“මා විස්මයට පත්වුණා… මට දැනෙන්නේ පාවෙන්නාක් වාගෙයි… ප්‍රබන්ධයක් යැයි ඔබ කියාවි, ඒත් මේ අපට අපේ කතාවයි“. ගෝඩ්ෆාදර් චිත්‍රපටය නරඹා සිනමා ශාලාවෙන් පිටතට එමින් සිටි මාෆියා නායකයෙකුගේ මුවින් පිටවූ වදන් ඒ.
එතැන් පටන් දශක ගණනාවක් තිස්සේ ලොව පුරා නළුවන්ට ගෝඩ්ෆාදර් හි මාලන් බ්‍රැන්ඩෝ ගේ චරිත නිරූපණය ආදර්ශයක් වූ හැටියටම, ඹහු මවා පෙන්වූ මාෆියා නායක වීටෝ කොර්ලියෝනි චරිතය ඇමෙරිකානු මාෆියා ලොක්කන් හට ද ආදර්ශයක්ම වීලු. ශාප කිරීමක් වුවත් හරි විදිහකට කරන්නත්, පිළිවෙළක් සහිතව හැසිරෙන හැටි ගැනත් ඔවුන් ගෝඩ්ෆාදර් ගෙන් ඉගෙන ගත්තේලු.
ෆ්‍රැන්සිස් ෆෝර්ඩ් කෝපොලා ගේ අධ්‍යක්‍ෂණයෙන් ගෝඩ්ෆාදර් තිරගතවූයේ 1972 වසරේදීයි. එයට පදනම් වූයේ මාරියෝ ෆූසෝ විසින් රචිත ද ගෝඩ්ෆාදර් නවකතාවයි. අදටත් අපරාධ කල්ලි කතා සිනමාවේ මුදුන්මල්කඩ ගෝඩ්ෆාදර් චිත්‍රපටයයි. ෆෝඩ්ෆාදර් පළමුවැනි ස්ථාන 5 අතරට නොඑන, ලොව එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම සිනමා කෘති පෙළගස්වන දර්ශක කොතැනකවත් නැහැ.
මාෆියාව… ‘මාෆියා‘ යන්නෙහි මුල් වචනාර්ථය ‘සරණාගතව ලැගුම්ගන්නා රක්‍ෂිත ස්ථානය‘ යන්නයි. දහ නව වැනි සියවස අග භාගය වන විට ඉතාලියානු සරණාගතයන්, විශේෂයෙන්ම සිසිලි දූපතේ වැසියන් ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලු වෙමින් සිටියා. ඔවුනට ඇමෙරිකානු නීතියත් සමග වැඩි ගනු දෙනුවක් තිබුණේ නැහැ. තමන්ගේ කටයුතු තමන්ම තමන්ම බලාගැනීමයි ඔවුන් සිදුකළේ. ඔවුන් අතර ශක්තිවන්තයෝ බිහිවුණා. හොඳින් හෝ නරකින් හෝ තමන්ට හිතවන්ත අයවව මේ ශක්තිවන්තයෝ රක්‍ෂාකළා. ඉතාලියානු-ඇමෙරිකානු මාෆියා ලොක්කන් සහ ඔවුන්ගේ පවුල් අධිරාජ්‍ය බිහිවූයේ එහෙමයි. මිනීමැරීම්, සූදු, ගණිකා ව්‍යාපාරය ආදායයි ඔවුනගේ යැපුම් මාර්ග බවට පත්වූයේ. ඇමෙරිකාවේදී මෙම පිරිස් හැඳින්වුනේ ල කොසා නොස්ට්‍රා යනුවෙන්. එහි අර්ථය ‘අපේ දෙය‘ යන්නයි. අපේ දෙයක කුමක් වුනත් එයට ඇඟිලි ගසන්නට එන එන කාටවුණත් හොඳන් නම් වූයේ නැහැ. තිස් ගණන් වල අග වෙද්දී පවුල් පහ නමින් කුප්‍රකට මාෆියා කණ්ඩායම් 5 ක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් ආශ්‍රිතව සිටියා. ගම්බීනෝ පවුල, ලුකේසේ පවුල, ජෙනොවේසේ පවුල, බොනානෝ පවුල සහ කොලොම්බෝ පවුල යනු එම මාෆියා පවුල් පහයි. ගෝඩ්ෆාදර් චිත්‍රපටයේ ‘පවුල් පහ‘ ට රචක මාරියෝ පූසෝ හට අභාසය වන්නේ මේ පවුල් පහයි. නමුත් දොන් කොර්ලියෝනි ගේ චරිතයට සමාන කෙනෙක් එම පවුල් වල සිටියේ නැහැ. අප මෙම ලිවීමෙහි මුල උපුටා දක්වා ඇති ප්‍රකාශය සිදු කර ඇත්තේ ඉහත පවුල් පහ අතරින් ගැම්බීනෝ පවුලේ කෙනෙක්.
