ඒ ළමයි රස්සාවක් හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ, අද ඒ අය ගෙදරට ඇවිත් කියලා ආරංචි වුනා. ඒ අයව කවුරුත් පැහැරගෙන ගිහිල්ලා නෑ, ඒ අයම බයිසිකලයෙන් රස්සාවක් හොයාගෙන ගිහිල්ලායි තියෙන්නේ.
රටම කැළඹූ චණ්ඩි පැටව් ගෙදර එති
'කොළඹ යන්න ගිහින් ආපසු හැරිලා ආවා'
හේමන්ත රන්දුණු සහ සී. එම්. ආරියපාල
'අපි කොළඹ යන්න හිතාගෙන ගෙවල්වලින් පිටවෙලා ආවේ. බයිසිකල් වල නැගලා පුත්තලමට ආවට පස්සෙ හිතුවා කොළඹ යන්න බැහැ කියලා.
ඒ නිසා අපි ආපහු ගෙවල්වලට එන්න පිටත් වුණා යෑයි දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටි රාජාංගනය යාය 10 ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයන් තිදෙනා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
මෙම තිදෙනා පාපැදි දෙකක නැගී පුත්තලමේ සිට ආපහු රාජාංගනය බලා එමින් සිටියදී රාජාංගනය ඇදබෝක්කුව ප්‍රදේශයේදී පොලිසිය විසින් පෙරේදා (10 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගන්නා ලදී.
ඔවුන් තිදෙනා ඉකුත් 09 වැනිදා උදෑසන නිවෙස්වලින් පිටවී ඇත්තේ පාසල් යන බව කියමිනි. මොවුන් නිවෙස්වලින් පිටවී ඇත්තේ අමතර ඇඳුම් කීපයක්ද රැගෙනය.
රාජාංගනය නගරයට පැමිණ එදින සවස් වනතුරු ගත කළ ශිෂ්‍යයන් තිදෙනා කොළඹ යැමට කතාකරගෙන ඇත. පසුව පාසල් ඇඳුම් ඉවත්කර වෙනත් ඇඳුම්වලින් සැරසුණු තිදෙනා පාපැදිවල නැගී පුත්තලම දක්වා ගොස් තිබේ.
එහිදී කොළඹ යැමේ අදහස අතහැර දැමූ තිදෙනා නැවත නිවෙස් බලා ඒමට තීරණය කර ඇත.
මේ තිදෙනා රාජංගනය ඇදබෝක්කුව ප්‍රදේශයට එද්දී සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් පිරිසක් විසින් ඔවුන් හඳුනාගෙන පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.
මෙම තිදෙනා අතුරුදන්වීමේ පුවත මහත් ආන්දෝලනයට තුඩුදුන් අතර මාධ්‍ය මගින්ද ඉහළ ප්‍රචාරයක් ඊට ලබාදී තිබිණි.
සැකකාර ශිෂ්‍යයන් තිදෙනා අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර රාජාංගනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මෙසේ සොයාගනු ලැබුවේ රාජාංගනය යාය 10 විදුහලේ නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සුපුන් ජයමාල්, නිලංග ප්‍රබෝද් සහ එම පාසලේම 6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ 12 හැවිරිදි අමල් සුරංග යන ශිෂ්‍යයන්ය. මොවුන් අතුරින් නිලංග ප්‍රබෝද් සහ අමල් සුරංග සොහොයුරෝ වෙති.