19 කොටස.
පැයක පමණ ගමනකින් පසු අප ගුවන්තොටුපලේ සිට නිවසට පැමිණියෙමු. එවිට අපව පිළිගත්තේ අයියගේ බිරිඳයි. ඇය කොරියන් ජාතික කාන්තාවකි. එංගලන්තෙට ආවත් මගේ ඔලුවේ වැඩ කරන්නේ KM මගේ ඇමතුම බලා සිටින බවයි. මා හැකි ඉක්මනින් මට වෙන්වූ කාමරයට ගොස් මගේ laptop එක on කළෙමි. ඉන් පසු මා කලේ wifi password එක ඉල්ලගෙන internet log වීමයි. ඉන් අනතුරුව සිදුවූ දේ විස්තර කර KM ට email එකක් යැව්වෙමි. මම UK එන්නට කලින් KM laptop පරිඝනකයක් මිලදී ගත්තාය. ඒ වෙන කුමකටවත් නොව, මා සමඟ කතා කිරීමටයි. මම මෙහි එන්නට කලින් එහි skype සහ team viwer දමා ආවෙමි. මට මෙහිදී කතා කරන්නට දුරකතනයක් නැත. මා පාවිච්චි කල දුර කථනය මම KM ට දී ආවෙමි. එනිසා මට KM ට කථා කළ හැකි එකම ක්‍රමයනම් internet හරහා කතා කිරීමයි. පසුවදා KM අනිවාර්යයෙන්ම email බලන බව දන්නා නිසා මම ඇයට email එකක් යවා තැබුවෙමි.
පසුවදා උදෑසනම මම email බැලුවෙමි. එවිට KM ගෙන් email එකක් ඇති බව දැක මට දැනුනේ පුදුම සතුටකි. ඒත් දැනෙන දුරස් බව මෙතරම් යයි වචන වලින් විස්තර කළ නොහැක. ලංකාවේදී නැගිට්ට ගමන් KM සමඟ කතා කරන්නට පටන් ගෙන රෑ වන තුරුම ඈ සමඟ sms වලින් කතා කරන්නට මම පුරුදුව සිටියෙමි. නමුත් එක දවසකින් මේ සියල්ල වෙනස් වී ඇත. ලංකාවේ වෙලාවත් මෙහි වෙලාවත් අතර ඇති වෙනස අපට තවම තේරුම් ගත නොහැක. KM උදේ මා එනතුරු බලා සිට මා නොමැති නිසා email එකක් තබා ඇත. මට උදේ වන විට ලංකාවේ දවල්ය. මම KMට තව mail එකක් තැබුවෙමි. ඉන් පසු මම අයියත් සමඟ කඩයට ගියෙමි. මම ගියේ කඩේ වැඩ ඉගෙන ගැනීමටය. එනිසා laptop එක ගෙන ගියේ නැත. එනිසා KM ගෙන් පණිවිඩයක් දැනගැනීමට නැවත නිවසට පැමිණෙන තුරු සිටිය යුතුය. අනතුරුව අපි කඩයට ගොස් කඩය ඇර වෙළඳාම පටන් ගත්තෙමු. ඉන් පසු දිගින් දිගටම ආවේ සුද්දන්ය. මම මෙහි එන්නට ප්‍රථම IELTS කළ බව මතකය. නමුත් මෙහි සුද්දන් කථා කරන්නේ එහි තිබුණු විදිහට නොවේ. මොවුන් වචන 10ක් කිව්වොත් මට තේරෙන්නේ වචන දෙකක් පමණි. අයියා ඔවුන් සමඟ ගනුදෙනු කරන හැටි මම කටත් අරගෙන බලා සිටියෙමි. ඔවුන් දැක්ක ගමන් අසන්නේ ඔය දෙන්නා සහෝදරයෝද කියාය. අයියා මට වැඩ අවුරුදු 14ක් වැඩිමල් වුවද පෙනුමෙන් තරමක් දුරට