ප්‍රේමකීර්ති_ද_අල්විස්‌

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රේමකීර්ති_ද_අල්විස්‌

    වෙඩි හඬින් නිහඬ කළ කට හඬක සාඩම්බරය!
    ප්‍රේමකීර්ති ද අල්විස්‌


    මෙම ලිපිය පළවන්නේ ප්‍රේමකීර්ති ඝාතනය කොට
    වසර 22 ක්‌ පිරීම නිමිත්තෙනි. (2011)

    premakee.jpg
    "ලොවින් එකෙක්‌ එක්‌ දෙයකට වෙයි සමත" යන පැරැණි සිංහල කියමන සනාථ කරන නිර්මාණ ශිල්පීන් දෙදෙනකු මෑත ඉතිහාසයේ අපට හමුවෙයි. ඒ විශිෂ්ට කලාකරුවන් දෙදෙනා මහගමසේකර සහ සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්‌ නම් වෙති. 60 දශකයේ අග භාගයේ කලඑළි බසින ප්‍රේමකීර්ති චරිතය, නූතන FM මාල ගිරවුන්ට සහ ගිරවියන්ට සේම, විවිධ විද්යුත් නාලිකා ඔස්‌සේ එක්‌ රැයෙකින් දැල්වී, නිවී යන කෝකිල කෝකිලාවන්ට ගැඹුරින් අධ්‍යයනය කර චරිතායනය කරගැනීමෙන් හරවත් පෞරුෂයක්‌ හා සාර්ථක අනාගතයක්‌ උරුම කරගත හැකි චරිතයකි. මරා දමා 22 වසරක්‌ ගතවීත් මෙතෙක්‌ කිසිදු ශාස්‌ත්‍රීය අධ්‍යයනයකට හසු නොවූ මෙම කුඩා මිනිසාගේ උත්තුංග නිර්මාණ මෙහෙවර පිළිබඳ යමක්‌ සටහන් කිරීම ඔහු සජීවීව දුටු පළමු පරපුරේ පුරවැසියකු සතු වගකීමක්‌ ලෙස මම සලකමි.

    1947 ජුනි මස 02 වැනි දින කොළඹදී මෙලොව එළිය දුටු ප්‍රේමකීර්ති කුඩා අවධිය ගත කළේ මරදාන දුම්රිය නිවාසයකය. ඒ ඔහුගේ පියා දුම්රිය සේවකයකු වූ බැවිනි. පියාට අවශ්‍ය වූයේ ප්‍රේමකීර්ති දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයකු කිරීමටය. මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් මරදාන ආනන්ද විද්‍යාලයට පිවිසි ප්‍රේමකීර්තිගේ ප්‍රතිභා ප්‍රභාව දැල්වෙන්නේ ආනන්දයෙනි. 1961 දී තම ළමා වැඩසටහනකදී "කරු අයියා" විසින් මොහු හඳුනා ගන්නා ලදී. පසුව මෙම අපූරු තරුණයා ගුවන්විදුලි ළමා වැඩසටහන්වල පිටපත් කියවන්නකු ලෙස යොදාගනු ලබන්නේ ඉසිවර නුවණින් ඔහුගේ දක්‍ෂතා හඳුනා ගනිමිනි. ප්‍රේමකීර්ති 1966 දී තම පියාගේ මඟපෙන්වීම අනුව "දවස" පුවත්පත් ආයතනයේ සිනමා ප්‍රකාශනය වූ "විසිතුර" පුවත්පතට එක්‌වූයේය.

    1967 දෙසැම්බර් 17 වැනි දින සහාය නිවේදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණු ප්‍රේමකීර්ති, 1971 ජුනි 01 වැනි දින නිවේදකයකු ලෙස තනතුරෙහි ස්‌ථිර කරන ලදී. ඔහු 1989 ජුලි 31 වැනි දින සාහසික ලෙස ඝාතනය කරන ලද්දේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස ගුවන් විදුලියේ සේවය කරමින් සිටියදීය.