මෙවැනි මාෆියා කල්ලි තේමා කරගත් සිනමා නිර්මාණ හැත්තෑව දශකයේ මුල භාගය වෙද්දී හොලිවුඩයට අලුත් දෙයක්ව තිබුණේ නැහැ. නමුත් ඒ සියල්ලක්ම ‘මාෆියා කාරයන්‘ දෙස බලා තිබුණේ මහා සමාජයීය සුචරිතවාදී දෘෂ්ටිකෝණයේ සිට පමණයි. නමුත් මාරියෝ ෆූසෝ සිය ගෝඩ්ෆාදර් නවකතාවත් සමග මාෆියා සමාජය දෙස බලන්නේ එහි ඇතුලත සිටයි. ෆූසෝගේ දැක්ම අධ්‍යක්‍ෂ ෆ්‍රැන්සිස් ෆෝර්ඩ් කෝපොලා විසින් සියුම්ව සිනමාගත කර තිබෙනවා. ගෝඩ්ෆාදර් විශිෂ්ට සිනමා නාර්මාණයක් බවට පත්වීමේ මුල් අඩිතාලමයි ඒ.
හොඳද නරකද යැයි නොගන්නා ‘පවුල‘ පිළිබඳ හැඟීමක් ගෝඩ්ෆාදර් සිනමා පටය පුරාවටම එය නරඹන අප තුළ සැරසරනවා. පවුලේ ප්‍රධානියා ලෙස පියා, දොන් විටෝ කොර්ලියෝනි සහ ඔහුගේ පුතුන් මේ පවුලට අයත්. පක්‍ෂපාතී හිතවතුන් මේ පවුලට අයත්. මාෆියා පවුල යනු ජීවවිද්‍යාත්මකව පවුලක් නොවෙයි. එක්තරා විදිහකට පිරිමින්ගේ පවුලක් යැයී කීවාත් වරදක් නැහැ. චිත්‍රපටය නරඹත්දී ඔබ දකීවි පවුලේ සියලු ගැහැනුන් මාෆියා පවුලෙන් වෙන් කර ඇති හැටි සිනමාරූපණය තුළම.
පැරමවුන්ට් සිනමා සමාගම ද ගෝඩ්ෆාදර් නවකතාව වෙනුවෙන් සිනමා අයිතිය ලබාගත්තේ මාරියෝ ෆූසෝ නවකතාව ලියද්දීමයි. එනම් 1967 වසරේදීයි. පැරමවුන්ට් සමාගමේ නිෂ්පාදන උප සභාපති පීටර් බාර්ට් හට ඉවක් වූවා මෙම නවකතාව සාමාන්‍ය මාෆියා කතාවකින් එහා දෙයක් වන බවට. ඒ ලෙසටම 1969 වසරේදී පොත පළවෙද්දී එය අති ඉහළ අලෙවියක් වාර්තා කළා. ඉතාලියානු මාෆියා කල්ලි ගැන, ඉතාලියානු සම්භවයක් සහිත රචකයෙකු ලියූ කතාව, ඉතාලියානු සම්භවයක් සහිත අධ්‍යක්‍ෂවරයෙකු අතින්ම නිර්මාණය කරවන්නයි පැරමවුන්ට් සමාගමට උවමනා වූයේ.