සමානය. වෙනසකට ඇත්තේ ඔහු කන්නාඩි දමන්නේ නැත. එමෙන්ම ඔහු මට වඩා පෙනුමය. කිහිප දෙනෙක් ඇරෙන්නට අනෙක් සියලුම සුදු ජාතිකයින් ඉතා මිත්‍රශීලි වෙති. පැමිණි ගමන් අසන්නේ ඔබ හොදින්ද කියාය. (You all right?) ඉන් පසු ඔවුන්ට අවශ්‍ය දේ ඉල්ලා ස්තුති කරයි. අපි ගාන හදා මෙපමණයි පැවසු පසුද ස්තුති කරයි. ඔවුන් මුදල් දෙද්දී සහ අපි ඔවුන්ට ඉතිරිය දෙද්දී යන මේ සැම අවස්ථාවකම ඔවුන් ස්තුති කරයි. ඔවුන් වැඩියෙන්ම පවසන්නේ Thank you කියන වචනයයි. කඩයට එන සුද්දන් මගෙන්ද එක එක ප්‍රශ්න අසයි. නමුත් මට තේරෙන්නේ ඉතා සුළු ප්රමාණයකි. ඒ ඔවුන් ඉතා වේගයෙන් කතා කරන නිසාය. අපි ලංකාවේ ඉංග්‍රීසියෙන් කතා කරන්න ගියාම grammer මතක් කර කර සිටියි. නමුත් මොවුන් එය එච්චර ගණන් ගන්නේ නැත. අපි කියන දේ වැරදුනත් මොවුන් හිනා වෙන්නේ නැත. අපි කුමක් හෝ කියද්දී කියාගත නොහැකිව හිර වුනොත් මොවුන් එය සම්පුර්ණ කර දෙයි. නමුත් අපි ලංකාවේ උච්චාරණය කරන සමහරක් වචන වැරදි බව දැනගත්තේ මෙහි පැමිණි පසුය. එය වෙනමම කතාවකි. මේ සිදුවන සැම දෙකම අතර මට ඉතා විශාල අඩුවක් හිස් බවක් දැනෙන්නේය. ඒ KM මගේ ළඟ නොමැති වීමයි. මට නිතර සිහි වුනේ ඇයයි. අපි කඩේ ඇරියේ උදේ 9ටය. අපි රෑ 10.30 වන තෙක්ම කඩේ සිටියෙමු. ඒ අප වෙළඳම් කරන කාලයයි. එය පැය 13කි. කඩේ වසා ගෙදර ගිය සැනින් මා කලේ ඇදුම් මාරු කිරීමටත් ප්‍රථම laptop එක ගෙන email බැලීමයි. එවිට KM mail එකක් ඒවා තිබුණි. මේ සිදුවන්නේ කුමක්ද? මා මෙහි එන්නට පෙර අපි කථා වුනේ මෙසේ නොවේය. දවස් දෙකටම අප කතා කර තිබෙන්නේ 4 වතාවකි. එනිසා මම රෑට නින්දට යන වෙලාව ගණන් හදා KM ට කිවේ මේ වෙලාවට එන්න අපි skype කථා කරමුය කියාය. ඒ අනුව ඊ ළඟ දවසේ KM skype ආවාය. අපි පැය දෙකක් පමණ කථා කළෙමි. නමුත් පහුවදා උදෑසනම මාගේ දයාබර අයියා කිවේ "තමුසේ රෑට නිදාගන්නැතුව එක එකාට කථා කර කර ඉන්නවනම් මම ගෙදර internet කපනවා" කියාය. එවිට මා සැබවින්ම බයවුනි. ඒ මට KM සමඟ කථා කිරීමට ඇති එකම අවස්ථාව මෙය නිසාය. එනිසා පහු වෙනිදා අපි video on කරගෙන type කරමින් chat කළෙමු. KM සහ මම කලින් ආත්මයක කුමක් හෝ පවක් කර ඇත. කරදර අපිව සොයාගෙන එයි. මේ කරදර වලට ඉන්න රට වැඩක් නැත.
