බෝම්බයෙන් පිලිස්සී ගිය පසුත්....

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    බෝම්බයෙන් පිලිස්සී ගිය පසුත්....

    ඒ 1972 වසරයි. නව හැවිරිදි ප්හාන් තී කිම් (Phan Thị Kim ) වියට්නාම් ගම්මානයක් වූ ට්‍රැන්ග් බැන්ග් හී (TrangBang) ආරාමයක් තුල සැඟව සිටියේය. ඈතින් එන ගුවන් යානාවල හඬ යාන්තමින් ඇයට ඇසුණි....

    " අම්මෙ මට බයයි...."

    ඇය අසරණව ඇඬුවාය...ඒ අසලම ගොවියෙකු වූ ඇගේ පියාත් , සොහොයුරු සොහොයුරියන් සය දෙනාත් බියෙන් තැති ගැන්වී උන්හ.ආරාමයක් වූ මෙතැනට බෝම්බ නොහෙලනු ඇත... ඒ වනවිටත් උත්සන්නව තිබූ වියට්නාම් යුද්ධය සයිගොන් නුවරට සැතපුම් 40 ක් දකුණු දෙසින් වූ ට්‍රැන්ග් බැන්ග් ගම්මානය වෙතද ලඟා වී තිබිණි...

    උතුරු වියට්නාම් හමුදා ගම්මානයට ඊසාන දිගින් බංකර තනාගෙන සිටි අතර දකුණු වියට්නාම් හමුදාවලින් ඔවුනට තර්ජන එල්ල වී තිබිණි. මේ දෙපාර්ශවයට මැදිවූ සිවිල් වැසියන් සියයක් පමණ ට්‍රැන්ග් බැන්ග් ගම්මානයේ සිටියහ. එයින් වැඩිදෙනා පලා යාමට සමත් වූ අතර 1972 ජුනි මස අටවනදා තිස් දෙනෙකු පමණ ආරාමය තුලට වී ආරක්ෂාව පතමින් සිටියේය.

    බියෙන් ගැහෙමින් උන් කිම් හදිසියේම දුටුවේ අවට පැතිර යන කහ පැහැති දුමාරයකි. ආරාමය තුල වූ වියට්නාම් සොල්දාදුවෙක් එම සළකුණ හඳුනා ගත්තේය...

    " උන් අපට බෝම්බ දාන්නයි යන්නේ.... පුළුවන්නම් දුවලා බේරෙන්න..."

    සොල්දාදුවාගේ කෑ ගැසීමට බිය වූ සෙනඟ හිස්ලූ අත දිව ගියේය...කිම් ඇගේ සහෝදර සහෝදරින් හා මව්පියන් සමඟ ආරාමයෙන් පිටතට පැන දිවූහ. ගම්මානයට ඉහලින් මුළු අහසම දෙදරවා අඩි හයසීයක් තරම් උසකින් ගුවන් යානා පියාසර කලේය. දිවයන අතර තුරම පසු පස හැරී බැලූ කිම් දුටුවේ බෝම්බ හතරක් ඉහල අහසින් පොළොවට ඇද වැටෙන ආකාරයයි...තප්පර ගනනක් ඇතුලත බියෙන් වෙලී ගත් කිම් වටා දුම් සහ ගිණි පතිත විය. ඇද වැටුනේ " නාපාම් " බෝම්බයි. (Napalm bombs) පොළොව හා ගැටුනු ඒවා වහා පුපුරා ගියේය.එම බෝම්බ වල අන්තර්ගතය වූයේ ජෙලි ස්වභාවයෙන් පැවතුන පෙට්‍රෝල්ය. තැන් තැන්හී විසිරී ගිය ඒවා ස්පර්ශ වූ සියළු තැන් ඇලී ගිනි ගනී. බෝම්බ ප්‍රහාර මැද දිව ගිය කිම්ට මුලදී කිසිවක් නොදැනුනත් ඊ ලඟට ඇයට දැනුනේ තමා ගිණි ගොඩක සිටිනා බවය... ඇගේ ඇඳුම්වලටත් පාවහන් වලටත් ගිණි ඇවිලෙමින් තිබිණි...පිළිස්සෙනා කල දැනෙන වේදනාව මැද කෑ ගසමින්ම තමාගේ ඇඳුම් හා පාවහන් ගලවා විසිකල කිම් නිරුවතින් විලාප දිදී ගම්මානයෙන් පිටත තිබූ මාවත දිගේ දිව ගියේය....
    501764316768153.jpg

