ගිය සතියේ ඉරිදා හවස ගනේමුල්ල ඉස්ටේසමට මම එනකොට වෙලාව 6.25 ට විතර ඇති. හවස 6.44 ට කොළඹ කොටුවට යන ස්ලෝ ට්‍රේන් එකේ කැළණියට එන්නයි මම හිතං හිටියේ. බංකුවට බර වෙලා වටපිට බල බල ඉන්නකොට තමා කොළඹ ඉඳන් ගනේවත්තට යන S10 එක ගනේමුල්ල ඉස්ටේසමට ආවේ. ඒක ගණේමුල්ලෙන් පිටත් උනා විතරයි "කොළඹ කොටුව දක්වා පස්වරු 6.44ට ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය මිනිත්තු තිහක් පමන ප්‍රමාද වන බව මගීන් කරුණාවෙන් සලකන්න" කියලා එනවුන්ස්මන්ට් එකක් දීපී... වටේ පිටේ උන්න ඈයොන්ගේ මූණු දෙල් වෙනවා දැං මට පේනවා. කෝච්චියක් පරක්කු වෙනවා කියන්නේ අපි වගේ උංට නම් පට්ට සන්තොස දනවන කාරනයක් උනත් එදිනෙදා දුම්රිය මගින් ගමන් පහසුකම් සලසා ගන්නා මගීන් නම් ඒ වැනි අවස්ථා වල දුම්රිය පාලකයින්ගේ දෙමවුපියන් සිහිපත් කරන බව නම් නොරහසක්. මිනිත්තු තිහක් කියන්නේ පොඩි වෙලාවක් යෑ...
කොහොම හරි මේ බව කලින් දැන හිටි කීප දෙනෙක් ගනේවත්ත දුම්රියට ගොඩ උනේ ගම්පහ ඉස්ටේසමෙන් නිල්පාට බදුලු කෝච්චිය අල්ල ගන්නයි. වැඩි වෙලාවක් ගියේ නෑ. ගණේමුල්ල රේල් ගේට්ටුව ආයේ වැහුනා. කටකපපු තුන්වෙනි පන්තියේ මැදිරිත් හිස් පළවෙනි පන්තියේ මැදිරියකුත් එක්ක S12 එක කොළඹ පැත්තට විදගෙන ගියා. ඊට ටික වෙලාවකට පස්සේ දුම්රිය ස්ථානයේ යකඩ කටින් අපුරු නිවේදනයක් නිකුත් උනා. "මගීන් කරුණාවෙන් සවන් දෙන්න. ඕමන්තේ සිට කොළඹ බලා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින ගණේමුල්ල දුම්රිය ස්ථානයේ නවත්වන බව මගීන් කරුණාවෙන් සලකන්න. දුම්රිය නවත්වන්නේ රාගම, මරදාන හා කොළඹ කොටුවයි."