    ප්‍රේමකීර්ති ඉතා සරල දිවි පෙවෙතක්‌ ගත කළ කුඩා නිරහංකාර මිනිසකු වූ බව ඔහු ඇසුරු කළ සියල්ලන්ම හොඳින් දන්නා කරුණකි. අතට හසුවන ඕනෑම දෙයකින් කුසගිනි පුරවාගන්නා ඔහු පොදු ජලනළයෙන් දෝතට දිය ගෙන බීවේය. පෙට්‌ටි කඩයෙන් වඩේ එකක්‌ හා ප්ලේන්ටියක්‌ බී බීඩියක්‌ දල්වා ගැනීම ඔහුට සාමාන්‍ය කටයුත්තකි. ගමට ගියවිට නියරෙන් බැස ඇළෙන් මුහුණ සෝදා එයින්ම දිය දෝතක්‌ බීම ඔහුගේ පුරුද්දයි. සතියක දීර්ඝ සංචාරයකට ඔහුට අවශ්‍ය වන්නේ ඇඳුම් දෙකකි. රබර් සෙරෙප්පු දෙක ඔහුට හොඳටම සෑහේ. පයින් යැම, කඩපිල්වල ගැමියන් හා දරුවන් සමග කාලය ගත කිරීම ඔහුගේ විනෝදාංශයයි. ඔහු මහත් අභිරුචියෙන් පානය කළේ රටේ පුංචිම මිනිසා පානය කළ මත්පැන් වර්ගයයි. ඔහු තම ජීවිතයේ අවසන් මාස කිහිපය ගත කළේ මාසිකව වැටුපෙන් ගෙවීමට ණයට ගත් තනි කාමරයක්‌ සහිත කුඩා ගෙපැලකයි. එහි වූ කුඩා ගෙවත්තේ වගා කරගත් එළවළු හා පලතුරු ඔහු මහත් අභිරුචියෙන් බිරිඳ සමග උයා පිහාගෙන වැළඳුවේය. තම බිරිඳගේ ආහාර වේල සකස්‌ වූයේ ද මේ කුඩා අහිංසක මිනිසා අතිනි.

    ජීවත් වූ වසර 42 ක්‌ තරම් කෙටි කාලයක්‌ තුළ ගීත එක්‌දහස්‌ හයසියයකට ආසන්න සංඛ්‍යාවක්‌ ලියූ ප්‍රේමකීර්ති තම පළමු ගීය ලෙස "හද පුද අසුනේ සෙනෙහස මැවුණේ" රචනා කළේ රූපා ඉන්දුමතී හා මල්කාන්ති පීරිස්‌ (නන්දසිරි) වෙනුවෙන් 1969 වසරේදීය. මෙම වසරේම කේ. ඒ. ඩබ්. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ "ලොකුම හිනාව" චිත්‍රපටයට පසුබිම් ගීයක්‌ ලෙස "පරණ කෝට්‌" ගීතය ලියමින් චිත්‍රපට ගීත ක්‍ෂේත්‍රයට පිවිසි ප්‍රේමකීර්ති චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක පසුබිම් ගීත රචනා කළේය.