    නිරුවතින් දිවගිය කිම් ගෙ ඡායාරූපය

    මෙම දර්ශණය A.P (Associated Press ) පුවත් සේවයේ ඡායාරූප ශිල්පී නික් උට් ( Nick Ut ) ගේ කැමරාවේ සටහන් විය...පිලිස්සී තිබූ කිම්ගේ දකුණු අතට වතුර වත්කල පුවත්පත් කලාවේදීහූ ක්ලාන්තව වැටුන කිම්ව අසල තිබූ රෝහලකට රැගෙන ගියහ..

    v32_06080116.jpg


    බෝම්බ ප්‍රහාරයෙන් දින තුනකට පසුව ඇමෙරිකානු යුධ හමුදා කපිතාන් වරයෙකු වූ ජෝන් මලර් පුවත්පත් කියවන්නට පටත් ගත්තේය. මේ ඔහු වියට්නාමයේ රාජකාරි කරන දෙවන වතාවයි. දක්ෂ ගුවන් නියමුවෙකු වූ ජෝන් යුධ පිටියේ මෙහෙයුම් වලට ගුවනින් සහය වන්නෙකු විය. පුවත් පතේහි වූ නික් උට් විසින් ගනු ලැබූ කිම්ගේ ඡායාරූපය යටින් සඳහන් වූයේ " බෝම්බ ප්‍රහාරයෙන් පසු දරුවෝ පිළිස්සී හඬමින් දිවයති " යනුවෙනි. ජෝන්ගෙ හදවත පිලිස්සී යන බවක් ඔහුට දැනිණි...

    බෝම්බය හෙලූ දිනයේ දහවල් ලැබුන ගුවන් විදුලි පණිවිඩය මගින් ජෝන්ට තවත් එක් රාජකාරියක් බාර දී තිබිණ. ඒ ට්‍රැන්ග් බැන්ග් ගම්මානයට ගුවනින් බෝම්බ හෙලීමටය... බෝම්බ හෙලීමෙන් සිවිල් වැසියන්ට අනතුරක් වේදයි ජෝන් ඇසූ කල පණිවිඩයෙන් කියවුනේ එම ප්‍රදේශයෙන් සිවිල් වැසියන් පලා ගොස් ඇති බවයි... තමාගේ අණ පරිදි සිදු වූ බෝම්බ හෙලීමෙන් සිවිල් වැසියන්ට අනතුරු සිදුවී ඇතැයි දැනගත් ජෝන් කලකිරීමට පත් විය...

    කිම් නිරුවතින් දිව එන එම ඡායාරූපය නිසාම නික් උට් එම වසරේ හොඳම ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගත්තේය.. එම සේයාරුව ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රසිද්ධ විය..

    කිම්ගේ ජීවිතය බේරුණි. මාස 14ක කාලයක් සයිගොන්හී බාස්කී රෝහලේ ගත කල කිම්ට චර්ම බද්ධ 17 ක් සිදු කොට තිබිණි. කිම්ගෙ වම් අත ප්‍රයෝජනයක් ගත නොහැකි මට්ටමක තිබූ අතර උරහිස දරුණු පිලිස්සිම් වලින් සම විකෘති වී තිබිණ. ඇයට බෙල්ල හැරවීමට පවා අපහසු විය. කාලගුණය උෂ්ණාධික වනවිට කිම් අපමනක් වේදනා වින්ඳාය...කොන්දත් අතත් වේදනා දුන් අතර බද්ධ කල චර්ම වල දහඩිය ග්‍රන්ථි නොතිබූ අතර එම ප්‍රදේශ රුධිර සංසරණයද ඉතා දුර්වල තත්වයක පැවතිණි...

    තරුණ වයසට එළඹ සිටි කිම් මානසීකව බිඳෙමින් උන්නාය...

    " මට ඒ හරියේ පිහිතුඩ දාහකින් විතර අනිනවා වගේ දැනෙන්නේ "

    ඉවසා ගත නොහැකි වේදනාව මැද ඇය මවට කියා පෑවාය.

    " මාව කවුරුවත් කසාද බඳින එකක් නෑ...ඒ තරමට මගේ හම කැතවෙලා..."