යම්දෝ නොයම්දෝ... යම්දෝ නොයම්දෝ.. මට හිතා ගන්න බැරුවයි හිටියේ. ස්ලෝ ට්‍රේන් එක මිනිත්තු තව 20ක් වත් පරක්කු වෙයි. යාල්දේවියේ ගියොත් එක්කෝ මරදානෙන් නැත්තම් කොටුවෙන්. එහෙමත් නැත්තම් අපේ ගේ හරියෙන් (මුතුවැල්ල ක්‍රොසිං එක) සිග්නල් වලට සෙට් උනොත් පැන ගන්නවා කෝච්චියෙන්, නැත්තම් මරදානේ ස්ලෝ උනොත් පැන ගන්නවා. ඔය වගේ දාහක් ජාති මගේ ඔලුවට ආවා. ඒ එක්කම රේල් ගේට්ටුව වැහුනා. හෝර්න් සද්දෙන් ලොකෝ එක M4 එකක් කියලා මට තේරුනා. හිතේ දෙගිඩියාව කොහේ ගියාද නෑ. බංකුවෙන් නැගිට්ටුනේ ඉබේම. කොහේ ගියත් යන්නේ ඉස්සරහම පෙට්ටියටනේ. ප්ලැට් ෆෝර්ම් එකේ කෙරවලට මම දීවා. ඇන්ජිම අපේ මැණිකා.. 754 කියලා කලුවරේ මම දැක්කා. ඇංජිම ගාව තියෙන පෙට්ටියට ගොඩ උනේ ඕන යාල් දේවි එක්ක තිබුන අතීත මතක සටහන් සෑහෙන ගානක් ඔලුවේ වැඩ කරමිනුයි. කෝච්චිය යන්න පටං ගත්තා. රාගමත් නැවැත්තුවා. ආයේ යන්න පිටත් උනා. දැං කොහේවත් නවත්තන්නේ නෑ. කෙලින්ම මරදානේ. සුපිරි වේගයක්.. ආයේ ලොවෙත් නෑ. ඇන්ජිමේ ජවය කෝච්චියේ වේගය ඇත්තටම ඒ වෙලාවට අපේ ඇඟට තේරෙනවා. හොරපේ, එඬේරමුල්ල, හුණුපිටිය පහු කලේ විදුලි වේගෙන්.
මම බහින්න හිටිය කැළණිය ඉස්ටේසමේ කොල ලයිට් එක මට හොඳට පෙනුනා. මගේ බලාපොරොත්තු සුන්. ඒත් පට්ට කික් එකක් ඒ වෙලේ තිබුනේ. විදුලි වේගෙන් දූවිලි අවුස්සගෙන යාල් දේවිය කැළණිය දුම්රිය ස්ථානය පහු කරා. දැං අපේ ඒරියා එක. කලු පාලම උඩින් මහා සද්දෙන්.. වේගය පොඩ්ඩක් වත් අඩු නෑ. අපේ ගේ ගාවත් කොල පාට. සිග්නල් එක. කෙලින් පාරේ M4 එක විදිනවා. සිග්නල් ටික ලෙසටම වැටිලා තියෙන වෙලාවක යාල් දේවිය බුලට් එකක්. ආයේ ලොවෙත් ඒ වේගෙට ඒ ගැම්මට යන කෝච්චියක් නෑ. දෙමටගොඩ ගුවන් පාලම යටින් ගියා නෙමෙයි ඉගිල්ලුනා. ඒ වේගේ මරදාන පේන පානෙට වෙනකන් ඒ විදියමයි. 783 දෙමටගොඩ යන එනමං නැතුව අයාලේ යනවා මම දැක්කා. මට හිතුනේ 1045 ට අද 783 දෝ කියලයි. ඒත් ඒ සැකය මිනිත්තු දෙකක්වත් තිබුනේ නෑ. ඊයේ 1045, වෙනත් විදියකින් නැත්තම් දුම්රිය දෙපාර්තමේන්තුව කියන විදියට නම් බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, මිනිස්සු කියන විදියට ආතල් කෝච්චිය, ගාඩ් මහත්තුරු, මැදිරි පරීක්ෂක මහත්වරු කියන විදියට "කරුමේ නැත්තම් අපාය" එක්ක එදා බදුලු ගියේ 788. කොහොමද පාට දෙකෙන් M6 දෙක ඩබල් හෙඩඩ් පල්ලම් බහිනකොට. එහෙම්මම ටිකට් එකක් අරගෙන බදුලු ගිහින් පින්තූර දෙකක් අරගෙන එන්න ඇත්තටම හිතුනා. ඒත් ඉතිං කොරන්නෙ කොහොමෙයි?
754 ට පොඩි තට්ටුවක් දාලා ආයේ හොඳට බලාගෙන පාලම උඩටත් නැගලා ලොකෝ එකේ තත්වේ බලාගෙන මරදාන දුම්රිය ස්ථානයෙන් එලියට ආවා.