ඒ කාරියට ගැලපෙන්ම පුද්ගලායා බවට පෙනෙන්නට සිටියේ එවකට නිදහස් සිනමා කරුවෙකු ලෙස නමක් දිනා සිටි ෆ්‍රැන්සිස් ෆෝර්ඩ් කෝපොලායි. නමුත් ඔහු සමග වැඩ කරන්න සිනමා සමාගමට කිසි කැමැත්තක් තිබුණේ නැහැ. මන්දයත් කෝපොලා යනු ලෙහෙසියෙන් පහසුවෙන් සමාගමකට වැඩක් කරවාගත හැකි අධ්‍යක්‍ෂවරයෙක් නොවන බවට නම් දරා සිටි නිසයි. චිත්‍රපටය භාරගන්න කෝපොලා කැමතිවූයෙත් නැහැ. ඔහු එය හැඳින්වූයේ ‘බාල වැඩක්‘ හැටියටයි. නමුත් එවකට ඔහුගේ සහාය අධ්‍යක්‍ෂවරයාව සිටි ජෝර්ජ් ලූකාස් යථා ලෝකයේ තත්ත්වය (එනම් ආර්ථිකය) ගැන කියමින් කෝපොලාව පෙළඹවූවා ගෝඩ්ෆාදර් භාරගන්නා තැනට.
තිර රචනය සඳහා එක් වූයේ අධ්‍යක්‍ෂ වරයා සහ රචකයා මයි. ඔවුන් එක්ව වැඩ කළ යුතු වුණත් දෙදෙනා වෙන වෙනම සම්පූර්ණ පිටපත් දෙකක් සැකසුවා. අවසානයේ ඒ දෙකෙන්ම කොටස් එක්කර තනි තිරපතක් සැකසුවා. පැය තුනකට ආසන්න ධාවන කාලයක් සහිත ගෝඩ්ෆාදර් සිනමා පටය බවට පත්වූයේ එම තිර රචනයයි.
මාරියෝ ෆූසෝගේ කතාවට පසුබිම් වන්නේ හතළිහ දශකයේ මැද භාගයේ, ප්‍රධාන වශයෙන් ඇමෙරිකාවේ නිව් යෝර්ක් ආශ්‍රිත ප්‍රදේශයි. නමුත් අපරාධ කල්ලි කතාවක් වෙනුවෙන් වැඩි වියදමක් සිදු කරන්නට පැරමවුන්ට් සමාගම කැමැත්තක් දැක්වූයේ නැහැ. කතාවේ කාලය වර්තමානයට (හැත්තෑව දශකයට) සහ පරිසරය කැන්සාස් නගරට ගෙන එන්නට ඔවුන් යෝජනා කළේ ඒ නිසයි. අධ්‍යක්‍ෂ ෆ්‍රැන්සිස් ෆෝර්ඩ් කෝපොලා එයට කිසිසේත්ම එකඟවූයේ නැහැ. එය නොකළ යුතු දෙයක් හැටියට ඔහු ඉතා තීක්‍ෂණව පෙන්වා දුන්නේ චිත්‍රපටයේ ප්‍රධානව ගලායන චරිතය වන, අල් පචීනෝ විසින් නිරූපිත මයිකල් කොර්ලියෝනි ගේ චරිතයේ ගොඩ නැගීමයි. වීටෝ කොර්ලියෝනි ගේ බාල පුත්‍රයා වන මයිකල් කොර්ලියෝනි දෙවන ලෝක සංග්‍රාමයේ යුධ වැද වීර පද්ක්කම් ලාභියෙක්. පසු කලෙක සෙනට් මණ්ඩලය හෝ ජනාධිපති පුටුව දක්වා හෝ යාමට තරම් ශක්‍යතාවක් ඇති මෙම චරිතවර්ගයට හැත්තෑව දශකය ජීවක් නොපවතින බව කෝපොලා පෙන්වා දුන්නා.
