අද (08) රාත්රී ස්වර්ණවාහිනී ආයතනය මගින් සංවිධානය කර තිබූ "රතු ඉර" දේශපාලන විවාදය වෙනුවෙන් ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් පැමිණි ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ තමාගේ සහයට ඇමැති රාජිත සේනාරත්න මහතා කැටුව ඒම නිසා විවාදය ආරම්භ නොකොට අවසන් කිරීමට ස්වර්ණවාහිනී ආයතනයට සිදුවිය.
මෙහිදී විපක්ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පමණක් සහභාගී වී සිටි අතර, ආණ්ඩු පාර්ශවයෙන් නියෝජිතයින් දෙදෙනෙකු සහභාගී වීම පිළිබඳව දයාසිරි ජයසේකර මන්ත්රීවරයා සිය විරෝධය දැක්වීය. විරෝධය දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්රීවරයා පැවසුවේ තමාට දෙදෙනෙකු සමඟ විවාදය පැවැත්වීම අසාධාරණ බවත්, එක් අයෙකු පමණක් මේ වෙනුවෙන් සහභාගී වන්නේ නම් මෙම විවාදය පැවැත්වීමට තමන් එකඟ වන බවයි.
මෙහිදී විමල් වීරවංශ පැවසුවේ කිසිසේත්ම තනියම මෙම විවාදය පැවැත්වීමට නොහැකි බැවින් දයාසිරි ජයසේකර මන්ත්රීවරයාට මෙම විවාදයෙන් පැන නොගොස් විවාදයට සම්බන්ධ වන ලෙසයි. මේ අවස්ථාවේදී පැහැදිලි කිරීමක් කරමින් දයාසිරි ජයසේකර මන්ත්රීවරයා පැවසුවේ ස්වර්ණවාහිනී ආයතනය තමන්ට පෞද්ගලිකව ඇමතුමක් ලබාදී මෙම විවාදය වෙනුවෙන් ආරාධනා කළ බවයි.
පසුගිය දිනෙක ප්රවෘත්ති සාකච්ඡා කිහිපයකදී හා විවිධ අවස්තාවන්වලදී විමල් වීරවංශ පැවසුවේ ජෙනරාල්වරයාගේ අවි ගනුදෙනු පිළිබඳව විවාදයකට පැමිණෙන ලෙසත් ඒ වෙනුවෙන් තමන් ඉදිරිපත් වන බවයි. මේ අනුව ස්වර්ණවාහිනී ආයතනයට පෞද්ගලික සම්මුඛ සාකච්ඡාවක් ලබා දී දයාසිරි ජයසේකර මන්ත්රීවරයා පැවසුවේ විමල් වීරවංශගේ අභියෝගය තම්න භාරගන්නා බවයි. පසුව ස්වර්ණවාහිනී ආයතනයේ පූර්ව ප්රචාරක වැඩසටහන්වලදී පවා දයාසිරි ජයසේකර මන්ත්රීවරයා හා විමල් විරවංශ යන දෙදෙනාගේ රූප රාමු පමණක් යොදා විශේෂ රතු ඉර දේශපාලන වැඩසටහන් පැවැත්වෙන බව ප්රචාරය කෙරිණි.
මේ අනුව දයාසිරි ජයසේකර මන්ත්රීවරයා හා විමල් වීරවංශ යන දෙදෙනා පමණක් සහභාගී වන වැඩසටහනක් ලෙස මුලින්ම ඇඟවූ ස්වර්ණවාහිනී ආයතනය පසුව ආණ්ඩු පාර්ශවයේ දෙදෙනෙකුට ආරාධනා කොට විපක්ෂයේ එක් අයෙකුට පමණක් ආරාධනා කළ බවත් දක්නට ලැබුණි.
කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ස්වර්ණවාහිනී ආයතනය ආණ්ඩුවට වාසි වන අන්දමින් කටයුතු කරන බවක් දක්නට ලැබුණු අතර, මේ සම්බන්ධයෙන් නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ ස්වර්ණවාහිනී ආයතනයේ වත්මන් හිමිකරු විසින් මෙලෙස කටයුතු කිරීමට නියෝග ලබා දුන් බවයි. රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු වන මෙම වත්මන් හිමිකරු මෙලෙස ආණ්ඩුවට වාසි සහගත ආකාරයෙන් වැඩසටහන මෙහෙයවීමට නියෝග කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මන්ත්රීවරයා දිගින් දිගටම පවසා සිටියේ තමන්ට විමල් වීරවංශ සමග සාකච්ඡා කළ හැකි නමුත් ආණ්ඩු පාර්ශවයෙන් දෙදෙනෙකු සමඟ තමන් තනිව විවාද කිරීම අසාධාරණ බවයි. මෙහිදී ජයසේකර මන්ත්රීවරයා පැවසුවේ මනමාලිය සමඟ කටයුතු කරනවා මිස මනමාලියගේ යෙහෙලිය සමඟ හෙවත් මල් කුමාරිය සමග කිසිදු කටයුත්තක් නොකරන බවයි.
නමුත් දිගින් දිගටම විමල් වීරවංශ විසින් දයාසිරි ජයසේකර මන්ත්රීවරයා සමඟ තනිවම විවාදය පැවැත්වීම ප්රතික්ෂේප කළ අතර, මේ සම්බන්ධයෙන් බෙහෝ දෙනෙකු පැවසුවේ තනි පුද්ගලයෙකු සමඟ විවිද කිරීමට තනිවම පැමිණිමට බිය වී ඇති විමල් වීරවංශ සගයෙක් කැඳවා ගෙන විත් සිංහ නාද කිරීමට ගොස් රටටම ඇසෙන සේ හූ හඬ නැඟූ බවයි.