    කිම් සැබවින්ම දුක් වුවාය...

    කාලය මෙසේ ගෙවී ගිය අතර කපිතාන් ජෝන්ට නිතර නිතර කිම්ගේ එම ඡායාරූපය මනසේ හොල්මන් කරන්නට වූ අතර තමන් නිසා ඇයට මෙම ඉරණම අත් වූවා යැයි ජෝන් තදින්ම විශ්වාස කලේය. එනිසාම ඔහු තදින්ම මතට ඇබ්බැහි විය..අසාර්ථක පවුල් ජීවිතක් ගත් කල ජෝන්ට යන එන හැමතැනකදීම කිම්ගේ ඡායාරූපය දකින්නට හැකි විය...අවසානයක් නොමැති මේ මානසීක වදයෙන් නිදහස් වීමට මඟක් ඔහු සොයමින් සිටියේය....

    1982 වසරේදී නික් උට් විසින් ගත් දිව එන නිරුවත් දැරියගේ ඡායාරූපයට වසර දහයක් පිරීම වෙනුවෙන් ඒ වන විට 19 හැවිරිදිව හුන් කිම් සොයා මාධ්‍යවේදීහූ වියට්නාමයට ආහ. ඔවුන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා නිසා කිම් ලෝකය පුරාම ප්‍රසිද්ධ චරිතයක් බවට පත් විය. 1986 වසරේදී වියට්නාම් රජය විසින් කිම්ව ස්පාඤ්ඤ බස හා ඖෂධවේදය හදාරනු පිණිස කියුබාවට යැවීය. ඇය නිතර නිතර හිස රුදාවෙන්ද දිය වැඩියා රෝගයෙන්ද ඇදුම රෝගයෙන්ද පෙළුනේ බෝම්බයෙන් ලද අනිටු ප්‍රථිපල නිසාවෙනි. ඈ තුල තිබූ ඇගෙ ජීවිතය වෙනුවෙන් වූ නව බලාපොරොත්තු වෙනුවෙන් ඈ සියල්ල ඉවසුවාය. කිම් උගත් විශ්ව විද්‍යාලයේම උගත් වියට්නාම් තරුණයෙක් කිම්ට ආදරය දැක්වීය.... එතකින් නොනැවතී 1992 වසරේදී ඔහු කිම්ව විවාහ කර ගත්තේය...

    මධුසමය ගත කිරීමට ඔවුන් මොස්කව් බලා ගියේ මිතුරන්ගෙන් ලද ආරාධනය නිසාමය..මේ දෙදෙනා තුලම වූ එක් සිහිනයක් විය. ඒ කොමියුනිස්ට් වාදයේ ග්‍රහණයෙන් මිදී කවදා හෝ නිදහස ලැබීමයි. මධුසමය ගතකොට ආපසු එන අතර මගදී ගුවන් යානය ඉන්දන පුරවා ගැනීම සඳහා ගැන්ඩර්හී නැවැත්වීමට නියමිතව තිබිණි...කිම් තම ස්වාමිපුරුෂයා වූ ටෝන් වෙත හැරි මෙසේ කීවාය...

    "නිදහස් ලබා ගන්න අපට එක අවස්ථාවක් තිබෙනවා...අපි කැනඩාවේදී ගුවන් යානයෙන් බහිමු..."

    පැය තුනකට පසුව ගැන්ඩර්හිදී කැනඩා ආගමන විගමන නිළධාරියෙකු ඉදිරියට ගිය කිම් ...." අපට මෙහෙ නවතින්න ඕනේ..." යි කීවාය…
    phuc-with-baby.jpg