ඉතින් වියදම් අධික නිව්යෝර්ක් නගරයේ පමණක් නොව ඉතාලියේ සිසිලි දූපතේත් රූගතකිරීම සඳහා මුදල් වෙන් කරන්න පැරමවුන්ට් සමාගමට සිදුවුණා.
ඊළඟ මත ගැටුම නළුවෙකු තොරාගැනීමයි. ‘මාලන් බ්‍රැන්ඩෝ හැර ඕනෑ කෙනෙක්‘ යන සටන් පාඨය පැරමවුන්ට් සමාගම ගෙන එත්දී කෝපොලා ගෙන ආවේ ‘බ්‍රැන්ඩෝ හැර කිසිවෙක් බැහැ‘ යන සටන් පාඨයයි. බ්‍රැන්ඩෝ ගේ කුකුළ් කේන්තිය සමග වැඩකරන්න එකල කිසිවෙක් කැමති වූයේ නැහැ. ආසන්න කාලයේ ඔහු රඟපෑ චිත්‍රපට සාර්ථකව තිබුණේත් නැහැ. අර්නස්ට් බෝර්ග්නීනි, ඇන්තනි ක්වීන්, ඕසන් වෙල්ස් ඇතුලු කීර්තිමත් රංගන ශිල්පීන් 11 දෙනෙකු ගෝඩ්ෆාදර් චරිතය සඳහා යෝජනාවී තිබුණා. අවසානයේ කොපෝලා ගේ ඕනෑකම හා සිනමා සමාගම එකඟවූයේ කොන්දේසි තුනක් මතයි. 1 නොමිලයේ රඟපාන්න බ්‍රැන්ඩෝ එකඟ විය යුතුයි. 2 තිර පරීක්‍ෂණයකට බ්‍රැන්ඩෝ අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුයි. 3 දර්ශන තලයේ කලබල ඇති කර නිෂ්පාදනය හැර නොයන බවට බ්‍රැන්ඩෝ ගිවිසුමකට අත්සන් තැබිය යුතුයි.
පළමුවැන්න එනම් නොමිලයේ රංගනය කෙසේ වෙතත් අද අප මහ ඉහළින් අගය කරනා ගෝඩ්ෆාදර් චරිතය වෙනුවෙන් මාලන් බ්‍රැන්ඩෝ හට සුපිරි මුදලක් ලැබී නැහැ. තුන්වැනි කොටස ගැන කියනවා නම් එය සිදුවන්නට කෝපොලා ඉඩක් තැබුවේ නැහැ. තමන් ගෝඩ්ෆාදර් චරිතය වෙනුවෙන් මාලන් බ්‍රැන්ඩෝ හට කිසිදු විශේෂ රංගන උපදෙසක් නොදුන් බව ෆ්‍රැන්සිස් ෆෝර්ඩ් කෝපොලා අදටත් සතුටින් පවසනවා. ඔහු කියනා පරිදි තමනුත් බ්‍රැන්ඩෝත් පණිවිඩ හුවමාරු කරගත්තේ රංග භාණ්ඩ වලින්. එය පළතුරු ගෙඩියක් විය හැකියි, මස්පෙත්තක් විය හැකියි, දර්ශන තලයට කොහේදෝ සිට ආ පූසෙකු විය හැකියි, කුමක් වුණත් එය සමග කළ යුතු දෙය බ්‍රැන්ඩෝ කරනවා. චිත්‍රපටය නරඹා ඇත්නම් ඇත්නම් වීටෝ කොර්ලියෝනි ගේ උකුළේ කෙළිදෙලෙන් සුරතල් වන බළළා දැන් ඔබට සිහිපත් විය යුතුයි. ඒ තිර පිටපතින් ආ බළළෙක් නොවෙයි. අයාලයේ ආ බළලෙක්.
