මම මේ වෘත්තියෙන් දිනා ගෙන ඇත්තේ මුදල් වලට වඩා මිනිසුන් බව මාගේ ළග ම මිතුරෝ දනිති. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ සිට සිනමා තාරකාවන් දක්වාත්, සංගීත ශිල්පීන් ගේ සිට විශේෂඥ වෛද්‍යවරුන්,මහාචාර්යවරුන් දක්වාත් රෝගීහු මාගේ සේවාලාභීහු වී සිටිති. එවන් අයගෙන් සුවිශේෂි ම මිනිසා සුනිල් අයියා බව මම සිතමි. ඒ මා යෞවන පත්තරකාරයෙක්ව සිටිය දී අපට පත්තර රස්සාවේ උණ බෝවූයේ ඔහු ගෙන් බැවිනි.
වසර ගනනකට පසුව සුනිල් අයියා නන්ජිත පුතා ද රැගෙන පුතා ගේ යම් දන්ත ප්‍රතිකාරයකට මා හමුවීමට පැමිණියේ දැනට වසර 13කට පමණ පෙරය. ඒ වන විට සුනිල් අයියා සුපුරුදු පරිදි මධුවිතට පෙම් බදින අයෙකි. පුතා ගේ වයස අවුරුදු 5ක් පමණ වන්නට ඇත. වසර ගනනකින් සුනිල් අයියා දුටු මාගේ පපුව හෝස් ගා ඇවිළිණි. ඔහු එපමණට ම දිරාපත්ව සිටියේ ය.
“සුනිල් අයියා තාම බොනවාද?“ මම ඇසූ විට ඔහු
“දන්නෙ නැද්ද මචං ඉතිං“ යයි පැවසීය.
“සුනිල් අයියේ මේ පොඩි එකාට තාත්තෙක් ඕන නේද““ යයි මම ඔහුගෙන් ඇසුවෙමි. ඔහුට ඒ වදන අතිශය දරුණු ලෙස වැදුණු බව ඔහු ගේ දෑස මට නිහඩ ම කීවේය. සුනිල් අයියා මධුවිත සමග කළ ගණුදෙණුව නිමාවූයේ මගේ ඒ වදනිනි. ඔහු ඒ ගැන ඔහු ගේ සත්යවාදියෙකු ගේ දිනපොතෙහි ද සටහනක් තබා තිබුණේය.
පත්තරකාරයෙක් වන මගේ පියා සුනිල් අයියාට වඩා වැඩිමල්ය. නමුත් ඔහු සුනිල් අයියාට අමතන්නේ සුනිල් අයියා කියා ය. මා ඔහුට වඩා වසර 18ක් පමණ බාලය. නමුත් මා ද ඔහු අමතන්නේ සුනිල් අයියා කියාය. සුනිල් අයියා අප දෙදෙනාම අමතන්නේ මචං කියාය. ඒ පත්තරකාරයන් ගේ හැටිය.
සුනිල් අයියා බොහෝ අසනීප ව ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබා පැමිණි පසු මනෝරා අක්කාත් සමග සායනයට පැමිණියේ මේ වසරේ මුල දීය. අයියා ගේ කටෛ් දත් බේරා ගත නොහැකි ලෙස දිරාපත් වී සහ ඇදී තිබුණි. ඒවා ගලවනවා හැර වෙන විකල්පයක් තිබුණේ නැත. ජේ.ආර්. ගේ, ප්‍රේමදාස ගේ මැරයන්ට කළ නොහැකි වූ දේ අවසන දී මම කලෙමි.
දත් වලින් හිස් වූ සුනිල් අයියා ගේ අර සුපුරුදු සිනාව අතුරුදන්ව තිබිණි. ඔහු ගේ මුහුණ දකිද්දී මට මහත් වේදනාවක් උපදී. ඔහු ගේ දත් නැවත පිහිටුවිය යුතු යයි තීරණය කර, ඒ සදහා අවැසි දේ සිදු කළෙමි. ඔහු ගේ පෙර කල ගත් ඡායාරූප ඇසුරින් මගේ තාක්ෂණවෙදියා ද සමග මම ඔහු ගේ කලින් තිබූ ආකාරයට ම පෙනෙන පරිදි නැවත දත් සකස් කලෙමි. ඒ සදහා වන ට්‍රෑල් ඩෙන්චර් එක දැමු දවසේ ඔහු ගේ සුපුරුදු සිනාව නැවත දැක මට ඉකි බිදිණි.
සුනිල් අයියා සිය ජිවන කතාව ලියා එළි දක්වන දිනයට ආරාධනාවක් ලද මුත්, වෘත්තීමය අවීවේකය එයට මට ඉඩ ලබා නොදුනි.
අද, මනෝරා අක්කාත්, සුනිල් අයියාත් සායනට වෙත පැමිණියහ. ඒ මා වෙනුවෙන් වෙන්කර තිබූ ඔහු ගේ නොනිමි ජීවිත කතාව පොතේ පිටපත මට දෙනු පිණිසය. පොතට ලියා තිබූ පෙරවදනේ ඔහු මා ගැන මෙසේ ලියා තිබෙනු දුටු මට හැඩිණි.
කෙදිනකවත් මුදලට මේ සටහන දිනා ගන්නට බැරි බව මම දනිමි. විශේෂයෙන් ම සුනිල් අයියා වැන්නෙකු ගෙන නම් කොහොමවත් බැරි බව දනිමි.
පොත කියවා ගෙන යද්දී මට කලකිරීමක් මා ගැන ම ඇති විය. ඒ මා පත්තර රස්සාව පසෙක තබා මේ වෘත්තිය තෝරා ගැනීම පීලිබද වය. තාමත් මට හොදින් ලියන්නට හැක්කේ සුනිල් අයියලා අප තුළ අවුළුවා ලු ගින්න නිසාය. පත්තරකාරයෝ බහුතරයක් මගේ ජීවිතයට සම්බන්ධය. මට පළමුවතාවට චෙස් අදින්නට කියා දුන්නේ පොඩි අතුල-වික්ටර් අයිවන් ය. කවි ගැන, රසඥතාවය ගැන මතාවාද හැදුවේ ඩලස් ය. ඩලස් ගේත් ප්‍රදීපා අක්කාගේත් ඒ කාලයේ තිබූ ප්‍රේමය අප සිත් කුළුගන්වන්නක් විය. හවසට දෙදෙනා එක්ව අපත් සමග තෝසේ කඩයට වැද බඩ පුරා තෝසේ-වඩේ ගිල දමා ප්ලේන්ටියක් ද ගසා එළියට එන සුන්දර අතීතය මට සිහිවේ. දේශපාලන මතවාද ගැන කෙස් පැලෙන තර්ක වලින් නිමක් නොවුනේ විමලසිරි ගම්ලත් සෙට් වූ විටය. (විමල් වීරවංශ කියනවාට වඩා මම තාමත් ඔහුට විමලසිරි ගම්ලත් කියන්නට කැමැත්තෙමි)
තවමත් මම පත්තර රස්සාවට ආදරය කරමි. පත්තරකාරයෙක් සේ මධුවිතට ද, දුම්වැටියට ද බැදි පෙම තවමත් එසේ මය.