"රන්මුතු දූව" හැදුණේ මෙහෙමයි - තිස්ස ලියනසූරිය
"රන්මුතු දූව"ට සින්දු කිව්වේ මෙහෙමයි - නන්දා මාලිනි
‘රන්මුතු දූව‘ චිත්‍රපටයට දායක වූ නළු නිළියන්, කාර්මික ශිල්පීන්, ගායක ගායිකාවන් අතරින් අද ජීවතුන් අතර සිටිනුයේ කිහිප දෙනෙකි. සිංහල සිනමාවට වර්ණ චිත්‍රපට හඳුන්වා දෙමින් පැමිණි ‘රන්මුතු දූව‘ එවකට පැවති සිනමා සම්මාන උලෙළින් වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් සිනමා නිර්මාණය ද වූවා. පනස් වසරක රන්මුතු දූව මතක සටහන් සමරන්නට අපේ කතාබහට මෙහි ප්‍රධාන නිළි චරිතය නිරූපණය කළ ජීවරාණි කුරුකුලසූරියත්, සහාය අධ්‍යක්ෂවරයා වූ තිස්ස ලියනසූරියත්, ගායිකාව වූ විශාරද නන්දා මාලිනියත් රෙංගාගේ චරිතය නිරූපණය කළ හෙක්ටර් ඒකනායකත් සංගීත අධ්‍යක්ෂවරයා වූ පණ්ඩිත් අමරදේවයනුත් එක්කර ගැනීම අපේ අරමුණ වූවා.
එහෙත් මේ මොහොත වන විට ජීවරාණි හා හෙක්ටර් විදේශගතව සිටින නිසාත්, පණ්ඩිත් අමරදේවයන් විවේක සුවයෙන් පසුවන නිසාත් අපේ කතාබහට එක්වූයේ විශාරද නන්දා මාලිනිය සහ තිස්ස ලියනසූරිය යන දෙපොළයි.
‘රන්මුතු දූව‘ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වූයේ තිස්ස ලියනසූරියයි. ‘රන්මුතු දූව‘ ඉතිහාසය පිළිබඳ ඔහුගේ මතකය ද පනස් වසරක් සමරන මේ මොහොතේ අතිශයින්ම වැදගත්ය.
‘රන්මුතු දූව‘ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ වූයේ 1961 වර්ෂයේ. තිරගත වූයේ 1962 වර්ෂයේදී. චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වුණේ ආතර් සී. ක්ලාක් මයික් විල්සන් සහ ශේෂා පලිහක්කාරයි. මේ තුන්දෙනා එකතු වෙලා ‘සෙරන්ඩිබ්’ කියලා සමාගමක් ඇතිකළා. ඒ සමාගමෙන් කරපු පළමුවැනි චිත්‍රපටය ‘රන්මුතු දූව‘. මේ චිත්‍රපටය කරන්න මයික් විල්සන්ට මූලික අදහස ඇතිවුණේ මෙහෙමයි.
මයික් විල්සන් හොඳ කිමිදුම් කරුවෙක්. ඔහු ඒ වන විට දිය යට රූගත කරපු කෙටි වාර්තා චිත්‍රපට දෙකක් (වර්ණ මි. මි. 16) කරලා තිබුණා. එකක් Beneath the seas of ceylon. අනෙක් එක Boy beneath the Sea. මේ චිත්‍රපට දෙක දවසක් ශේෂා පලිහක්කාරත්, අතාර් සී. ක්ලාක් සමඟ නරඹලා තිබෙනවා. එදා ශේෂා ඔහුගෙන් අහලා තිබෙනවා ඇයි මේ විදියේ මි. මි. 35 වාණිජ චිත්‍රපටයක් කරන්නේ නැත්තේ කියලා. ඒ අදහසට අනුව තමයි ‘සෙරන්ඩිබ්’ සමාගම ආරම්භ වෙලා ‘රන්මුතු දූව‘ කරන්න පටන් ගත්තේ.
‘රන්මුතු දූව‘ ලංකාවේ පළමුවැනි වර්ණ චිත්‍රපටය. මුහුද යට දර්ශන මි. මි. 16 කැමරාගත කරලා රසායනාගාරයේදී මි. මි. 35 ප්‍රමාණයට විශාල කරලා ගත්තා. මේ චිත්‍රපටයේ කතාව ලියන්නෙත් මයික් විල්සන්මයි. මේ කතාව සහ ඔහුගේ ජීවිතය අතරත් කිසියම් පසුබිමක් තිබුණා.
