Adobe සමාගමේ වසර 25ක ගැටළුවට විසඳුම් සෙවූ ශ්‍රී ලාංකිකයා
ලෝ ප‍්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක් වන Photoshop මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකිව තිබූ ගැටලූවක් විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත‍්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artifical Intelligence Laboratory (CSAIL) පර්යේෂකයකු සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ ඔහු ශ‍්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්.
Photoshop වැනි රූප සංස්‌කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප‍්‍රධාන පෙළේ ගැටලූවක් වන්නේ කාලයත් සමග ඒවායේ කේතමය උපදෙස් කෙමෙන් ‘‘වියෑකී’’ යැමයි. (Bit Rot) සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය ඡුයදඑදියදච වැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක් ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප‍්‍රශස්‌තකරණය (Optimize) කිරීමට සිදු වීමයි. කේතමය උපදෙස් වියෑකීම නිසා කාලයත් සමග මේවායේ කාර්යක්‍ෂමතාව පහළ බසී. ඒ නිසා Adobe වැනි සමාගම් සෑම වසර කිහිපයකට වතාවක්‌ම පරිගණක විශේෂඥයන් සිය ගණනක් යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි. මෙය මාස ගණනාවක් හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක් වැය වන ක‍්‍රියාවලියකි.
මේ ගැටලූව විසඳා ගැනීම සඳහා උපක‍්‍රමයක් සෙවීම පිණිස Adobe සමාගම පසුගිය වර්ෂයේදී MIT සරසවිය හා අත්වැල් බැඳගත් අතර ඒ යටතේ පර්යේෂණ සිදු කළ CSAIL හි පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු වන වරිත් මෙන්ඩිස් ලෝකයේ කිසිවකු එතෙක් විසඳා නොතිබූ එම අභියෝගය ජයගන්නට සමත්වී තිබේ. Helium නමින් හඳුන්වා ඇති මේ ව්‍යාපෘතියේ නියමුවා වූයේද චරිත් මෙන්ඩිස් ය.








