(ස්පොයිලර්ස් තිබිය හැක - Ye be warned!)
නෝලන්ගේ ඔඩිසි වැඩකට ඇති චිත්‍රපටියක් වන්නේ එය හෝමර්ගෙ මුල් කෘතියට සමාන වෙන තැන් වලට වඩා වෙනස් වන තැන් කීපය මතය. මෙසේ සිතමු, ෆ්ලැග්ෂිප් පරිවර්තනම හය හතක් ඇති, ඒවායින් විවිධාකාරයෙ චිත්‍රපටි දුසිමක් පමණ දැනටමත් සාදා ඇති ක්ලැසික් කාව්‍යයක් නැවතත් මුල් අකාරයෙන්ම කියන්නට මිලියන දෙසීයක් පුච්චන්නේ ඇයි ද යන්න බොහෝ දෙනෙක් අසන්නේ නැත. මේ ගැන පසුවට.
නෝලන් තමන්ගේ ඔඩිසි ය වැඩකට ඇති තැන් දෙකකින් වෙනස් කරයි. පලමුවැන්න ඔඩිසිසියස් තමා ඇතුලු මයිසිනියානු ජනයා සහභාගී වූ ට්‍රෝජන් යුද්ධ ගැන දරන්නේ සංකීර්ණ අදහසකි. ඉන්නේ පශ්චත්තාපී මනෝභාවයක ය. සම්භාව්‍ය රීතියට අනුව ලියවුන හෝමර්ගේ ඔඩිසියස් මෙවැනි සංකීර්ණතාවක් නොපෙන්වන තමාගේ ක්‍රියාවන් ගැන දෙවතාවක් නොහිතන පන්නයේ ආත්ම විශ්වාසයෙන් පිරුනු මහෞෂදයෙකි.
මේ පසුතැවීමේ නෝට් එක තදට ගැසීමෙන් නෝලන් කරන්නේ කතාව නූතනකරනයක් හෝ ක්රිස්තියානිකරනයක් ලෙස සිතිය හැක. එක අතකට මෙය නෝලන් ගේ අමුතුම සැරසිල්ලක් වන්නේත් නැත. ඉලියාඩ් කාව්‍යයේ සමහර යුද සටන් වල අවසානය ඉදිරිපත් කරන්නේ විජයග්‍රාහි බවකට වඩා විචාරාත්මක ඇම්බිවලන්ට් බවකිනි. අකිලිස් මෙවැනි චිත්ත විපර්යාසයකට ලක්වේ. නෝලන් තමන්ගේ චිත්රපටියෙ අකිලිස් ඉවත් කර ඒ වෙනුවට ඔඩිසියස්ට මේ දැක්ම ආරෝපනය කරයි.
නමුත් පසුතැවෙන ඔඩිසියස් කෙනෙකු ඇති පලවෙනි නිර්මානය මෙය නොවන අතර මීට පෙර අවස්තා කීපයකදීම ඔඩිසියස් ට වඩා සංකීර්ණ මනෝභාවයන් දීමට උත්සහ කර තිබුනි. එහෙනම් මොකක්ද නෝලන්ගේ පසුතැවීමෙ නැරටිව් උවමනාව.
නෝලන්ගේ ඔඩිසි යේ දෙවනි වෙනස්කම මුහුදු ගෝත්‍ර ගැන සඳහන් කිරීමයි. හෝමරික් කාව්‍ය වල කොතැනකවත් මුහුදු ගෝත්‍ර දකින්නට නැති අතර මේ ගැන පලමුව කියන්නේ පුරාණ ඊජිප්තු ජනයා ය. ඒ වාර දෙකකට නැව් මඟින් පැමිණ තමාට සහ අවට රාජ්‍යයන් පහර දෙන ගෝත්‍ර දුසිමයක පමණ නම් සඳන් කර ඇති රූපාක්ෂර ලිපි වලිනි. අපි අද දන්නා ශාස්ත්‍රීය ඉතිහාසයට අනුව ක්‍රිපූ 1200 පමණ සුලු ආසියාවෙ බල කේන්ද්‍රයන් වන හිටයිට්, මයිසිනියානු, ඊජිප්තු ශිෂ්ඨාචාර සහ පරිවාර රාජ්‍යන් වන උගරිට් (වර්තමාන සිරියාව), සයිප්‍රසය සහ ලෙවාන්ත ජනාවාස එකවිට පරිහානියට පත් වෙන බව පෙනේ. මුහුදු ගෝත්‍ර යනු මේ සුලු ආසියානු ලෝකඩ යුගයෙ සංස්කෘතීන් ගේ අවසානයට බලපාන හේතු වලින් එකකි. අමතරව උග්‍ර නියඟයන්, භූ කම්පන සහ ඈත පලාත්වලින් එන ටින් සහ තඹ වැනි වටිනා අමු ද්‍රව්‍ය සැපයුම් අඩාල වීම ද බලපා ඇතැයි කියයි. මේ සාධක වල අනුකලනයක් නිසා සුලු ආසියානු ශිෂ්ඨාචාර අතර වෙලඳාම, ඒවායෙ පවුරු නගර සහ සාක්ෂරතාවයද විනාශ මුඛයට යයි. නමුත් නෝලන්ගේ මුහුදූ ගෝත්‍ර පෙරකී මුහුදු ගෝත්‍ර ම නොවේ.
