත් "බෞද්ධයන්" වන සියලු දෙනා සත්‍යයම මාර්ගය ම අනුගමනය කරන බවට වූ වැරදි අදහසක් ඔබ තුළ ජනිත වන බැවිනි. ඇත්ත කතාව නම් බෞද්ධයන්ගෙන් ද සියයට දශම එකක් වත් මෙම "විශ්වීය සත්‍යය" යනු කුමක්දැයි නොහඳුනන බව ය. "විශ්වීය සත්‍යය" නම් චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍යය නම් දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදෙන මඟ යන මේවා ය. විශ්වයේ පරම සත්‍යය මෙයයි. මනුෂ්‍ය ජීවිතය තුළදී මෙම සත්‍යය දැකීමේ උත්කෘෂ්ට වාසනාව "ක්ෂණ සම්පත්තිය" නම්වේ. "ක්ෂණ සම්පත්තිය" නම් මනුෂ්‍ය ජීවිතය හා චතුරාර්ය සත්‍යය හමුවීමයි.