කොලොම් පුරවරයට සුපුරුදු සුලබ කන්කරච්චලයත් වාහන ඝෝෂාවත් මඳින් මඳ තුනී කරමින් ගලා එන සැඳෑ අඳුර ගිනියම් වූ කොලොම් තොටට මතු නොව එහි තන්හි තන්හි සරණ කාමභෝගී සළෙලුන්ටද ශාන්තියක් වැන්න. සිය දෛනික හිසරුදාවලින් මිදෙන්නට අවන්හලකට සුපිරි හෝටලයකට හෝ එවන් වෙනත් සොඳුරු නිකේතනයකට යන එන අයට එසේ එළඹෙන සැඳෑ හෝරාව අප්‍රමාණ ආශ්වාදයක්‌ද වේ. මදුවිතකින් පමණක් නොව නාරිලතා රුසිරු පහස විඳිමින්ද ගතත් සිතත් නිවන්නට සුදුසු රමණීය මැදුරු ද එහි වෙයි.
ඇතැම් තැන් ප්‍රකටය. ඇතැම් තැන් අප්‍රකටය. එහෙත් ඒ අප්‍රකට තැනක් වුවද නිබඳ ඒ තැන්වල සරණ කාමී දනන්ට වඩාත් හුරු පුරුදුය.
ඡේත්තුකාර ලියෝ දුහුල් සළුවෙන් සැරසී ගත විලවුන් සුවඳ ඔවුන්ගේ සිරුරු මත තවරමින් රිසි රිසි අයුරින් ඔවුන් පිනවීමටද පොර වදිති. උන්ගේ සුරතින්ම තොලට ළං කරන මදු විතක ආශ්වාදය වෙනුවෙන් ඩොලර් රුපියල් අප්‍රමාණව ගෙවන්නටද මේ කාමභෝගීහු දෙවරක් නොසිතති.
නුරා රාත්‍රියට කාමී සංගීත රාවයද මුසුවෙයි. සුරස බොජුන්ද නොඅඩුවම වෙයි.
මේ කාමභෝගී රිද්මයෙන් මිදුණු රටක් අද ලොව කොතැනක හෝ තිබේදැයි කිව නොහැක. පෙරදිග අපරදිග වෙනසක් නොමැතිව හැම
රැයක් පුරාම මේ දසුන් දැකගත හැකිය. එහෙත් පෙරදිග දරිද්‍රතාවයෙහි පීඩනයට හසු වී බොහෝ රටවල මේ සුපිරි ආශ්වාදන මං සීමා වන බවද නොරහසකි.
එහෙත් එබඳු අවස්‌ථාවලදී සාක්‌කුවේ හෝ පොකැට්‌ටුවේ ප්‍රමාණයට තමන් කැමති සුව පහස් ලබාගැනීමටද මාර්ග නැතුවා නොවේ. කැමති කැමති සැප කැමති කැමති අයුරින් විඳීම වෙනුවට වෙනත් විකල්ප සූදානම් වන්නේද ඒ අනුවය.
අප මේ කතා කරන සම්බාහන ආයතනයද එවැන්නකි.
තායි කතුන්ගේ සුපහස විඳිමින් සිය සිතැඟි සපුරා ගත් හුරු පුරුදු ගනුදෙනුකරුවන්ගෙන් එය නිරන්තරව පිරී තිබිණි. මේ නිවහන නාරාහේන්පිට ෆයිප් පාරට නුදුරුව ඉතා රහසිගතව පවත්වාගෙන ගිය එකකි. මෙම ස්‌ථානයට ඇතුළුවීමේ ගාස්‌තුව රු. 4500 කි. ගාස්‌තුව ගෙවා එන ගනුදෙනුකරුවා පිළිගැනීමට තායි ලියෝ මඟ බලා සිටිති. එතැන් සිට ගනුදෙනුකරුවා සන්තකයේ තිබෙන හැම සේසතම ලබාගැනීමේ සූත්‍රද එහි රැඳි ලියෝ දනිති.