    ප්‍රේමකීර්ති ලාංකික සාම්ප්‍රදායික සංස්‌කෘතික හා ජනප්‍රිය සංස්‌කෘතිය යා කළ පාලමක්‌ වැන්න. ඔහු තම නිර්මාණ තුළින් කිසිවිටෙක සම්ප්‍රදාය හෑල්ලු කළේ වත්, අවමානයට පත් කළේ වත් නැත. ඊට හොඳම සාධකය වන්නේ ප්‍රෙඩී සිල්වා චරිතයයි. එවකට ප්‍රෙඩී සිල්වා ජනප්‍රිය වුවත්, සමාජය ඔහු පිළිගැනීමකට ලක්‌ කළේ නැත. පරණ කෝට්‌ ගීතයත් සමග ජනප්‍රිය වූ ප්‍රෙඩී ශීඝ්‍ර ගමනකට මුල පිරුවේ සිනමා නළුවකු ද වෙමිනි. ඒ පසුපස සිටි දැවැන්ත චරිතය ප්‍රේමකීර්ති බව දන්නේ අතළොස්‌සකි. ප්‍රෙඩී ගායනා කළ, "අලුත් කලාවක්‌", "ආරොන් මාමා", "පාන්කිරිත්තා", "නෑදෑයෝ", "හඳමාමා", "කැකිල්ලේ ර-ජුරුවෝ", "කුණ්‌ඩුමනී", "තේ කූඩය පිටේ බැඳන්" හා මුලින් සඳහන් කළ "පරණ කෝට්‌" ආදී ගීතවල නිර්මාණ හිමිකරුවා ප්‍රේමකීර්ති බව දන්නෝ කවරහුද? වරක්‌ මෙම උපහාස ගීත පිළිබඳ සඳහන් කරමින් ප්‍රේමකීර්ති කීවේ, "ලංකාවේ අපට අපේම කියා උපහාස සාහිත්‍යයක්‌ ඇති බවයි." ඔහු ඊට දුන් උදාහරණය වූයේ, අන්දරේ, කුංකුණාවේ හාමුදුරුවෝ සහ යක්‌කඩුවේ ප්‍රඥරාම හිමි යන චරිතය. කොළඹ යුගයේ කවියන් කිහිප දෙනකුගේ නම් ද ඔහු කීවේය. ඒ අනුව, සම්භාව්‍ය උපහාස ගීයේ නිර්මාතෘවරයා වන්නේ ද ප්‍රේමකීර්ති බව මගේ විශ්වාසයයි.

    ප්‍රේමකීර්ති හැමවිටම දරුවන් සමග සිටීම ප්‍රිය කළ අහිංසකයෙකි. රූපවාහිනියේ "ශනිදා සාදය" හා "අඳුන" තුළින් ද ඔහු ඇමතුවේ බොහෝවිට දරුවන්ටය. සාරධර්ම හා ළමා මනස සංවර්ධනය උදෙසා ඔහු නොමසුරුව ගුවන් කාලය වෙන් කළේය. "කියන්න සුළඟේ ඔබ කොයි සිට දෝ එන්නේ", "පුංචි පන්තිවල", "රූම් පෙත්ත කැරකෙනවා", සුරංගීට දුක හිතුනා", "සමනළයා මල හා ළමයා", "මා එක්‌කලා අමනාපව වී දබර" වැනි ගීත ද, ටයිටස්‌ තොටවත්තයන් හඬගැන්වූ "දොස්‌තර හොඳහිත" වෙනුවෙන් රචිත "බෑ කියලා බැරිය මලේ" ආදී වූ ගීත සමුච්චිය අද ද දරුවන් අතර ආදරයට පාත්‍ර වී තිබේ.

    ප්‍රේමකීර්ති තරම් පරිසරය හා ගහකොළ සතා සීපාවා පිළිබඳ සංවේදී වූ ගීත රචකයෙක්‌ මට හමුවී නැත. පරිසරයේ අප අවට සිටින ලොකු කුඩා සතුන්ගේත් ගහකොළවලත් සියුම් නිරීක්‍ෂණයක්‌ තුළින් ලත් පරිචයක්‌ ඔහු සතුව පැවැති බව ඔහුගේ ගී නිර්මාණ තුළින් අපට පෙනේ. මීට ඇති හොඳම උදාහරණය නම්, "බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ" ගීතයයි. එසේම, "හැන්දෑ කරේÊඅඹ මල් වට", "කොහෝ කොහෝ කොහේ ඉඳන්", "අඹ දඹ නාරන් කෙසෙල් දෙල්", "සෙවනේ කඹුක්‌ සෙවනේ", "දකුණු ලකේ අග නගරේ", "නුවරවැවේ", "

    උඩරට කඳුකර සිරියා පරදන", "ඇළ දොළ ගංගා යාවි ගලා", "කුරුලු ගමේ කුරුලු ගෙදර කුරුලු කුමාරි", "සුදුපාට මීදුම් ගලාලා", "බැද්දට හඳ පාන වගේ", "තනි තරුවේ", "බොඳ මීදුම් කඳු රැල්ලේ", "මහ මුහුදු විමානේ", "එගොඩහ යන්නෝ" එම ගී අතරින් සමහරෙකි.