මයික් මේ චිත්‍රපටය හදන්න කලින් ත්‍රිකුණාමලය අවට මුහුද යට කිමිදුම් කරන කොට පැරණි හින්දු කෝවිලක නටබුන්, විවිධ කාසි වර්ග, කාල තුවක්කුවක්, ශිව ලිංගයක් ආදිය දැක තිබුණා. ශිව ලිංගය මයික් ගොඩට අරගෙන ආවා. ඔහු ඒ ශිව ලිංගය ත්‍රිකුණාමලයේ කෝනේශ්වරම් කෝවිලට තිළිණ කළා. අදටත් මම හිතනවා කෝනේෂ්වරම් කෝවිලේ ඒ ශිව ලිංගය තියනවා කියලා.
‘රන්මුතු දූව‘ කතාව නිර්මාණය වෙන්නෙත් ශිව දෙවියන්ගේ රූපයක් වටා. අර සිද්ධියේ බලපෑම මයික්ගේ මේ කතාවට බලපෑවා කියලා මට හිතෙනවා. මයික් මේ කතාව ලියලා තිබුණේ ඉංගි‍්‍රසියෙන්. සිංහලයට පරිවර්තනය කළේ මම.
චිත්‍රපටයේ ප්‍රධාන ලොකේෂන් එක වුණේ ත්‍රිකුණාමලයේ. 80% ක් විතර රූගත කිරීම් කළේ එහේ. ගාමිණී, ජීවරාණි තමයි ප්‍රධාන නළු නිළි යුවළ. ඊට අමතරව ජෝ අබේවික්‍රම, ශේන් ගුණරත්න, ඇන්තනි සී. පෙරේරා, වින්සන්ට් වාස්, ලක්ෂ්මී බායි ආදින් සෙසු චරිත රඟපෑවා.
දිය යට කිමිදුම් දර්ශනවල රූගත කිරීම් කළේ මයික් විල්සන්මය. ලොකුම ප්‍රශ්නය වුණේ මේ චිත්‍රපටයේ දිය යට රඟපාන පුළුවන් වුණු ගාමිණිට සහ හෙක්ටර් ඒකනායකට කිමිදුම් ඉගැන්වීමයි. රොඩ්නි ජොන්ක්ලාස් තමයි ගාමිණීට කිමිදුම් කරන හැටි ඉගැන්නුවේ. ගාමිණි ගෙයි හෙක්ටර් ඒකනායකගෙයි මුහුද යට සටන් ජවනිකා තිබුණා.
ජීවරාණිට අවසාන දර්ශනය තිබුණේ මුහුද මැද. මුහුදේ තිබුණු පැතලි ගලක ජීවරාණි බැඳලා තියන දර්ශනයත් තමයි අවසානයේ රූගත කළේ. මුහුදේ වඩදිය බාදිය ප්‍රශ්නේ නිසා ජීවරාණිව උදේ ඉඳන් හවස හතර පහ වෙනකම්ම ගලේ බැඳලා තියන්න සිද්ධ වුණා මේ දර්ශනේ රූගත කරන්න. අවසානේ ඇයව ගලෙන් එළියට ගත්තම ඇගේ මුළු පිටම ගලට හීරිලා තිබුණා. ඒ අපහසුකම් ඔක්කොම දරාගෙන තමයි ඇය මේ දර්ශනේ ගන්නකම් ඉවසගෙන ඉඳලා තියෙන්නේ.
විශාරද නන්දා මාලිනිය ‘රන්මුතු දූව‘ චිත්‍රපටයට ගැයූ ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය වෙනුවෙන් එම වසරේ හොඳම ගායිකාව වෙනුවෙන් පිරිනමන ‘සරසවිය’ සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.