ලංකා දුම්රිය සේවයේ මම වඩාත්ම ආදරේ කරන මගේ කැමතිම කෝච්චිය "රුහුණ" S11 එකක් නෙමෙයි. ඩක්කු දෙකක් මාතර ඉඳං කොළඹ ආවත් රුහුණු කුමාරි කියන නමට මම එදත් අදත් හෙටත් ගරු කරනවා. S11 රුහුණු කුමාරියට දාපු එක ගැන කොච්චර නම් වාද විවාද මම ඇති කරගෙන ඇතිද..
එහෙම්මම තමා යාල්දේවි එක්ක තියෙන මතක සටහන් නම් ලොවෙත් නෑ. යාල් දේවියේ වේගයට, ජවයට මම පට්ට ආදරෙයි. යාල්දේවිත් එක්ක කොටුවෙන් නැගලා ඉස්සරහම පෙට්ටියේ ඕමන්තෙට වෙනකන් හිටගෙන ගිහින් තියෙනවා. ආයේ ඇවිල්ලත් තියෙනවා. ආයේ එක වතාවක් නෙමෙයි සිය දහස් වතාවක් උනත් ඒ දේ කරන්න මම පට්ට ආසයි. M4 රුවන්වැලිය වගේම පේදුරුවත් එක්ක තියෙන යාල්දේවි මතකයන් සිහිවෙනකොට ආයේ ඒ දේවල් වල ජීවත් වෙන්න හිතෙනවා. ඉක්මනින්ම මම ආයේ ඕමන්තේ යනවා. ඉක්මනින්ම යාල්දේවියේ ගමනක්යන්න ඕන කියලා හිතාගෙනයි ඊයේ මම මරදානෙන් එලියට ආවේ.
ඔයාලාට මතකද දන්නේ නෑ මීට අවුරුදු කීපයකට කලින් අපි යාල් දේවියේ ඕමන්තේ බලා සංචාරය කලා. ඕමන්තේ කියන්නේ උතුරු දුම්රිය මාර්ගයේ අද වෙනකොට දුම්රිය ගමන් කරන කෙරවල. අපි මේ පාර සූදානම් වෙන්නේ තලේමන්නාරම් මාර්ගයේ මඩු පාර දුම්රිය ස්ථානය බලා සංචාරය කරන්නයි. යාල්දේවි "The Train Trip" එකේදී වගේම මේ ට්‍රිප් එකටත් එලකිරියේ සංචාරය ප්‍රිය කරන අපේ සහෝදර සාමාජික සාමාජිකාවන් එකතු කරගන්න අපේ ට්‍රැවලර් ටීම් එක කැමතියි.
දිනය - 2013 ජූනි 09 වෙනි ඉරිදා.
පිටත්වන ස්ථානය - කොටුව දුම්රියපල
වෙලාව - පෙ.ව. 5.45 ට පිටත් වෙන "යාල් දේවි" දුම්රිය
ගමනේ විස්ථර - උදේ 5.45ට කොටුවෙන් පිටත් වෙන යාල්දේවි දුම්රියෙන් මැදවච්චිය බලා ගමන් කරලා එතනින් උදෑසන 11ට පිටත් වෙන රේල් බස් රථයේ මඩු පාර දුම්රිය ස්ථානයට ගිහින් ආයේ රේල් බස් එකේ මැදවච්චියට ඇවිත් සවස "දැයට කිරුල" දුම්රියෙන් නැවත කොළඹ කොටුව බලා පිටත් වෙන්න තමයි සූදානම.
නැවත කොළඹට පැමිනෙන වේලාව - රාත්‍රී 8.00-8.30 අතර.
ගමනේ වියදම් - ආසන්න වශයෙන් රුපියල් 1000ක් පමන.
ගමනට සහභාගී වීමට කැමැත්තෙන් ඉන්න සාමාජිකයන් හැකි ඉක්මනින් තමන්ගේ පැමිනීම දුරකථන අංකයක් සමඟ මට හෝ JK ට දන්වා සිටින්න කියලා කාරුණිකව මතක් කර සිටිනවා.
ath set wenna widiyak nam naha

ලේලන්ඩ් නිසාම හොදා......
