ගුණපාලට එල්ලල ගහල මැරුවෙ මොන හිතකින්ද හාමුදුරුවනේ
0 June 8, 2014 2:00 am Hits(20)
හිතේ හිරවුණු දුක් පොදිය සැහැල්ලු කොට ගුණපාල තමා සන්තකයේ වූ දරුපැටියා උතුම් වූ සම්බුද්ධ ශාසනයට භාර කෙළේ ශාසනයට උරුමකම් කියන්නට නම් නොවේ. වෙන කරන්නට කිසිවක්ම නොවූ තැනයි.
අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ ජීවත්වුණු ගුණපාල තම බිරිය හා දරු තිදෙනා
පෝෂණය කළේ පොල්ගස් බඩගා ලැබෙන සොච්චම් මුදලිනි. දිනපතාම පොල් ගස් දිගේ බඩගා තම මඩිය තර කර ගන්නා ගුණපාලට තවදුරටත් විවාහ දිවියේ රස විඳින්නට ඉඩ තිබුණේ නැත. ගුණපාල හා දරු තිදෙනා තනිකොට කැදැල්ලේ කිරිල්ලිය ඉගිළ ගියාය.
කරන්නට දෙයක් නැත... දරු තිදෙනා පාළු නිවෙසේ අතරමං කොට ගුණපාලටද ඉගිළ යන්නට නොහැකිය.ගුණපාල එළැඹි තීරණය කෙතරම් දුරට සාධාරණදැයි දන්නේ ඔහුම පමණක්මය. අම්මා, අහිමි වුණු දරුවන් පිය සෙනෙහසින්ද දුරස් කිරීම ගුණපාලගේ අවසන් නිගමනය විය. එහෙත් ඒ තම දරුවන් වෙනුවෙනි. දරු තිදෙනාගෙන් දෙදෙනකු ළමා නිවාසයකට භාර දෙනුයේ එහෙයිනි.
අවුරුදු අටක් වූ තම අනෙක් පුතණුවන් ගංගාරාම පුරාණ විහාරස්ථානයේදී සසුන් ගත කොට ගුණපාල සිය දරු තිදෙනාගෙන්ම නිදහස් විය. ගුණපාල නිදහස් මිනිසකු බවට පත්විය. එතැන් සිට ඔහුට තිබුණේ තම ජීවිතය රැක ගැන්මට පමණි. ඒ සඳහා සිය සුපුරුදු රැකියාව වූ පොල් කැඩීම තෝරා ගැන්මට ගුණපාල තීරණය කළේය. ඉර හැරෙනතුරු පොල් ගස් සමඟ ඔට්ටු වන ගුණපාල ඉර ගිලෙන ගොම්මනේ පන්සල වෙත ඇදී එන්නට විය. කාත් කවුරුත් නොමැති ගුණපාලගේ බොහෝ දිනයන්හි රැය පහන් වුණේ පන්සලේ බණ මඩුව තුළය.
පන්සලේ නවාතැන් ගත්තද, තම දරුවකු ශාසනයට පූජා කරමින්, ශාසනයට උරුමකම් කීවද, තම පාපී සිතිවිලි පාලනය කරගන්නට තරම් වයස අවුරුදු 54ක් පමණ වූ ගුණපාලට හැකියාවක් තිබුණේ නැත. තම පාපී ආශා සංතෘප්ත කර ගැන්මෙහිලා ගුණපාල එම පන්සලේම නතරව සිටි අවුරුදු අටක පුංචි දරුවකු සොයා යන්නට විය. මහණකමේ මිහිර විඳින්නට එම පන්සලට ආ මේ පුංචි මල් කැකුළ අවසානයේ වියපත් පාපතරයකුගේ පහසට නතුවන්නට වූයේ පන්සලේ අනෙක් හිමිවරුන් තම රාජකාරිවලට පන්සලෙන් බැහැර වන විටදීය.
තවදුරටත් මෙම පාපතර ක්‍රියාව අනෙක් හිමිවරුන්ගෙන් සඟවාලන්නට හැකි වූයේ නැත. එහි අවසන් ප්‍රතිඵලය වූයේ නීතිය පසෙක තිබියදී කැලෑ වැදුණු නීතියක් එම පන්සලේම හිමිවරුන් දෙදෙනකු සහ ගිහියකු අතට ගැනීමය. ගුණපාල තම අත්අඩංගුවට ගත් ඔවුහු ප්‍රශ්න කිරීම ඇරැඹූහ. ප්‍රශ්න කරන්නටත් කලින් ඔවුහු දඬුවම් දීම ඇරැඹූහ. දෑත් පිටුපසට කොට බැඳ ධර්මශාලාවේ බාල්කයක ගුණපාල එල්ලූහ. ඉන්පසු පොල්ලකින් පහර දෙමින්ම අදාළ සිද්ධිය ගැන විමසීම ආරම්භ කළහ. ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් අවසන් වූයේ ගුණපාලට කෙළින් කටින් නැඟිට ගන්නටත් නොහැකි වූ තැනය.
ගුණපාල මාතර මහ රෝහලට ඇතුළත් කරන්නට යෙදිණි. හාමුදුරුනමක් විත් ගුණපාල රෝහලට භාර දී යන්නට ගොස් තිබිණි. ඉනුත් ටික වේලාවකට පසු ගුණපාල මරණයේ මංපෙතේ ගමන්කොට තිබිණි. උතුම් වූ ආර්ය මාර්ගයේ පියමං කරන්නට සිහින දැකි පුංචි මල් කැකුළක් තළා පෙළා දැමූ වරදට ගුණපාල බස්නායක නම් වූ පාපතරයාට දඬුවම් නියම වී තිබුණේ එසේය. එහෙත් ඒ දඬුවම් හිමි වූ ක්‍රමය නම් නීතිය ඉදිරියේ සාධාරණ නොවේ.
ගුණපාලට පහර දුන් චීවරධාරීන් දෙදෙනාගෙන් එක් අයකුත්, ගිහි පුද්ගලයාත් මේ වනවිට පොලිස් අත්අඩංගුවේය. අනෙක් චීවරධාරියා සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් සිය පරීක්ෂණ මෙහෙයවයි. මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති බව මාතර රෝහල් පොලිසිය පවසයි. අපයෝජනයට ලක්වුණු අවුරුදු 8ක් වයසැති දරුවා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කොට ඇත.
සවනි ශේශාධි
ප්‍රේමලාල් විජේරත්න