පුරාන ග්‍රීක අදහසක් වන xenia අනුව කලාපීය බලවතුන් අන්‍යෝන්‍ය ව ගරු කලයුතු පූජනීය ගිවිසුමෙ පොලිටිකල් අර්ථය වන්නේ හැකිතාක් යුද ගැටුම් සහ ආක්‍රමණයන් අවම කරගැනීමයි. මේ සියලුම ජනයා එකිනෙකා අතර භාණ්ඩ හුවමාරුවෙන් තමන්ගේ ආර්ථිකය නිර්මාණය කරගත් අතර වඩා ධනවත් බලයන් පරිවාර රාජ්‍යයන්ට ණය දීම සිදු කෙරුනි. එක වරක් හිටයිට් අධිරාජ්‍යයාගේ මව ඊජිප්තු අධිරාජ්‍යයාට යවන පණිවිඩය සදහන් වන්නේ ණය වාරිකය වශයෙන් ගෙවා ඇති රත්රන් බාල වන අතර මේ වරදනැවත නොකරන ලෙසය. මේ ශිෂ්ඨාචාර ස්තාවර පැවතීමට වෙලඳාම් සිදුවිය යුතුය. එය සඳහා ජාතීන් අතර ගැටුම් අවම කරගතයුතුය. එකිනෙකා යුද නොවැදිය යුතුය.
නැවතත් චිත්‍රපටියට. ඔඩිසියස් නැති අතරේ ග්‍රීසියෙ ඉන්නා ඇකියන් වරු බාහිරින් එන මුහුදු ගෝත්‍රයක් තම අවට රාජ්‍යයන් හි කරමින් ඉන්නා කලහකාරී ආක්‍රමණයන් ගැන වරින් වර අසයි. ලඟ ලඟම එන නොදන්නා නොපෙනෙන විනාශයකට සූදානම් වේ. පෙනෙලොපි මුහුන දෙන යථාර්තය තනිකඩව නොසිට තවකෙකු සමඟ විවාහ වී මේ ආක්‍රමණිකයන්ට මුහුන දීමට රාජධානිය ශක්තිමත් කරගත යුතු බවයි. ඉතකාවට ආ පසු ඔඩිසියස් වටහා ගන්නේ ජාතීන් අතර සාමය උදෙසා පවතින සෝෂල් කන්ට්‍රැක්ට් එක කඩ කෙරූ මුහුදු ගෝත්‍රයන් අතරට ට්‍රෝජන් යුද්ධයන් කල තමන්ද අයත් වන බවයි. ඔඩීසියස් ඇතුලු පිරිස දේව උදහසට ලක්වන්නේ පූජනීය ගිවිසුමකට එරෙහිව යෑම නිසාය. නෝලන්ගේ දෙවියා ප්‍රැග්මැටික් ආර්ථික මූලදර්මයක් වන අතර දේව උදහස වනාහී ආර්ථික දියුණුව, සාක්ෂරතාවය, සාමය ඇතුලු ශිෂ්ඨාචාර පරිහානියය. ඔඩිසියස් ගේ පසුතැවීම මෙයයි.
පසුවට තැබූ කතාව මේකයි- හෝමරික් කතා සම්පාදනය වෙන්නේ ක්‍රිපූ 800 පමණ ය. කතාවලට වස්තු බීජය ක්‍රිපු 1200 පමණ සුලු ආසියාව පුරා ලෝකඩ යුගයෙ රාජ්‍යයන් බිඳවැටී යන සමය ගැන පසු කාලයෙ සිටි ජනතාවට පරිකල්පනය කල සිද්ධීන් ය. ඉතිහාසය ඉතිහාසය ලෙසම ලියන්න තවමත් හෙරෝඩටස් හෝ තුසිඩයිඩස් ගෙ කාලය නොවේ නිසා හෝමර් කරන්නේ සැලකිය යුතු තරමෙ ප්රබන්ධකරනයකි. මෙසේ සම්පාදිත කතා ග්‍රීක පුරාණ යුගය (Archaic Period) පුරාවටම මුඛ පරම්පරාගත පවතී. නැවත නිර්මාණය වේ. පසුව ක්‍රිපු 500 න් පසුව ග්‍රීක සම්භාව්‍ය යුගයේ (Classical Period) දී ග්‍රන්ථාරූඪ වේ. එතැනින් පසු මේවා ග්‍රීසියට පමණක් සීමා වන්නේ නැත. රෝම ජනරජයෙ ජනතාව ඉලියාඩ් වැළඳගන්නා අතර් ට්‍රොජන් යුද්ධ වල සටන් කලේ තමන් පැවත එන මුතුන් මිත්තන් බව සිතයි. ඉලියාඩ් මත පදනම්ව වර්ජිල් ඉනියාඩ් ලියයි. හෝමරික් කතා බෝල්කන් කලාපයට යයි. පසු ව්‍යවහාරික යුගය පුරාවට හෝමරික් කතා යුරෝපය ඇප්රොප්රියෙට් කරගනී. සෞන්දර්ය දර්ශනයෙ සිට වර්තමාන පොප් සංස්කෘතිය දක්වා බටහිරයන් හෝමරික් කතා රීසයිකල් කරයි. මෙය බග් එකක් නොවන අතර ෆීචර් එකකි.
හෝමරික් කාව්‍යය යනු අවුරුදු 3000 ක් පුරාවට ජීවත් වෙන හුස්ම ගන්නා සම්ප්රදායකි. දැනුන දේ නම් නෝලන් තමන්ගේ ඔඩිසි හදන්නේ කතාව කීමේ උවමනවාටත් වඩා මේ හද්ද පරණ බටහිර ප්‍රැක්ටිස් එකෙ නිරත වීමෙ ආසාව නිසා විය හැකි බවයි.