අළුත්ගම දර්ගා නගරය පතිරාජගොඩ ප්‍රදේශයේදී පොසොන් පොහෝ දින (12 දා) ස්‌වාමින් වහන්සේ නමකට හා රියෑදුරකුට පහර දුන් තිදෙනා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර මෙම මස 25 වැනි දින හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කර ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය ඊයේ (13 වැනිදා) දහවල් නියෝග කළාය.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ තෙදියවත්ත දර්ගා නගරය පදිංචි මොහොමඩ් අමින් මොහොමඩ් අස්‌තාර්, මොහොමඩ් අමින් මොහොමඩ් අර්ෂන්, මොහොමඩ් අමින් මොහොමඩ් අස්‌වර් යන තිදෙනාය.
මෙම සැකකරුවෝ තිදෙනා පෙරේදා (12 දා) රාත්‍රී අලුත්ගම පොලිසිය විසින් කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (13 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ. ඔවුන් ඊයේ (13 දා) හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබිණි.
මෙම තිදෙනාගෙන් පහර කෑමට ලක් වූ ධර්ගා නගරය කුරුඳුවත්තේ ශ්‍රී විජයාරාම විහාරාධිපති අයගම සමිත හිමි සහ රියෑදුරු එස්. විශ්වා රෝහල්ගත වී ඇතැයි ද ඊයේ එම පැමිණිලිකරුවන්ට පැමිණීමට නොහැකි බැවින් හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුව කල් තබන්නැයිද කළුතර සහකාර පොලිස් අධිකාරී සුගත් ගලගමගේ හා අලුත්ගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් 14504 රාජකරුණා යන මහත්වරු මෙම සිද්ධිය පිළිබඳව විනිසුරු නිලමැදිරියේදී වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් පැවසූහ. ධර්මදේශනයකට යමින් සිටි භික්‍ෂූන් වහන්සේට මෙම තිදෙනා පහරදී ඇතැයි පොලිසිය පවසයි.
divaina