කෙසේ හෝ කොළඹ පොලිස් මූලස්‌ථානයට මේ නිවහන පිළිබඳ ආරංචිය ගිය වගක් ගනුදෙනුකරුවෝ හෝ එය නඩත්තු කරන අය හෝ නොදැන සිටියහ. රැය පහන්වන තුරුම අවදියෙන් තිබෙන මේ නිවහන තුළ කුමක් හෝ අනිසි කටයුත්තක් සිදුවන බව අසල්වැසියකුට කල්පනා වීමද පුදුමයක් නොවේ.
පොලිසිය කල් යල් බලා සිය නිලධාරීන් දෙදෙනකු ගනුදෙනුකරුවන් සේ වෙස් ගන්වා එහි යෑවීය. මේ අලුත් ගනුදෙනුකරුවන් පිළිබඳව කිසිවකුට අමුත්තක් දැනුනේද නැත. විසිකරන්නට තරම් සල්ලි ද ඔවුන් අත තිබෙන බව ජේත්තුකාර ලියන්ටද ඉව වැටුණි. ආදර සංග්‍රහ නුරා රැඟුම් සුපුරුදු ලෙසම සිදුවිය. තව මොහොතකින් සිදුවන්නට යන දේ පිළිබඳ හාංකවිසියක්‌වත් කිසිවකුට නොදැනුණි.
පොලිසියෙන්... අන්න පොලිසියෙන්.
පොලිසිය විසින් නිවහනම වටලා ඇති බව දත් සියල්ලෝම කලබල වූහ. අඳුරු ආලෝකය වෙනුවට දීප්තිමත් එළිය විහිදුණි. තැති ගත් ලියෝ අසරණව බලා සිටියහ. පොලිසිය පිළිගැනීමේ කවුන්ටරයේ සිටි ප්‍රකට නළුවා හඳුනා ගත්තේය. ඔහුගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුණි. නළුවා සැරසුණේ තමන්ගේ සිවිල් බලය යොදවා පොලිසියෙන් ගැලවී යැමටය. එහෙත් පොලිසිය ඔහුට ඉඩ දුන්නේම නැත.
සම්බාහන ආයතනයේ සුල මුල හෙළිවන්නට විය. තායිලන්තයේ සිට තරුණියන් ගෙන්වා ඔවුන්ට මාසිකව දීමනා ලබාදෙමින් සම්බාහන ආයතනයක මුවාවෙන් ගණිකා නිවහනක් පවත්වාගෙන ගිය අයුරු පොලිසිය සැක හැර දැන ගත්තේය. එවේලේ එහි සිටි තරුණියන් තිදෙනකුද වෙනත් අයකුද අත්අඩංගුවට ගැනුණි. පසුදින පොලිසියට එන බවට පොරොන්දු වූ ප්‍රකට නළුවා යාන්තම් පොලිසියෙන් ගැලවී ගියේය.
ඔහු පොලිසියට පවසා තිබුණේ තමන් එතැනට පැමිණියේ මිතුරකු හමුවීමට බවත් ඔහු එනතෙක් එහි රැඳී සිටි බවත්ය.
එහෙත් එය ඇත්ත නොවන බව පොලිසිය තේරුම් ගෙන තිබේ.
පොලිසියේ නිගමනය වී ඇත්තේ මේ ජාවාරමේ ප්‍රමුඛයා එකී නළුවා බවය. සිය ජනප්‍රියත්වයෙන් පුද්ගලයන් මුළා කරමින් ඔහු මෙම ජාවාරම සිදුකළ බවද පොලිසියේ අදහසය. ඒ සියලු තොරතුරු සාක්‌ෂි සහිතව තහවුරු කර ගැනීමටත් ඉන් පසු අධිකරණමය ක්‍රියාමාර්ගයකට යැමටත් පොලිසිය කටයුතු කරයි.
සංඛ
divaina

- Sirasa Super Star -