    ලංකාවේ උරුමයන් පිළිබඳ ඔහු ලියූ ගීත එක්‌ අතෙකින් දේශාභිමානී ගී ලෙස ද සැලකිය හැකිය. "ඉසුරුමුනියෙහි පැතැලි ගලෙක", "දඹුලු ගලේ", "උඩරට නිළිය හැඩ වගේ", "නිවහල් සිතුවිලි සිතනා" එවැනි ගී කිහිපයකි. දේශීය සාම්ප්‍රදායික ගැමි ආදරය හා නාගරික ආදරය ඔහු දුටුවේ එකසේ මැදහත්වය. නන්දා මාලිනිය ගයන "කප් සුවහස්‌ කල් පෙරුම් පුරාගෙන" ගීතයේ සිට "පෙම්මල් මාලා නෙළා ගොතාලා", "ටිකිරි මැණිකෙ අඹුල ගෙනැල්ලා", "දෑස රිදෙනවා පාර බලා ඉඳලා", "ආදරයක හැඟුමක්‌ මුලදී", "ඔබෙ නිල් නුවන් තලාවේ", "මගේ ළමැඳ සුව යහනක්‌", "මා නෙත් කැදැල්ලේ", කීකිරිඳිය ඇට නූලක අමුණා", සයුර වෙත යන ගඟ පරිද්දෙන්", "පිදුරු සෙවි කළ පැල්පතේ ඇති", "රත්ති අරන් උදැනෙක්‌කේ", "කල්පනා ලොව මල් වනේ", "කෙදින ද කූඩු හදන්නට එන්නේ", "ලොව නිසසල වී නවතින මොහොතේ", "ගී ලියන්න මට කිව්වේ ඔබේ නෙතයි", "මගෙ නාමලී බැඳි ආදරේ"¾ "සිහින සතක්‌ දුටුවෙමි මම", "කුරුල්ලන්ට ගී ගයන්න", "කිරි කවඩි සිනා නොදැක බැදුණ", "ආත්ම ගණනක සිතුවිලි අතරේ", "සැලළිහිණියෝ ඔම දන්නෙ නෑ", "අමරාදේවි", "එන්න මදනලේ ගොස්‌ පවසන්න දුක මගේ", "ප්‍රේම කතාවක චරිත දෙකක්‌ අපි", "මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න නම් බැරි", "කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා", "මග තොට දී හමුවෙද්දී", "ඔබෙ නිල් නුවන් තලාවේ", "පවුරු වළල්ලක්‌ බැඳලා", "ආගන්තුක කුරුල්ලා", "හිරු පායනවා මල් පිබිදෙනවා", "සන්සුන් රුවක්‌ හඳ මන්දිරයේ", "තුට කළ ලෙවන්", "වැල්ලේ කිරි වැල්ලේ" සිට කීර්ති පැස්‌කුවෙල් ගායනා කරන, "කවිකාරියේ සින්දු කියන ළඳේ" දක්‌වා වූ අති දීර්ඝ ප්‍රේම ගීතාවලියක්‌ ඔහු විසින් ලියා තිබේ.

