මේ මොහොතේ රජය විසින් රටට එරෙහි ව කරන සියළු විනාශයන්ට එරෙහි ව නැගී සිටින යම් වෘත්තීය සංගමයක් හෝ සංවිධානයක් වේනම් ඒ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය බව අවිවාදිත ය. ඔවුන් තම සාමාජිකත්වයේ අයිතිවාසිකම් වපසරියෙන් එහා ගොස් වත්මන් රජයේ විනාශකාරී නවලිබරල් ප්‍රතිසංස්කරණවලට එරෙහි ව මෙන් ම ඉන්දියානු ව්‍යාප්තවාදයේ බළල් අතක් ලෙස එන සීපා ගිවිසුමට ද එරෙහි ව හුදකලා සටනක් කරමින් සිටිනු දැකිය හැකි ය. මෙය බෙහෙවින් අගය කළ යුත්තකි. මේ අතර, පසුගිය මැතිවරණවල දී මහින්දට එරෙහි ව දිනපතා පාගමන් ගිය හා ලිප්ටන් වට රවුමට රැස් වූ අන් සියළු වෘත්තීය සංගම්, ඔවුන්ට රජය විසින් දුන් තනතුරක් දෙකක් නිසා දීර්ඝ නිද්‍රාවකට යවා තිබෙන බව ඉතා පැහැදිළි ය. විශේෂයෙන් ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මෙන්ම නීතිඥවරුන්ගේ සංගමය ද මෙම නිද්‍රාව තුළට ස්වේච්ඡාවෙන් ම වැටී සිටින බව නොකියාම බැරි ය.