23 කොටස.
එදින අයියා GC සමඟ chat කිරීමෙන් අනතුරුව GC සහ මා අතර පැවති මිත්‍රත්වය වෙනස් විය. ඈ මට දැන් සලකන්නේ යහළුවෙකු විදිහට නොව. ඊට වඩා බෙහෙවින් වෙනස් ආකාරයකටයි. ඇයගේ කතා බහද වෙනස් විය. පෙර දිනයන් හි අපි කථා කලේ සින්දු, film වගේ සාමාන්‍ය දේවල් ගැනය. නමුත් දැන් ඈ කථා කරන්නේ ආදරය සම්බන්ධ දේවල් ගැනය. ඇයට ආදරය උවමනා වුවත් මට ආදරය උවමනා නැත. හැකි සෑම අයුරකින්ම GC ආදරය පැත්තට යාම වැලක්වීමට මම උත්සහ කළෙමි. මම සෑම විටම ඇයට පැවසුවේ KM ගැනය. GC පැවසුවේ ඇය මට කැමති මා අවංක බැවැනි. වෙන කෙනෙක් නම් KM ගැන නොපවසා ඇය සමඟ යහළු වෙයි. නමුත් මා නිතර පවසන්නේ KM ගැනයි.මම KM ට කරනවා වැනි ආදරයකට ඇය කැමති බව ඈ නිතර පැවසුවාය. නමුත් මට තවත් ආදරයක් උවමනා නැත. මම KM සමඟ කථා නොකර සිටින්නේ KM අම්මගේ Operation එකට නොගිය නිසාය. අම්මා නිතරම කිව්වේ මෙහෙම හදිස්සියක් උනාම එන්න බැරිනම් KM බැන්දාට පසු මට හදිස්සියක් වුවහොත් KM මා ගැනද බලන එකක් නැහැ කියාය. තවද අම්මා කිවේ KM මට ඇත්තටම ආදරෙයි නම් KM ඇයගේ අම්මාට වඩා මගේ අම්මාට ආදරය විය යුතුයි කියාය. තවද මා UK පැමිණියාට පසු සිදුවූ එක එක දෑ ගැන KM ගේ වැරදි ගෙනහැර පෑවාය. තවමත් මා KM සමඟ කතා නොකරන්නේ අපේ ගෙදර අය නිසාය. නැතුව ඇයට ආදරය නොමැති කමින් නොවෙයි. මට තවමත් නිතරම මතක් වන්නේ ඇයයි. මේ අතර KM මට email එකක් ඒවා තිබුනේ ගෙදරින් අයට විවහා යෝජනා ගෙනෙන බවයි. එවිට මා කල්පනාවකට වැටුනෙමි. KM මට ආදරේ බව සැබෑය, මමද KMට මහත් සේ ආදරය කරමි. මේ මොහොතේ පවා මා සිතන්නේ KM ගැනය. නමුත් අපේ පවුල් පසුබිම වෙනස්ය.
මේ යන විදිහට KMට මා සමඟ විවහා වී අපේ ගෙදර පැමිණිය නොහැක. අපේ ගෙදර අයගේ මානසිකත්වය අනෙක් මිනිසුන්ට වඩා වෙනස්ය. අම්මා මට තේරෙන වයසේ සිටම සිටියේ තනියමය. ඇයගේ තනියට සිටියේ මා පමණි. ඇයට අවශ්‍ය මොහොතේ KM ළඟ නොසිටි නිසා ඇයට දැන් KMව රුස්සන්නේ නැත. මට මොන දේ කිවවත් මම A/L කරන තුරුම මට වියදම් කළේ අයියාය. දැනටත් වියදම් කරන්නේ ඔහුයි. මේ පාවිච්චි කරන laptop එක පවා ගත්තේ ඔහු ඉපැයූ මුදල් වලිනි. මා මට අවශ්‍ය කරන සියලු දේ ගත්තේ ඔහුගේ සල්ලි වලිනි, මන්ද මගේ උවමනා එපා කම් බැලීමට මගේ පියා ළඟ සිටියේ නැත. උසාවියේදී පියා පවසා ඇත්තේ මට වෙනම මුදලක් වෙන් කර ඇති බවයි. නමුත් එක නීතිඥයෙක් මගේ පියාගෙන් මගේ උපන් දිනය අසා ඇත. නමුත් ඔහුට එය මතක නැත. තාත්තා නැති දිනයේ පටන් හයියට හිටියේ අයියා පමණි. දිනක් මා කුඩා කළ අප කොළඹ නිවසේ සිටිනා දවස් වල මහ වැස්සක් ඇවිත් ගෙයි ඇතුලට හිරිකඩ එන නිසා මා තෙමෙනවයි කියා බිත්තියේ ඉනිමං තබා හිරිකඩ එන තැන වලට ඉටිකොළ ගැසුවා හීනෙන් වගේ මට තවමත් මතකය. ඒ නිසා මම ඔහුට ණයගැතිය. එමෙන්ම KMමට බොහෝ සේ ආදරය කළාය. ඇත්තෙන්ම ඈ මා වෙනුවෙන් නොකළ දෙයක් නැත. ඇය මා වෙනුවෙන් කළ දේට වඩා ඇයට කළ හැකි දේ බොහෝය. එය මම අදටත් දනිමි. නමුත් අපේ ගෙදර වාතාවරණය මෙසේ වී ඇති බව දැන දැනම ඇයව අපගේ ගෙදරට ගත නොහැකිය. එසේ කළහොත් සිදුවනුයේ ඇයට තව දුරටත් විදවිමටය. එනිසා ඈ වෙනුවෙන් කළ හැකි හොඳම දේ නම් ඇගේ අනාගතය වෙනුවෙන් මගේ ආදරය කැප කිරීමය. මා සමඟ පැමිණ ඇය මෙසේ වින්දවිය යුතු නැත.