    ප්‍රේමකීර්ති ලියා ඇති බැති ගී ප්‍රමාණය ද ඉතා විශාලය. ඒ අතර, "නිවන් දුටු හිමි රුවන් පිළිරුව", "සමිඳු පාමුල නාමලක්‌ වී", "ගිලෙමි ඔබේ ගුණ මූදේ", "නිවන්පුරට" ආදිය ප්‍රමුඛ වේ. එසේම, "දම්පියාව නෙත් පියාණ", "හිත හීලෑ නෑ හරිම මුරණ්‌ඩුයි", "උඩ මළුවේ" නවමු කෝණයකින් බුදුදහම දෙස බැලීමකි. අම්මා පිළිබඳව අප සියල්ලන්ගේම හදවතේ ඇති ළබැඳි සිතුවම "ආදරයේ උල්පත වූ අම්මා" සහ "දුනුකෙයියා මලක්‌ වගේ" ගීතවලින් වර්ණවත් වී ඇතැයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ. එසේම මාතෘත්වය නොලද විවාහක කාන්තාවකගේ සිතුවිලි ද ඔහු හොඳින් තේරුම්ගත් වග පෙනෙන්නේ, "දරුවෝ ඇති අම්මාලා" ගීතයෙනි. සාම්ප්‍රදායික සිංහල පවුල්වල දරුවන් හා දෙමාපියන් අතර ඇත්තේ දැඩි ආධ්‍යාත්මික බැඳීමකි. එම බැඳීමේ ගැඹුර "පුංචි දවස්‌වල නින්දට යද්දී" ගීතයෙන් අපට පවසන්නේ නෙතඟට කඳුළක්‌ නංවමිනි.

    තරුණ වියේ දරුවන්ගේ නොමේරූ හැඟීම් මැනැවින් තේරුම්ගත් ප්‍රේමකීර්ති, ඔවුන් දෙස බැලුවේ දයාබර පියකු ලෙසයි. "හිතුවක්‌කාරෙට කරගත්තයි කියලා", "ආශාවේ මල් වැටෙන් එබී" මේ සඳහා දැක්‌විය හැකි එක්‌ උදාහරණයකි. සමාජය විසින් කොන් කළ අහිංසක සූදුකරුවා සමාජයේ අවධානයට යොමු කරන්නේ "මිනිසකු පිට නැඟි අසරුවෙකි" ගීයෙනි. ප්‍රේමකිර්තිගේ දේශපාලන චින්තනය හඳුනාගත හැකි නිර්මාණ රාශියක්‌ ද මෙම ගී පදමාලා තුළ අන්තර්ගත ය. ඒවා සියුම් ලෙස විග්‍රහ කරන්නකුට පහසුවෙන් ඔහුගේ සිතුවිලි හා ඒකාත්මික විය හැකිය. ප්‍රෙඩී සිල්වා ගායනා කළ "කුණ්‌ඩුමනී" ගීතය එවක රටේ ප්‍රධාන දේශපාලන ගැටලුව වූ ජාතිවාදී ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ දැක්‌ම ප්‍රකට කරයි. ගුණදාස කපුගේ ගායනා කරන "සබඳ අපි කඳු නොවෙමු", "උතුරු කොනේ නුඹ හිනැහෙන්" ඔහුගේ සමාජ සත්තා යථාර්ථය කුළුගන්වන නිර්මාණයෝ වෙති.

    ඔහුගේ ගී පදමාලා රචනා ප්‍රතිභාව පිළිබඳ කිව හැකි හැමෝම දන්නා කතාව මම ඔබට කියමි. ප්‍රේමකීර්තිට ගීයක්‌ ලිවීමට ගත වන්නේ සිගරැට්‌ටුවක්‌ දැවී යන කාලය පමණි. උපකරණ ලෙස අවශ්‍ය වන්නේ බස්‌ ටිකට්‌ටුවක තරමේ කඩදාසි කැබැල්ලකි. "ආදරයේ උල්පත වූ අම්මා" ගීතය ලියෑවුණේ 138 බස්‌ රථයක ඇස්‌වාට්‌ටුවේ සිට හෝමාගම යද්දී එම ගමන සඳහා නිකුත් කළ ටිකට්‌ පතේ බව දන්නේ වික්‌ටර් රත්නායකයන්ම පමණි. ඔහු පිළිබඳ මෙවැනි කතා සිය ගණනක්‌ තිබේ. ඒවා ද සාහිත්‍යයකි. මහා හඬ පෞරුෂයක්‌ සහිත වූ ගුවන්විදුලි නිවේදකයකු වූ ප්‍රේමකීර්ති 60 දශකයේ අග භාගය වන විට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සෙසු සියලු නිවේදකයන් අභිබවා සිටියේය. ඔහුගේ ඉතිහාසය, සාහිත්‍යය, ආගම හා සමාජ පරිඥනය පිළිබඳ වූ විශිෂ්ට දැනුම ගුවන් තලය හරහා ශ්‍රාවක දෙසවන් තුළින් හදවත් තුළට කි¹ බැස්‌සේය. ප්‍රවෘත්ති නිවේදනයේ විශිෂ්ටයකු වූ ප්‍රේමකීර්ති එනිසාම පසු කලෙක රූපවාහිනියේ "පුවත් සැරිසර නමින් සාර්ථක වැඩසටහනක්‌ ඉදිරිපත් කළේය. "පුවත් සැරිසර" තුළින් සජීවීව ශ්‍රාවකයන් වැඩසටහනට සම්බන්ධ කරගැනීම ඔහු කළ අභියෝගාත්මක අත්හදා බැලීමකි.