රූගත කිරීම් ඇරඹුණා. සිනමා සමාගමෙන් දිගින් දිගටම කෝපොලා හට කෙනෙහිලි කම් සිදුවුණා. සියල්ලන්ම කටයුතු කළේ ඔහුව නිෂ්පාදනයෙන් හළාදමන අරමුණින් බවයි පැවසෙන්නේ. අවසානයේ කෝපොලාටද පත්වන්නට සිදුවූයේ මාෆියා ලොක්කෙකුගේ තත්ත්වටයි. තමන්ට එරෙහිව සමාගමට ගතුකියන බවට සැකකල බොහෝ පිරිසක්ව ඔහු අස්කර දැමුවා. කෙනෙහිලිකම් වැඩිවෙද්දී ඒ වෙනුවෙන් පෙරට ආවේ මාලන් බ්‍රැන්ඩෝයි. කෝපොලාව ඉවත් කර වෙනත් අධ්‍යක්‍ෂ වරයෙකු ගතහොත් තමන්ද නිෂ්පාදනයෙන් ඉවත්වල බව ඔහු එක්තරා තර්ජනයක් හැටියට කියා සිටියා.
දෙවැනි කොන්දේසිය - තිරපරීක්‍ෂණය. බ්‍රැන්ඩෝ වැනි ප්‍රවීණ රංගන ශිල්පියෙකුව තිර පරීක්‍ෂණයකට කැඳවා ඔහුට අපහාසයක් සිදුකිරීමට කෝපොලා කැමතිවූයේ නැහැ. කෝපොලා සිය කුඩා අත් හැමරාවත් රැගෙන බ්‍රැන්ඩෝගේ නිවසට ගියා. ඔහුව කෝප නොගන්වා ආ කාරිය ඉෂඨ කර ගැනීමට වග බලා ගත්තා.
සිනමා ඉතිහාසයේ සංධිස්ථානගත සළකුණක් බවට පත්වූ මාලන් බ්‍රැන්ඩෝ ගේ දොන් කොර්ලියෝනි චරිතය මුල් වරට බිහිවූයේ එතැනදීයි.
බ්‍රැන්ඩෝ සිය දිගු සුදු පැහැ කෙස් වැටිය පිටිපසට කොට සකසා, එය අඳුරු පැහැ කරගැනීම සඳහා සපත්තු පොලිෂ් ආලේප කරගත්තා. මේ මාෆියා ලොක්කා බුල්ඩෝග් කෙනෙකු වාගේ වෙන්නට ඕනෑ බව කී ඔහු හකු වලට පුළුන් ඔබා ගත්තා.
ගෝඩ්ෆාදර් චිත්‍රපටයේ මාලන් බ්‍රැන්ඩෝ සියුම් චරිත නිරූපණයක යෙදෙන බව සත්‍යයක්. නමුත් එයට හරස් කපන බවක් පෙනීයන්නේද පුළුන් හක්ක මයි. (චිත්‍රපටයේ පුළුන් යොදාගත්තේ නැහැ. ඒ වෙනුවට දන්ත වෛද්‍යවරයෙක් බ්‍රැන්ඩෝ හට විශේෂ කෘත්‍රීම දත් කට්ටලයක් සකසා දුන්නා) කෝපොලා විසින් අතිශය ස්වභාවිකව සිමාගත කර ඇති චරිත අතරින් දොන් කොර්ලියෝනි වෙනස්වී නොපෙනෙන්නේ යැයි කියන්නටත් බැහැ.
කෙසේවෙතත් මාලන් බ්‍රැන්ඩෝ ඉතිහාසගත ගෝඩ්ෆාදර් චරිතය නිරූපණය කර හතළිස් පස් වසරක් ගතවී තිබෙනවා. ලොව පුරා රංගන ශිල්පීන් එය සිය පරමාදර්ශී රංගනය ලෙස ගෙන තිබෙනවා. බ්‍රැන්ඩෝ ගේ රංගනය පරමාදර්ශකරගත් නළුවන් ලංකාවෙත් නැතුවා නෙවෙයි. නමුත් බොහෝ අය ගෝඩ්ෆාදර්ගේ පුළුන් හක්ක මිස, බ්‍රැන්ඩෝගේ සියුම් රංගනය ගෙන ඇති බවක් වැඩිමනත් පෙනෙන්නට නැහැ.
