බහුතරය හදාගැනීම

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේ අපිට අහලා පුරුදු පක්ෂ දේශපාලනයේ කියවෙන බහුතරය හදාගැනීම ගැන නෙවෙයි. මේ කියන්නේ වෙනත් 'බහුතරය හදාගැනීමක්‌' ගැන. හැබැයි මේකත් එක්තරා ආකාරයක දේශපාලනයක් තමයි.

    සාමාන්‍ය ජීවිතයේදී බහුතරයක් දෙනා උත්සාහ කරන්නේ බහුතරය හදාගන්න. ඒ කියන්නේ තමන්ගේ මතවාදයන්, තමන්ගේ චර්යාවන්, පුරුදු, විශ්වාසයන් වලට ගැලපෙන පිරිසක් හදාගන්න. මොකද ඒ තුළ තමයි තමන්ගේ පැවැත්ම තියෙන්නේ කියලා අපේ මනස දන්නවා. දැන් මම කරන්නෙත් ඒකම නෙවෙයිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් අවශ්‍ය නම් විතරක් ගන්න පුළුවන් විදියට අදහස් බෙදාගැනීම සහ අදහස් බලෙන් පැටවීම අතර වෙනස මේ සටහන අවසානයේ ඔබ‍ට වැටහේවි.

    මෙතනදි පැහැදිලි කරගැනීමේ පහසුවට සරල උදාහරණයක් ගමු.
    මත්පැන් / මත්ද්‍රව්‍ය භාවිතා කරන, ඊට ඇබ්බැහි වුන කෙනෙක් නිතරම උත්සහ කරන්නේ තමන් අවට ඉන්න වැඩි පිරිසක් ඊට හුරු කරන්න. මොකද, එතකොට ඒක සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහුගේ අයහපත් ඇබ්බැහිය පවත්වාගෙන යාම පහසුයි. මේ විදියට අදාළ පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ ගොඩක් වෙලාවට හිතලාම නෙවෙයි, අවිඥානිකව... තමන්ගේම මනස විසින් ඔහුව / ඇයව මෙහෙයවනවා, තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට...
    සමහර අය ඉන්නවා හිතලම වෙනත් අයගේ ඔළු වෙනස් කරලා තමාගේ මාර්ගයට ගන්න උත්සහ කරන. විවිධ අරමුණු වෙනුවෙන්... බොහෝදුරට හිතලාම අනෙක් අය වෙනස් කරන්න හදන අය භයානකයි, “බහුතරය හදාගන්න” අවිඥානිකව උත්සාහ කරන අයට වඩා. ඇත්තටම මේ බහුතරය හදාගැනීම කියන්නේ සාමාන්‍ය මිනිස් ස්වභාවයක්‌...

    මේ කාරණයේදි අපි පහසුවෙන් නොදකින පැත්තකුත් තියනවා. නිර්මාංශ කෙනෙක් උදාහරණයට ගත්තොත්, නිර්මාංශ නොවීම පහත් දෙයක් බවට අඟවන ප්‍රකාශ කිරීම, සියල්ලෝම නිර්මාංශ විය යුතුයි සිතා කටයුතු කිරීම වගේ දේවල් කෙනෙක් කරනවා නම්, ඒවාත් අර වගේම බහුතරය හදාගත යුතුයි කියන මනෝභාවයේ ම ප්‍රතිඵල... මෙතනදි `නිර්මාංශ වීම´ ගත්තේ උදාහරණයක් විදියට විතරයි. නිර්මාංශ සැමට මගේ හදපිරි ගෞරවය!

    "මම පමණයි නිවැරදි!", "මම පරිපුර්ණයි!" "මමයි පොර!" වගේ මමත්වයෙන් පිරුනු මුලාවන්ගේ ඇලී ගැලී ඉන්න පුද්ගලයන් අතර මේ බහුතරය හදාගැනීමේ උත්සාහයන් ඉතා ඉහළයි. තමන්ට ඕනේ විදියට අනෙක් අය ජීවත් වෙන්නේ නැති වුනාම කෝප ගන්න නිසා මෙයාලව හඳුනාගන්නත් පහසුයි.

    මානවයා ශිෂ්ටත්වයට පත්වීමේදි අනෙකාගේ චින්තනයේ නිදහසට ඇති අයිතියට ප්‍රධාන තැනක් හිමිවෙනවා. අනෙකා මත බලෙන්ම තමන්ගේ අදහස්, මතවාදයන් පැටවීම ප්‍රාථමිකයි සහ ගෝත්‍රිකයි. ඒ නිසා අපේ අදහස් අන් අයට බලෙන්ම පටවන්න අපිව ඉබේම පොළඹවන සිතුවිලි වලට වහල් නොවී ඉන්න උත්සාහ කරන්න පුළුවන් නම්, ඒ ඔබේ ශිෂ්ඨ භාවයේ සලකුණක්...

    බහුතරය හදාගන්න හදන අය අතරේ ඔවුන්ගේ අදහස් අපේ කර නොගෙන අවශ්‍ය දේ විතරක් පෙරා වෙන්කර ගැනීම කියන්නේ හංසයා කිරෙන් දිය වෙන්කර ගන්නවා වගේ සියුම්ව කරන්න ඕනේ මෙහෙයුමක්‌. කොහොම වුනත්, මොනවා වුනත් බහුතරය හදාගන්න හදන අයගේ ආදරණීය චාටු කතා වලට නම් රැවටෙන්න එපා! අහු වුනා කියන්නේ ඔබ තවදුරටත් ඔබ නෙවෙයි, ඔබ පිල්ලියක් (zombi)... දැනටමත් ඔබ සොම්බි කෙනෙක් නම් ඇහැරෙන්න ඔය නින්දෙන්...
    ජය!!!

    #adahaspamanai
    #spn