කෙසේ හෝ දවස් 5කින් පමණ මගේ අම්මාට මා සමඟ skype කතා කරන්නට වුවමනා විය. ඒ අනුව වෙලාවක් යොදාගෙන KM laptop එකත් ගෙන අප නිවසට ගොස් සිටියාය. අම්මගේ කීම නිසා අයියා මට ගෙදර ඇවිත් මවට කතා කරන්නට දුන්නේය. නමුත් මා ගෙදර ආවේ තනියම නොවේ. අයියාද සමඟය. අපට ගෙදර යා යුතු වෙලාවට අක්කා එනම් අයියගේ බිරිඳ කඩයට ආවාය. මා අම්මාට කථා කරන තුරු අයියා කාමරයේ පිටත එහෙ මෙහෙ යමින් කියන දේ සියල්ල අසාගෙන සිටිනා බව මම දුටුවෙමි. මට මේ සිදු වී ඇත්තේ කුමක්ද. මෙය කබලෙන් ලිපට වැටීමක් වැනිය. මම UK ආවේ අපගේ අනාගතය නිසාය. නමුත් මා එක කුස උපන් සහෝදරයා මෙය නැවත්වීමට වෙර දරයි.
මමත් මෙහෙ ආවාට පසු මව සිටියේ ගෙදර තනිවමය. එනිසා KM සහ ඇගේ මව අම්මාට කෑමත් සාදාගෙන අම්මව බලන්නට යාම පුරුද්දක් කරගත්තාය. සතියට දින දෙකක් හෝ තුනක් ඔවුන් එසේ කළාය. යම් දින වලදී අපේ අම්මගේ තනියට KM අපේ ගෙදර නැවතුනාය. KM ඇයගේ ඇදුම් කිහිපයක් අපේ ගෙදරම තබා තිබුණි. ඒ අප නිවසට පැමිණි පසු හැඳිමටය. ඇය එසේ කරන්නේ ඒ මගේ මව නිසාය. මට ඇති ආදරය නිසා ඈ මගේ මව බලන්නට යන්නීය. ඒ අතින් මා ඉතා වාසනාවන්තය. නමුත් මගේම අයියා මෙය නැවත්වීමට වෙර දරන්නේ ඇයි දැයි මට සිතා ගත නොහැක.
මා UK ආවේ job එකක් කරමින් degree එකක් කරගැනීමටය. අපට විශ්වවිද්‍යාල වලට යාම සඳහා ප්‍රමාණවත් වත්කම් නැත. එනිසා අයියා මට තෝරා තිබුනේ සාමාන්‍ය කොලිජියකි. මෙරට තුල වැඩ කළ හැක්කේ විශවවිද්‍යාල වලට පැමිණි අයට පමණි. මා එන්නට කලින් අයියාද මමද එය දැන සිටියෙමු. අයියා කිවේ එය ප්‍රශ්නයක් නොවන බවයි. අයියා දන්නා අයට කියා මට job එකක් සොයාගත හැකි බව ඔහු නිතර පැවසුවේය. නමුත් මා මෙහි පැමිණි පසු ඔහු කිවේ මට වැඩ කල නොහැකි නිසා එසේ job සොයාගැනීමට අමාරු බවය. අහු වුනොතින් නැවත ලංකාවට යන්න වන බව ඔහු පැවසුවේය. එනිසා මට දිගටම ඔහුගේ කඩයේ සිටීමට සිදු විය. කඩය ඔහුගේ නිසාත්, ඔහු මෙරට පුරවැසි බාවය ලබා සිටින නිසාත් මම ඔහුගේ කඩයේ සිටීම එච්චර බරපතල දෙයක් නොවේ. එවිට සිදුවන්නේ මම ජොබ් එකක් කිරීම නොව සහෝදරයට උදව් කිරීමකි. නමුත් කඩයට එන ඔහුගේ යාළුවන් නිතරම මාව තැන කිහිපයක වැඩට දමා දෙන්නට ඇසු නමුත් අයියා එයට කැමති උනේ නැත. එනිසා මම උදේ 9 සිට රෑ 10.30 වනතුරු කඩේ සිටියෙමි. සතියක් පමණ යන විට මට කඩේ තනියම වැඩ කළ හැකි තරමට මම වැඩ පුරුදු වුනෙමි. මෙහි ඇති අමාරුම දෙයනම් 18න් පහළ අයට alcohol සිගරට් විකිණීම වලක්විමයි. වයස අඩුයි වගේ පෙනෙන අයගෙන් ID ඉල්ලන්නට අපිට සිදුවෙයි. එවුට ඔවුන් ලෝකෙ නැති කථා පවසයි. එවැනි සමහර අයගෙන් බේරීමට සහ හොර සල්ලි ගෙනෙන අයගෙන් බේරීමත් අමාරු කටයුත්තකි. ඒ හැරෙන්නට කඩයේ වැඩ එතරම් අපහසුවක් නැත. නමුත් නිදහස ඇත්තේ ඉතා අවම වශයෙනි. නිතරම පාරිභෝගිකයන් පැමිණෙන හෙයි ඔවුන් සමඟ ගනුදෙනු කරමින් දවසම ගෙවී යයි. ඔය අතර අයියා නිතරම මගේ ඔලුවට දැම්මේ ලංකාවේ එක අතහැර සුද්දියෙක් හොයා ගන්නා ලෙසටයි. ඒ අතරම සමහර දිනයන් හිදී මහන්සිය නිසාම මට ඉක්මනින් නින්ද යයි. මෙනිසා KM සමඟ කථා බහ එන්න එන්නම අඩුවිය. කර ගත යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. KM සමහර දිනයන් හිදී මා skype එනතුරු බලා හින්ද මා නැති හෙයින් නින්දට යයි. කෙමෙන් කෙමෙන් අප අතර කතාබහ ඉතා දුර්වල විය. සමහර විට අප කථා කලේ දින දෙකකට වතාවකි. පෙර නම් උදේ නැගිට්ට ගමන් "good morning baba" යයි යවන sms එක තියා දැන් ඇයට කොහොමද කියා දැනගන්නත් දෙන දෙකක් පමණ යයි.
මම UK අවේ සල්ලි එකතු කරගන්නටය. නමුත් ම සිටියේ අයියගේ කඩේ නිසා ඔහු මට වැටුපක් ගෙව්වේ නැත. ඔහු කිවේ college ගාස්තු සහ අනිත් සියලු වියදම් ඔහු බලා ගන්නම්. එනිසා මට කඩයේ ඉන්න කියාය. මෙහි පැමිණ මසක් දෙමසක් ගියත් මට වැටුප් නැත. වරින් වර අක්කා දුන් සුළු මුදලත් ඔහු ඉල්ලා ගත්තේය. ඔහු පැවසුවේ මට දැන්ම මුදල් වැඩක් නැති හෙයින් අම්මට යවන්න ඒ සල්ලි දෙන්න කියාය. එනිසා මා එම මුදල් දුන්නෙමි. මුදල් එකතු කර degree අරගෙන ජීවිතය ගොඩනගා ගන්නට පැමිණි මා තවමත් කිසිදු පෙන්සයක් උපයා නැත. සිදු වූ එකම දේනම් මට පන මෙන් ආදරය කළ KM මගෙන් දුරස් වීමයි. නමුත් KM මට සැම දිනයකම උදේ සහ රෑ email ඒවා තිබුණාය. මා email බලන්නට ඉඩ ලැබුණු පසු ඇයගේ email සියල්ලට උත්තර යවා මගේ දින ගෙවුණු සැටි විස්තර කර යැවිය. සමහර විට ඈ පවසා තිබ්බේ මා සමඟ ගෙවූ අතීතය නිතර මතක් වන බවයි. ඇයට පමණක් නොව මටද අනන්තවත් ඇයව මතක් විය. අප දෙදෙනාගේ මුණ ගැසීම, යහළු වීම සිදුවුයේ වෙනස්ම ආකාරයකටය. ඇය වෙනුවෙන් මා කොපමණ බලා සිටියාද. ඒ සියලු බාධක වලින් පසුව මට ඈ ලැබුණුත්, තවමත් ඈ සමඟ ඉන්නට වරම් නැත. ඒ වෙනුවට සිදු වී ඇත්තේ අයගෙන් දුරස් වීමයි. අප සිතා සිටියට වඩා සිය දහස් ගුණයකින් මේ දුරස් බව අපට දනින. සමහර දිනයන් හිදී මා skype යන විට, මා එන තුරු බලා සිට ඇය නින්දට ගිහින්ය. කළ යුත්තේ කුමක්දැයි අපට සිතා ගත නොහැකිය.
මතු සම්බන්දයි.
වෙලාව 2.23am 27.09.2014