සුප්‍රකට ගෝඩ්ෆාදර් තේමා සංගීතය පුමුඛ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය වුණේ සංගීතඥ නීනෝ රෝටා අතින්. සංගීත නිර්මාණ ශිල්පියෙකු වූ අධ්‍යක්‍ෂ වරයාගේ පියාත් සංගීත රචනයට දායවුණා. ගෝඩ්ෆාදර් ලබා තිබූ ඔස්කාර් සම්මාන නිර්දේශ නවය අතරින් හොඳම සංගීත නිර්මාණය සඳහා තේරී තිබුණත් Love Theme සංගීත ඛණ්ඩය නීනෝ රෝටා විසින් එයට පෙර, ෆෝර්ච්නෙල්ලා නැමති චිත්‍රපටයෙහි යොදාගෙන තිබීම නිසා ඔහුට සිය සම්මාන නාම යෝජනාව අහිමිව ගියා.
එය ඉදිරිපත්ව තිබූ 45 වැනි ඔස්කාර් සම්මාන රාත්‍රියේදී ගෝඩ්ෆාදර් චිත්‍රපටය බොහෝ ආන්දෝලන වලට තුඩු දී තිබුණා. ඒ ප්‍රධාන නළුවන් දෙදෙනෙක්ම සම්මාන රාත්‍රිය වර්ජනය කිරීම නිසයි.
ඒ මාලන් බ්‍රැන්ඩෝ සහ අල් පචීනෝයි.
බ්‍රැන්ඩෝ ගේ ගෝඩ්ෆාදර් චරිතය පිළිබඳව එහිදී ප්‍රශ්නයක් මතු කළේ විටෝ කොර්ලියොනිගේ බලා පුත්‍රයා එනම් මයිකල් කොර්ලියෝනි ලෙස රඟන අල් පචීනෝයි.
මාර්ලන් බ්‍රැන්ඩෝ හොඳම නළුවා වෙනුවෙන් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ ලබත්දී, එම චිත්‍රපටයේම රඟපෑ ජේම්ස් කාන්, රොබර්ට් ඩුවෝල් සහ අල් පචීනෝ යන රංගන ශිල්පීන් තිදෙනාම හොඳම සහාය නළුවා සම්මානය වෙනුවෙන් නිර්දේශ ලැබුවා. අල් පචීනෝ මතුකළ ගැටළුව නම් මාලන් බ්‍රැන්ඩෝ හොඳම නළුවා බවට පත්වද්දී ඔහුට වඩා විනාඩි ගණනක් පමණක් තිරකාලයෙන් අඩු තමන් හොඳම සහාය නළුවා වූයේ කෙසේද? යන්නයි. එයට විරෝධය පාමින් අල් පචීනෝ ඔස්කාර් සම්මාන රාත්‍රිය වර්ජනය කළා.
අල් පචීනෝගේ විරෝධය යුක්ති යුක්ත නැත්තේ නොවෙයි. මන්දයත් ගෝඩ්ෆාදර් චිත්‍රපටය අවසන් වත්දී සිනමා පටය පුරා ප්‍රධාන වශයෙන් ගොඩනැගී ඇත්තේ මයිකල් කොර්ලියෝනි චරිතය වීමයි.
මාලන් බ්‍රැන්ඩෝත් ඔස්කාර් සම්මාන රාත්‍රිය වර්ජනය කළා. ඔහු වෙනුවට වේදිකාවට ආවේ ස්වදේශික ඇමෙරිකානු අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියක වන සචින් ලිට්ල්ෆෙදර්. ඈ බ්‍රැන්ඩෝ වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ප්‍රතික්‍ෂේප කර සිටියා.
හොලිවුඩය දිගින් දිගටම ස්වදේශික ඇමෙරිකානුවන්ව සිනමාවේ සෘණාත්මක ලෙස නිරූපණය කිරීමට තමන් විරුද්ධ බැවින් සම්මානය භාර නොගන්නා බව බ්‍රැන්ඩෝ කියා එවා තිබුණා.