පුංචි ඇස් දෙක කඳුළු පුරවන්
තවම මග බලනවා ඇති
ඒ වුණත් මට එන්න බැරි බව
ඔයා තවමත් දන්නැති
මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයා ගෙන එන්නෙමි
ඒකටත් ලොකු කාලයක් නැත
කොහොම හරි හිත රවටමි
ප්‍රේමයේ උත්තරීතර බව
පසක් කරගෙන හොඳටම
කාලයේ වැලිතලා යටවී
මියෑදුණත් අපි සදහට
ආදරේ පෙම් කතා වලටත්
එකතුවී ඇත අප ගැන
හඬා වැටුණත් හඬන්නට බෑ
හිතන්නේ මම ඔබ ගැන
දහසකුත් බාධක තියාගෙන
ප්‍රේම කරනා ඔය හිත
දාලා යන්නේ කොහොමදැයි මට
ලියා දෙනවද මතකය
සැකය කියනා වචනෙ ගැනවත්
හිතෙන්නේ නෑ තව මට
නිදා වැටුණට නින්ද යන්නෑ
හිතන්නේ මම ඔබ ගැන
පද රචනය - සත්‍යජිත් ලක්මාල්
සංගීතය/ගායනය - රොෂාන් ප්‍රනාන්දු
ආදර හැඟුම් උපදින්න වයස බලපානව ද?.... නැහැ. ආදරයට වයස භේදයක් නැහැ. වයස් පරතරය ආදරය කරද්දි දැනෙන්නේ නැහැ. ආදරවන්තයන්ට එය නොතේරුණත් පිටතින් සිට ඔවුන් දෙස බලන අයට නම් මේ වෙනස හොඳින්ම පෙනෙනවා, දැනෙනවා.
පුංචි ඇස් දෙක කඳුළු පුරවන්
තවම මග බලනවා ඇති
ඒ වුණත් මට එන්න බැරි බව
ඔයා තවමත් දන්නැති
මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයා ගෙන එන්නෙමි
ඒකටත් ලොකු කාලයක් නැත
කොහොම හරි හිත රවටමි
ඇය ඔහුට වඩා වයසින් පොඩියි. ඒ නිසා තමයි පුංචි ඇස් දෙකේ කඳුළු පුරවාගෙන මඟ බලාගෙන ඉන්නේ ඔහු එනතුරා ඒත් ඔහුට එන්න විදිහක් නෑ.. එක්කෝ ඔහු විචාහකයෙක්. නැත්නම් ඇයට වඩා වයසින් වැඩි නිසා ඒක බාධකයක් වෙලා. ඒත් ඒ බවක් ඇය දන්නෙ නැහැ. මේ ආදරණීය සම්බාධකවලින් ඔහු තැවෙනවා. පුංචි හදවතකට ආදරය කරන්නේ කොහොමද? මිය යන්න මොහොතකට කලින් හරි ඇය වෙත එන්නයි ඔහුගේ කල්පනාව. ඒත් ඉතින් ඒකටත් ඒතරම්ම කාලයක් නැහැ. ඔහුගේ කාලය අවසන් වෙමින් තිබෙන්නේ. ඇගේ කාලය නම් වර්ධනය වෙනවා. කොහොම හරි ඇය සොයා එන බව සිතමින් ඔහු තමන්ගේ සිත රවටා ගන්නවා.
මේ ගීයේ රචකයා සත්‍යජිත් ලක්මාල්. අත්දැකීමක් නොවුණත් සත්‍යජිත් මේ ගීයෙන් කියන්නේ අද සමාජයේ කොතැනක හෝ සිදුවන දෙයක්.
ප්‍රේමයේ උත්තරීතර බව
පසක් කරගෙන හොඳටම
කාලයේ වැලිතලා යටවී
මියෑදුණත් අපි සදහට
ආදරේ පෙම් කතා වලටත්
එකතුවී ඇත අප ගැන
හඬා වැටුණත් හඬන්නට බෑ
හිතන්නේ මම ඔබ ගැන
ආදරය කොයිතරම් උතුම් දෙයක්ද? ඒ උත්තරීතර බව ඔහු හොඳින්ම වටහාගෙනයි ඉන්නේ. කාලය ගතවෙනවා. ඒ කාලයත් එක්කම අපි මිය ගියත් අපි දෙන්නගෙ ආදර කතාවත් ඉතිහාසගතවේවි. හරියට සාලිය අශෝක මාලා, රාමා - සීතා, රොමියෝ, ජුලියට්, ලයිලා, මඡ්නු - පෙම් පුවත් වගේම ඒ ඉතිහාසයට එකතුවේවි. එහෙම හිතන ඔහු, ඇය හඬා වැටුණත් හඬන්න සූදානම් නැහැ. ඔහු නිතරම හිතන්නේ ඇය ගැනයි. ඇයව වරදට පොළඹවා ගන්න ඔහු කිසිදාක හිතන්නෙත් නැහැ. ඒක තමයි ආදරේ.
දහසකුත් බාධක තියාගෙන
ප්‍රේම කරනා ඔය හිත
දාල යන්නේ කොහොමදැයි මට
ලියා දෙනවද මතකය
සැකය කියනා වචනෙ ගැනවත්
හිතෙන්නේ නෑ තව මට
නිදා වැටුණත් නින්ද යන්නෑ
හිතන්නේ මම ඔබ ගැන
ඇය ඔහුට කොයිතරම් ආදරේද කියනවා නම් බාධක එමටයි. වයස් පරතරය, කුලභේදය , සමාජ බැඳීම්, සමහර විටෙක ඔහු විවාහකයෙක් වෙන්නත් ඇති. ඒත් ඇයට ඒවා බාධා නොවේ. ඒත් ඇය ඔහුට ආදරේ කරනවා. එහෙම හිතක්, අතැර යන්නේ කොහොමද?... ඔහු හිතනවා. ඇය ගැනත් බොහෝ දෙනා බොහෝ කතා කියනවා. ඒත් ඔහුට ඇය ගැන සැකයක් නැහැ. හීනෙකින්වත් ඈ ගැන ඔහුගෙ හිතට සැකයක් උපදින්නේ නෑ. ඒක තමයි ආදරේ. නිදිබර යාමෙට දෙනෙත් පියවුණත් ඒ සුළු මොහොතයි. නින්දක් නැහැ. ඇය ගැනමයි. ඔහුට හිතෙන්නේ. වියපත් හදකට උණත් ආදරේ දැනුණාම එහෙම තමයි.
අජිත් අලහකෝන්