“රන්මුතු දූව‘ කියන්නේ ලංකාවේ පළමුවැනි වර්ණ චිත්‍රපටය. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ‘සෙරන්ඩිබ්’ කියන නිෂ්පාදන සමාගම. මේ චිත්‍රපටයේ නිර්මාණාත්මක පැත්ත මෙන්ම ගායනය, සංගීත අධ්‍යක්ෂණය, නළු නිළියන,් කාර්මික ශිල්පීන් ආදි වූ සෑම දෙයකින්ම වෙනස් රටාවකින් නිර්මාණය කරන්න ඔවුන්ට ඕන වුණා. නැතිනම් ඒ වෙනකොට ඉතාම ආධුනික මට්ටමේ හිටපු මා වැනි ගායිකාවක් මේ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න සම්බන්ධ කර ගනියි ද? මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කළේ අමරදේව සර්. අමරදේව සර්ත් චිත්‍රපටයකට පළමුවෙන්ම සංගීත අධ්‍යක්ෂණණය කළ අවස්ථාව මේක. නාරද දිසාසේකරත් ගායනයෙන් මේ චිත්‍රපටයට එක්වූවා. ඔහු ගායකයෙක් වශයෙන් එකල ජනපි‍්‍රයව සිටියත්, චිත්‍රපට පසුබිම් ගායනයට එක්වුණු ප්‍රථම අවස්ථාව මේක.
මේ චිත්‍රපටයට මම පළමුවෙන්ම ගායනයෙන් එක් වුණේ සමූහ ගායනයට. අමරදේව සර් ගායනා කරපු ‘පාරමිතා බල පූරිත පූජිත’ ගීතයට මම ඇතුළු තවත් පස් හය දෙනෙක් සමූහ ගායනයෙන් එක්වුණා මට මතකයි. මේ ගීතය පටිගත කළේ හැඳල විජය චිත්‍රාගාරයේ. ‘මිශ්‍රා’ කියල ඉන්දියානු මහත්මයෙක් තමයි පටිගත කිරීම් බාරව කටයුතු කළේ. මේ ගීතයේ එන ‘සනරාමර හිමි ලෝක ශිවංකර’ කියන පුංචි කෑල්ල ගායනා කළේ මම. මට මතකයි ඒ කාලේ අද වගේ නොවෙයි වාදක කණ්ඩායම, ගායක ගායිකාවන් චිත්‍රපටයේ නිෂ්පාදන අධ්‍යක්ෂවරුන්, පටිගත කිරීමේ ශිල්පීන් ගීත රචකයින් ඇතුළු විශාල පිරිසක් විජය චිත්‍රාගාරයට මේ පටිගත කිරීම වෙනුවෙන් එක් වී සිටියා. එදා මේ සියලු දෙනාම මස් මාංශ අනුභවයෙන් තොරව තමයි ආහාරපාන පවා ලබා ගත්තේ.
චිත්‍රපටයට නාරද දිසාසේකර සහ මා ගැයූ ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය පටිගත කළේ ඊට පස්සේ. මේ ගීතය පටිගත කල ඒ කාලේ කොල්ලුපිටියේ තිබුණු සරසවි ශබ්දාගාරයේදී. පටිගත කිරීමේ ශිල්පියා විදියට කටයුතු කළේ මර්වින් රොඩ්රිගු මහත්මයායි. ඒ කාලේ අද වගේ එක එක්කෙනාට ඇවිත් ගායනය කරලා වාදනය කරලා යන්න බෑනේ. පටිගත කිරීම් කරන්නේ සජීවිව. පුංචි බාහිර ශබ්දයක්වත් නැතිවෙන්න. ඉතින් ගීතයේ පටිගත කිරීම් පටන් ගන්නේ රාත්‍රී 10 න් පස්සේ. අවට පරිසරයේ නිශ්ශබ්ද වූවාට පසුවයි.
ආධුනික ගායන ශිල්පිනියන් විදියට මට ලැබුණු ඒ අවස්ථාව මගේ ජීවිතේ සුවිශේෂි සන්ධිස්ථානයක් වුණා. චිත්‍රපටය තිරගත වීමෙන් පසුව හොඳම ගායකයා, හොඳම ගායිකාව, හොඳම ගීත රචනය, හොඳම සංගීත අධ්‍යක්ෂණය ඇතුළු සංගීත අංශයේ සියලු සම්මානත්, තවත් සම්මාන රැසකුත් ‘රන්මුතු දූව‘ට හිමි වුණා.
හේමාලි