    1969 සිට 1977 දක්‌වා කාලසීමාව තුළ ගුවන්විදුලි බලධාරීන් විසින් ප්‍රේමකීර්තිගේ වැඩ තහනම් කළ අවස්‌ථා ගණන 12 කි. 1977 සිට 1987 දක්‌වා විවිධ දේශපාලන පළිගැනීම්වලට බඳුන් වූ ප්‍රේමකීර්ති අවසන වසර දෙකක වැඩ තහනමකට ද ලක්‌විය. වසර දෙකක අනිවාර්ය නිවාඩු යෑවීමෙන් පසු කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට කැඳවූ ප්‍රේමකීර්ති ද අල්විස්‌ හා ගුණදාස කපුගේ රජරටට මාරු කරන ලදී. වැව් බැඳි රාජ්‍යයේ ගමක්‌ ගානේ යමින් රජරට සේවය ජනප්‍රිය කොට එය පොදු ජනතාවගේ හඬ බවට පත් කළ මොවුහු රජරට කළුගල් නිල් මැණික්‌ බවට පත් කළහ. ඊට ඇති හොඳම නිදසුන වන්නේ කරුණාරත්න දිවුල්ගනේ නම් ගායකයායි. රජරට සේවය කොළඹ ගුවන්විදුලියට තර්ජනයක්‌ම විය. වැව් බැඳි රාජ්‍යයේ දොරින් දොර, ගමින් ගම, ඇසුණු එකම ගුවන්විදුලිය වූයේ රජරට සේවයයි.

    ඔහු දේශපාලන වේදිකා මත කෑ ගසා හෝ කරපටි සලකුණෙන් හෝ කේලාම් කීමෙන් දේශපාලනය නොකළ මානව හිතවාදියෙකි. ඔහු පිළිබඳ සැබෑව නම්, තමාගේ මාසික සොච්චම් පඩියෙන් මාස්‌ පතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජික මුදල අඩු කර යවන්නැයි ස්‌ථාවර නියෝගයක්‌ ලබාදී තිබූ එකම ගුවන්විදුලි සේවකයා වීමය. ඔහු මරා දැමූ පසු බිරිඳ අතට ලැබුණු 1989 ජුලි මස පඩිපතේ ද ඒ බව සටහන් වී තිබිණි.

    1989 ජුලි මස 31 වැනි දින සීතල රාත්‍රියේ මැදියමට සුළු මොහොතකට පසු පාළු මාවතක බෝක්‌කුවක්‌ මතදී ලොවම ආදරය කළ ඒ මහා හඬ පෞරුෂය ගලා ආ අවිහිංසක සිනාව රැඳි මුවට වෙඩි තබා මෙම අවිහිංසක සමනළයකු වන් සියුමැලි මිනිසා ඝාතනය කරවන ලදී.

