කැකුලු තනේ දුටුදා සිට බැදුනු සෙනේ
මකුලුවනේ තොපිවත් සිලිදු දැල් ගෙනේ
බමරිදුනේ තොපිවත් රොනට ගිය තැනේ
මුගුණමලේ සුවදයි මට කැකුලු තනේ
පැරණි සිංහල ජනකවි අතර ඉතා රසවත් අංගයක් වූයේ රති කවි ය. හැඩරුව ඇති කාන්තාවක් දකින තරුණයෙකුගේ සිතෙහි ඇති වන හෘංගාරාත්මක හැගීම් , ආශාවන් ඔවුහු කවි වලින් ප්රකාශ කර ඇත. මෑත යුගයේ එක එල්ලේ කාමුක වදන් යොදා ගොතා ඇති රති කවි වලට වඩා පැරැන්නන්ගේ කවි ආශ්වාදජනකය. ඒවායේ පදමාලා වින්දනීයයය.
බොහෝ විට රති කවි පවසා තිබෙන්නේ විවිධ හේතු මත තම සිත ඇදී ගිය අය වෙතය. මේවා වරෙක පිරිමින් විසින් කාන්තාවනටද, තවත් විටෙක කාන්තාවන් විසින් පිරිමිනටද පවසා ඇත. කාන්තාවක් බොහෝ විට රති කවියකින් ලංවීමට උත්සාහ දරා ඇත්තේ විශේෂ දස්කමක් හෝ සුන්දරත්වයක් පෙන්නුම් කළ පිරිමින් වෙතය. කාන්තාවගේ අගපසග වර්ණනා කරමින් තරුණයෙකු සතුටු වූ කවියකි මේ.
කලවා යුග කෙන්ඩ පිටි පතුලද එල ලු
නලවා තන හංස පැටියන් ලමැද සි ලු
නලවා දෙබැම දේදුනු වන ලෙසට ද ලු
නලවාපන් ළදේ සොලවාපන් වළ ලු
එමෙන්ම සල්ලාල සිතින් ම තරුණියන් ඇමතූ පිරිමින්ගේ රති සීපද ද, ඒවාට තරුණියන් දුන් පිළිතුරු කවි ද පැරණි පොත පත තුළ දැකිය හැක. දිනක් තරුණ සුරූපී ළදක් තනිවම යනු දුටු තරුණයෙකුට ඇ හා තනිවන්නට ආසාවක් ඇතිවිය. ඔහු මෙසේ කියා ඇත.
අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසා ගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියෙකු නැති ගමන් තනි මග කිම්ද නගෝ
අම්බලමේ නැවතී අපි යම් ද නගෝ
අද මෙන් ප්රවාහන පහසුකම් නොමැති ඈත යුගයේ ගමින් ගමට ය අතර මග අම්බලම් තිබුනු බවත්, ඒවාගේ තරුණියන් වෙහෙස නිවනු දකින්නට ඒ අවට සළෙලුන් ගැවසුනු බවත් මින් ඇගවෙයි. පාලු අම්බලමක් අසල සිටි සළෙලු තරුණයාගේ කෝපය අවුස්සන්නේ නැතිව ඇය ඉතා බුද්ධිමත් ලෙස මෙසේ පිළිතුරු කීවාය.
අල්ලා ගෙන නෙරිය මඩ තැවරෙන සන්දා
වසා ගෙන දෙතන බිළිදුගෙ කිරි හන්දා
බාල මස්සිනා පස්සෙන් එන හන්දා
යන්නම් අය්යන්ඩි ගම රට දුර හන්දා
බුකියෙන් ඉස්සුවේ



