පසුගිය සතියේ දිනක් සවස, බොරැල්ලේ වනාතේ ඉන්නා මිතුරකුගේ (ඉසුරංග) මිත්තණියගේ අවමගුල් උත්සවය වෙනුවෙන් බොරැල්ල කනත්තට ගියෙමි. මා සහ මගේ ගමන් සගයා වූ අසේල එහි යන විට දේහය එහි ගෙනැවිත් නොතිබිණි. එහෙයින්, අප දෙදෙනා මැරුණු මිනිසුන් කිහිපදෙනෙකුගේ වර්තමානය කියැවීම පිණිස කණත්තේ සොහොන් කොත් පිරික්සීමට පටන් ගත්තෙමු. නම් ගම් වලින් කියා සීමා කිරීමට නොහැකි තරම් දන්නා හදුනන, පෙර කියවා ඇති සහ කියවිය යුතුව ඇති චරිත රාශියක් එහිදී මුණ ගැසිණි.
ගේට්ටුවෙන් ඇතුල් වෙත්ම දෑස් ඩැහැගත් අඩි දහයක් දොළහක් තරම් උස ස්ථම්භාකාරයට තනා ඇති සෙහොන් කොතකි. රූපශ්‍රියාවෙන් සිත් ඇදගන්නා මිනිසෙකුගේ ඡායාරූපයකි. කුඩා අවදියේ මා ඔහු හදුනාගන්නේ ‘ජෝතිපාල‘ ලෙසිනි. එච්.ආර්. ජෝතිපාල ලෙස මා ඔහු කියවනු ලබන්නේ ඉතාම මෑතකදීය. ඒ මා රේඩියෝ කාරයෙක් වීමෙන් පසුවයි. ගීත ඉල්ලීම් වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු (Request Programme Presenter) ලෙස කලක් කටයුතු කරද්දී මවිසින් යොදාගත් උපක්‍රමයක් විය. මා බොහෝ විට වැඩසටහන ආරමභ කරන්නේ, ජෝති ගේ ගීයකිනි. සෙත් කවියක් කීවාක් වැනිය. දුරකතන වලට ඉස්පාසුවක් නැත. තත්කාලීන ජනප්‍රියවාදී ගායකයෙකුගේ ගීයකින් වැඩසටහන් ආරම්භ කළ තත්ත්වයට වඩා ඒ ප්‍රතිචාර බොහෝ වෙනස්ය. එහෙයින් ජෝති කියවීම මවිසින් සිදු කළෙමි. ජොතිගේ සොහොන් කොත මුණ ගැසීමත් සමග මා ජෝති යළි කියවිය යුතුයැයි සිතුවෙමි.
පළමු අදියර
70 අග හා 80 දශකයේ මැදභාගය වන විට ජෝති යනු, ‘ලපයි සිපයි ගායකයෙකි‘. 80 ම අග හෝ 90 වන විට ජෝති නම් අසහාය නිර්මාණශිල්පියෙකි. සහශ්‍රය උදාවන විට නුවන් නයනජිත් කුමාරට අනුව, ජෝති නම් ‘පොදු ජන ගී ලොවේ අවසන් අධිරාජ්‍යයා‘යි. මරදානේ සිංදු කාමර වල ගී ගැයීමේ සිට ලපයි සිපයි ගායකයා වීම දක්වාත්, ඉනික්බිති මහිමලංකාරය වීම හරහා අධිරාජ්‍යයා වීම දක්වා ආදරණීය ජෝති ගොඩ නැගෙන්නේ කෙසේද?
1952 දී වසන්තා සදනායක මුණ ගැසීමට ජෝතිට පාර කියන්නේ ජෝතිගේ එකල මිතුරෙකි. වසන්තා ගැයූ ‘මහවැලි නදියේ‘ එකම එක පදයක් පමණක් ගැයීමට ජෝතිට වරම් ලැබිණි. එහි, ‘තොටියෝ‘ කියන්නේ ජෝතිය. ජෝති මෙතරම් දුරක් එන්නේ එක පදයකින් ඇරඹි ගමනකිණි. එසේම මෙතරම් දුරක් ආවේත් ඒ නිසා විය හැක. කැසට් හෝ තැටි නිශ්පාදනය කරමින් මහා පරිමාණයෙන් කලාවට ගොඩබට සියල්ල ජෝති විසින් අතික්‍රමණය කරනු ලබන්නේ, සිහිනය යථාර්ථයක් කරගනු පිණිස ‘අමු කට්ටක් කාපු‘ මිනිසෙක් නිසාම විය යුතුය. වසන්තා සේම ජේ.එස්.බී.රාණි පෙරේරා ද ජෝතිට යම් දිරියක් දුන් මිනිසුන් අතර සිටියාය. ජෝතිගේ ගායන දිවිය ඇරඹුණේ මත භේදයකිනි. ‘මත භේදය‘ චිත්‍රපටියේ ගීත පටිගත කිරීමට ඉන්දියාවට යා යුතුව තිබුණක් පාස්-පෝර්ට් එකක් නොවූ හෙයින් ජෝතිගේ ගමන නැවතිණි. ජෝතිගේ කටහඩ පිළිබද සතුටු නොවූයෙන් ‘පෙරකදෝරු බෑණා‘ හි ගී ගැයීමට අවස්ථාවක් ලබා දීමට අධ්යක්ෂ රාජ් නොකමැත්ත ඵල කළේය. ජෝතිගේ හඩ ගායනයට නුසුදුසුය කියූ එකම මිනිසා රාජ් නොවේ. සිරිසේන විමලවීර ‘පොඩි පුතා‘ හි හඩ පරීක්ෂණයේදී ජෝති ප්‍රතික්ෂේප කළේය. ජෝති සිය සිහිනය වෙනුවෙන්, අරගල කළේය. ජෝතිගේ සිහිනය යථාර්ථයක් වන්නේ, ‘සුරතලී‘ හි ‘සිරියමේ සාරා‘ ගීතයෙනි. ජෝතිට පළමු පදය ගයා, ඉන් පසු ගීයක් ගැයීමට වසර 4 ක් ඉවසා සිටීමට සිදුවිය ජෝති ඉවසාගෙන සිටියේය.