    ඔහුගේ මරණයෙන් අනතුරුව හෝමාගම, කටුවාන පාරේ කුඩා නිවස උකසට සින්න විය. එහි නව හිමිකරුවෝ තවමත් ඒ ගෙය ප්‍රේමකීර්ති අවසන් ගමන් යද්දී තිබූ සෙයHdවෙන්ම තබාගෙන සිටිති. ඒ ඔහු වෙනුවෙන් නොවේ. නව නිවසක්‌ ඉදිකරන තුරුය. ප්‍රේමකීර්තිගේ ආදරණීය දරු දෙදෙනා හා සමරවීර මුදලිගේ පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්වරයාගෙන් හා ජනාධිපතිතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ "අනාගත පරපුර වෙනුවෙන් ප්‍රේමකීර්ති අවසන් මොහොත දක්‌වා ජීවත් වූ ඔහුගේ කුඩා පැල්පත බේරාදී එහි ඔහුගේ ජීවිත මතකයන් රැස්‌කොට සුරක්‍ෂිත කර දෙන ලෙසයි" චන්ද්‍රිකා බණ්‌ඩාරනායක රජය සමයේ නම් කිරීමට යෝජිත වූ ගුවන්විදුලි මැදිරිය ඔහු නමින් නම් කරනු මැනවි. වාර්ෂිකව ඔහුගේ සමරුව ඔහුට ගෞරවයක්‌ වන පරිදි පවත්වනු මැනවි.

    සමරවීර මුදලිගේ
    දොන් ආරියරත්න ද අල්විස්‌



    http://www.divaina.com/2011/07/24/feature16.html

     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මෙයාගේ පුතාද බන් ඉස්සර හපන් පැදුරට ආවේ.. අර ෆට්ට කෑල්ලක් ලඟ තමා මෑන්ස් හිටියේ(ඒ කෙල්ලව මීටර් නම් නම මෙන්ශන් කරපන් දන්න කෙනෙක්) අනික බන් ඒ කොල්ලමයි පුංචි වීරයෝ එකේ ආවෙත්?? ඌ මෙයාගේ පුතාද?

    You must spread some Reputation around before giving it to kolavari again.
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මෙයාගේ පුතාද බන් ඉස්සර හපන් පැදුරට ආවේ.. අර ෆට්ට කෑල්ලක් ලඟ තමා මෑන්ස් හිටියේ(ඒ කෙල්ලව මීටර් නම් නම මෙන්ශන් කරපන් දන්න කෙනෙක්) අනික බන් ඒ කොල්ලමයි පුංචි වීරයෝ එකේ ආවෙත්?? ඌ මෙයාගේ පුතාද?

    You must spread some Reputation around before giving it to kolavari again.

    :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙයාගේ පුතාද බන් ඉස්සර හපන් පැදුරට ආවේ.. අර ෆට්ට කෑල්ලක් ලඟ තමා මෑන්ස් හිටියේ(ඒ කෙල්ලව මීටර් නම් නම මෙන්ශන් කරපන් දන්න කෙනෙක්) අනික බන් ඒ කොල්ලමයි පුංචි වීරයෝ එකේ ආවෙත්?? ඌ මෙයාගේ පුතාද?

    Poorna marry karala dan Babek innawa ban...

    2416vso.jpg


    Ranmini nam speech and hearing therapist kenek.mage podi kale crush eka ban... :dull:

    13178665_10208647714263231_7423264876749745602_n.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මෙයාගේ පුතාද බන් ඉස්සර හපන් පැදුරට ආවේ.. අර ෆට්ට කෑල්ලක් ලඟ තමා මෑන්ස් හිටියේ(ඒ කෙල්ලව මීටර් නම් නම මෙන්ශන් කරපන් දන්න කෙනෙක්) අනික බන් ඒ කොල්ලමයි පුංචි වීරයෝ එකේ ආවෙත්?? ඌ මෙයාගේ පුතාද?

    You must spread some Reputation around before giving it to kolavari again.

    ඌ තමයි මචන් පොර :yes:
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    "නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි" ගීතය නම් ඩෝල්ටන් අල්විස් මහත්තයගෙ නේද?