    කිම්ගේ සිරුරේ බෝම්බයෙන් පිලිස්සුන තැන්

    නොවැම්බර් මස 11 වනදා ඇමෙරිකාවේ යුධ විරුවන් සමරන දිනයයි. 1996 නොවැම්බර් මස 11 වනදා වියට්නාම් ජාතික කිම් (Phan Thị Kim ) ඇමෙරිකාවේ වොෂිංටනය බලා ගමන් ඇරඹුවේ වියට්නාම් රණවිරු අනුස්මරණ ශාලාවේදී 2000ක පමණ පිරිසක් අමතා කතාවක් පැවැත්වීමට නියමිතව තිබූ නිසාය...මේ ශාලාව තුල රැස්ව සිටි පිරිස අතර එක් පුද්ගලයෙක් නොසන්සුන්ව සිටියේය...මන්ද විසිහතර වසරක් පුරාම ඔහු කිම්ව සොයමින් සිටි පුද්ගලයෙකි.... ඒ හිටපු ඇමෙරිකානු යුධ හමුදා නිළධාරි ජෝන් මලර් ය….කිම්ගෙන් සමාව ගන්නට තදබල උවමනාවකින් ජෝන් පෙලමින් සිටියේය...වසර විසි හතරක් පුරා ඔහු ඒ වේදනාවෙන් දැවුනේය....

    phucfa2000.jpg

    ප්හාන් තී කිම් (Phan Thị Kim )

    කිම් පිරිස අමතන්ට පටන් ගත්තාය...

    " මම මේ සිද්ධිය මතකයේ තබාගෙන ඉන්නේ ලොව පුරා සිදුවෙන සටන් හා ඝාතන නවත්තන්නට උදව්වක් කල හැකිදැයි සිතමිනුයි... එදා ඒ බෝම්බ දැමූ හමුදා නිළධාරියා මුණ ගසුණ හොත් මම ඔහුට කියන්නෙ මෙපමණයි.... අපට ඉතිහාසය වෙනස් කරන්නට පුළුවන්කමක් නෑ...නමුත් අනාගතය යහපත් කරන අදහසින් යහපත් දේ කරමු...." (Forgiving does not erase the bitter past. A healed memory is not a deleted memory. Instead, forgiving what we cannot forget creates a new way to remember. We change the memory of our past into a hope for our future)

    කිම්ගේ මේ වදන් ඇසූ බොහෝ දෙනා කඳුළු සලන්නට ගත් අතර ජෝන් මලර් හදවතින් කැඩී බිඳී ගියේය... කොළ කැබැල්ලක් ගෙන වහා යමක් සටහන් කල ජෝන් ආරක්ෂක නිළධාරියෙකු අතට එය දී කිම් ට ලැබෙන්නට සලස්වන්න යැයි ඉල්ලා සිටියේය...එම කොළ කැබැල්ලෙහි සටහන් වූයේ මෙසේය...

    " දයාබර කිම් ,බෝම්බ හෙලීමට එදා අණ දුන් මිනිසා මමයි...මම ඔබෙන් සමාව ඉල්ලන්නට කැමතියි...කරුනාකර ඔබව මුණ ගැසෙන්නට අවස්ථාවක් දෙන්න...."

    මොහොතකින් ඇය එදා බෝම්බ හෙලීමට අණ දුන් පුද්ගලයා වූ ජෝන් මලර් අභියස මුහුණට මුහුණලා සිට ගත්තාය.. වසර විසිහතරක් පුරාවට කිම්ගෙන් සමාව ගන්නට බලා සිටි ජෝන්ගෙ පසුතැවීම ඔහුගේ දෙනෙත්වල සටහන්වී තිබෙන අයුරු කිම් පැහැදිලිවම දුටුවාය...ඉතා කුඩා කාන්තාවක් වූ කිම් දෙස ජෝන් බලා සිටියදී ඔහුට මැවී පෙනුනේ එදා නිරුවතින් දිව ආ කුඩා දැරියවයි....

    " කරුණාකරලා මට සමාව දෙන්න කිම්..."

    ගැහෙමින් තිබූ දෙතොල් වලින් ජෝන් එම වදන් පිට කල සැනින්ම කිම් දෑත් විදා ඉදිරියට දිවවිත් ජෝන්ව තදින් වැළඳ ගත්තාය....

    2271_pid61_kimphuk.jpg

    කිම් හා ජෝන්


    Phan Thị Kim
    Napalm bombs
    Nick Ut


    මේක ලිව්වෙ මමනම් නෙමෙයි..ලිව්වෙ දිල්...ගත්තෙ මෙන්න මෙතනින්http://atheethayen.blogspot.com/2011/11/blog-post.html

    rep ඕන........
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුදුම සංවේදී කතාවක්...මම මේ සිද්ධිය දන්නව උනත් මේ ලිවිල්ලට සහ මේක මෙතන දාපු එකට රෙපක් නොදුන්නොත් මම ගල් උලමෙක්..........!!!!