මා KM සමඟ කතා නොකරන බව KM ගෙදරට පවසා ඇත. එනිසා මේ වන විට ඇයට ගෙදරින් විවහා යෝජනා 4ක් ගෙනවිත් තිබිණ. ඇය ඒ පිළිබඳව කියා මට email පණිවිඩයක් ඒවා තිබිණ. එකක් නුවර කඩ හිමි තරුණ මුදලාලි කෙනෙකි. අනෙක් කෙනා නීතිඥයෙකි. තව කෙනෙක් වාහන සේල් කාරයෙකි. අනෙක් කෙනා software ඉංජිනේරුවෙකි. වාහන සේල් කරන කෙනා බඳින්නේනම් විවාහයෙන් පසුව ජපන් යා හැකිය. KM බැලීමට මේ සියලු දෙනාගේ නිවෙස් වලින් පැමිණ ඇත. ඒ පැමිණි සියලු දෙනාම KM ට කැමතිය. දැන් අඩුව ඇත්තේ KM ගේ තීරණය පමණි. මේ යෝජනා සමඟ බලද්දී මම කවුද. තවම Degree එකක් නැත, රැකියාවක් නැත. මා සමඟ ආවොත් ඇයට සිදුවන්නේ දුක් වින්දිමටය. මෙනිසා මා තීරණය කළේ ඇයට යහපත් විවාහයක් කරගන්නට දී මා තනි වීමය. එනිසා මම ඇයට මාගේ අවසන් email පණිවිඩය යැවිය. මා පැවසුවේ මාත් එක්ක ඇවිත් අපේ ගෙදර මිනිස්සුන්ගේ ක්‍රියාවන් නිසා විඳවනවාට වඩා පැමිණ ඇති විවාහයකට කැමති වී අනාගතයේ සතුටින් සිටින්න කියාය. මා එය ලිවේ හිතට එකඟව නොවේ. නමුත් මා ඇයට ආදරෙයි කියා, දැන දැනම ඇයව කරදරේ දැමිය නොහැක. අපේ ගෙදර මිනිසුන් KM හට සැනසීමෙන් ඉන්න නොදෙනු ඇත. අපේ අයියා ජිවත් වන්නේ හීන ලෝකයකය. එනිසා KM හට සිදුවන්නේ විඳවීමටය. නමුත් කළ යුතු හොඳම දේ නම් KM ගේ අනාගතේ ඇයට සතුටින් සිටිය හැකි වන සේ මා තනිවීම පමණි. මා අමාරුවෙන් නමුත් ඒ තීරණය ගත්තෙමි. ඉන් පසු ඇයගෙන් email පණිවිඩ කිහිපයක් ආවත් මම ඒවා කියෙව්වේ නැත. ඒ මාගේ හිත වෙනස් වෙවියයි සිතාය.
ඉන් පසු ටික දවසක් ගෙවින. එළැඹි සිකුරාදා දිනක මා වැඩ නිම කලේ මදක් ප්‍රමාද විය. සිකුරාදා, සෙනසුරාදා රෑ යනු මෙහි ඇති කාර්යබහුලම දින දෙකයි. මන්ද මෙහෙ උදවිය club යන්නේ එදාය. ඒ සිකුරාදා මා ගෙදර යන විට 11.30 පමණ වී තිබිණ. රෑ නිදාගන්න විට 12.30ත් පසු විය. නමුත් උදැසන 2ට පමණ අක්කා මට ඇහැරවිය. මා ඇහැරවා ඇය කිවේ අයියට අමාරු වී හදිසි ගිලන් ඒකකයෙන් ගිලන්රථයක් ගෙන්වා ගත් බවයි. මා පහලට යන විට අයියා වේදනාවෙන් ඇඹරෙමින් සිටියේය. සිදුවන්නේ කුමක්දැයි කියා කවුරුත් දන්නේ නැත. ටිකකින් අප සියලු දෙන අයියාව hospital ගෙන ගියෙමු. එහිදී දැනගන්නට ලැබුනේ අයියගේ වකුගඩුවේ ගල් දෙකක් ඇති බවයි. එය දැනගන්නා තුරු අපිට පැය ගණනක් හිඳීමට සිදුවිය. මගේද වකුගඩුවේ ගලක් තිබිණ. එනිසා එහි වේදනාව මම හොඳින් දනිමි. මට දොස්තර පවසා තිබුනේ නිතර වතුර බොන්න කියාය. මම සැරින් සැරේ වතුර බොද්දි අයියා ඇසුවේ ලෙඩක්ද ඔච්චර වතුර බොන්නෙ? කඩේ වතුර බෝතල් ටික ඉවර වෙනවා කියාය. මම වකුගඩුවේ ගලක් තිබු බව ඔහු පැවසුවේ "පිස්සු" කියාය. දැන් ඔහුට එහි රඟේ තේරෙනවා ඇතිය. කර්මය පස්සෙන් එනවා කියන්නේ ඕකටය. මගේ වකුගඩුවේ ගලක් තිබුනා කිව්වම ඔහුට එය පිස්සුවක් විය. නමුත් දැන් නිවී සැනසිල්ලේ ඔහුට ඒ "පිස්සුව" විඳගත හැක. කෙසේ හෝ එදින කඩේ අරින වෙලාව වන තුරුම මා සිටියේ hospital එකේය. අක්කා, එනම් අයියාගේ බිරිඳට වඩා එහෙ මෙහෙ ගොසින් hospital එක තුල වැඩ ටික කරගත්තේ මමයි. අනතුරුව අයියා කිවේ දැන් කඩයට යන්න කියාය. එනිසා මන් taxi එකකින් ගෙදර ඇවිත් ලෑස්ති වී කඩයට ගියෙමි. එදින මා නිදාගත්තේ පැය දෙකකි, උදයට කෑවේද නැත. කොණ්ඩය පිරන්නටවත් වෙලාවක් තිබ්බේ නැත. මම සිටියේ කොණ්ඩය කඩාගෙනය. පෙර දිනයේ වැඩ කල මහන්සියටත්, අඩු නින්දත් නිසා සැරින් සැරේ නින්ද ගිහින් වැටෙන්නට විය. මා සැරින් සැරේ redbull බිබී හිස කෙලින් තබාගන්නට හැදුවත් එය සිතන තරම් පහසු නොවිය.
එදින් උදැසන GC මට messages 30කට වඩා එවා තිබිණ. මට ඒවාට reply කිරීමට වෙලා තිබුනේ නැත. එනිසා ඇයගේ කෑම වෙලාවේදී ඇයට reply කලෙමි. සිදදුවු සියල්ල මම ඇයට පැවසුවෙමි. එවිට ඈ සියල්ල දමා මා බලන්න එන්නට සැරසින. නමුත් මා කිවේ වැඩ පාඩු කරගෙන එන්න එපා කියාය.
නමුත් ඈ දිගටම කීවේ එන්නම් කියාය. මා දිගටම කීවේ එන්න එපා කියාය. ටික වෙලාවකින් ඇයගෙන් සද්දයක් නැති විය. එම නිසා මම කඩය අස් කරන්නට ගියෙමි. ටික වෙලාවක් යන විට මට කෑමද රැගෙන GC කඩයට ආවාය. ඈ මා දුටු විට මා ලඟට පැමිණ මාගේ මුහුණ අතගාන්නට විය. එදින මා රැවුලවත් කපා තිබුනේ නැත. මා සිටියේද අමාරුවෙනි. ඇය මගෙන් ඇසුවේ අමාරුද, බඩගිනිද කියාය. ඉන් පසු ඈ මගේ දිගට තිබෙන කොණ්ඩය අතගාන්නට විය. කෙමෙන් කෙමෙන් ඇය මගේ බෙල්ල වටේ අත යවා මා ඈ ළඟට ඇද ගත් ඈ මා සිප ගත්තාය. මේ සිදු වන්නේ කුමක් දැයි මට එක වර තේරුම් ගියේ නැත. මට මතක් වුනේ KM ය. ඇය මා සිපගත් හැටි මතක් විය. නමුත් මේ සිටින්නේ KM නොවේ. එවිට මා GC ව මගෙන් ඉවතට කළෙමි. අනතුරුව මා කිවේ නැවත එසේ කරන්නට එපා මා එයට කැමති නැති බවයි. ඉන් පසු ඈ දිගින් දිගටම සමාව ගත්තාය. ඇය කිවේ මා අමාරුවෙන් සිටින අයුරු දුටු විට ඇයට දුක සිතුනු බවත් එනිසා සිප ගන්නට සිතුනු බවත්ය. කෙසේ වෙතත් සිදුවූ දේ සිදුවී අවසානය. මා KM හැරෙන්නට වෙනකෙනෙක් සිප ගන්නට සිහිනෙන් වත් සිතා නැත. මට මා ගැන ඇත්තේ මහත් කළකිරීමකි. මහත් පසු තැවිමකි. මම තවමත් KM ට ආදරය කරමි. මට KM හැරෙන්නට තවත් කෙනෙක් උවමනා නැත. මට තවත් කෙනෙක් සමඟ ඉන්නටද නොහැක. මට සෑම විටම මතක් වන්නේ KMය. KM හැරෙන්නට තව කෙනෙක්ට සිතට එකඟව ආදරය කිරීමට මට නොහැකිය.
මතු සම්බන්දයි.