බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක් අට පිරිකර නමින් හඳුන්වනු ලැබේ.
තිචීවරං ච පත්තෝච - වාසී සුචීව බන්ධනං
පරිස්සාවන අට්ඨෙතෙ - යුත් යෝගස්ස භික්ඛුනො” යෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර අට මෙයින් කියවේ. ඒවා නම්
01. දෙපට සිවුර (සංඝාටිය)
02.තනිපට සිවුර (උත්තරා සංඝ)
03.අඳනය (අන්තර වාසිකය)
04.පටිය (කාය බන්ධනය)
05. පාත්‍රය (පත්ත)
06.කඩ කැත්ත (දැලිපිහිය – වාසී)
07. ඉඳීකටුව (සුචි)
08.පෙරහන් කඩ (පරිස්සාවන) යනු ඒ පිරිකර අට වේ.
අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාවෝ මහත් අභිරුචියක් දක්වති. එයට හේතුව නම් මේ පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබෙන නිසාවෙනි. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.
එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.
එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ. අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.
ඒ හේතුව නිම එදා ගෞතම බුදුහමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.
අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ.
ආවාස දානය
බුදුසසුනට පළමු ආරාම පූජාව සිදුකළේ බිම්බිසාර මහරජතුමාය. එය වේළුවනාරාමය නමින් හැඳින්වේ. අනතුරුව අනේපිඬුසිටුතුමා පනස් හතර කෝටියක් ධනය වැයකර ජේතවනාරාමයත්, විශාඛා මහේසි උපාසිකා තොමෝ විසිහත් කෝටියක් ධනය වැයකර පූර්වාරාමයත් බුදුසසුනට පූජාකළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
එසේම ශාක්‍ය රජදරුවෝ නිග්රෝධාරාමයත්, පාවාරික සිටුවරයා පාවාරිකා රාමයද කොසඹෑ නුවර ඝෝෂිතාරාමය ආදී ආරාම සාදවා සසුනට පූජාකර ඇත. මේ ආකාරයට භාරතයේ විසූ රජවරු සිටුවරු මැති ඇමැතිවරු කෝටිගණන් ධනය වැයකර ඉතා රමණීය අලංකාර වෙහෙර විහාර සාදවා සසුනට පූජා කර තිබේ.
බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට අවශ්‍ය සියලු පහසුකම් මේ ආරාම තුළ තිබූ බව සඳහන් වේ. මජ්ඣිම නිකාය අටුවාවේ සේඛ සුත්රවර්ණනාවෙන් ආවාස දානයේ අනුසස් දක්වා ඇත. අතුසෙවිළිකළ පැලක් හෝ සෙවණ ඇති ලතා මණ්ඩපයක් හෝ පිදීමෙන් ලැබෙන ආනිසංස මෙතෙකැයි ප්‍රමාණකළ නොහැකි බව ශාක්‍ය රජදරුවන්ට බුදුරජාණන් වහන්සේ හා ආනන්ද තෙරුන් වහන්සේ දේශනාකර ඇත.
භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ සිව්පස පරිභෝගයන්ගෙන් එකකි. සේනාසන පරිභෝගය භික්ෂූන් වහන්සේ නමක් සෙනසුනක් පරිභෝග කරන්නේ සිය ධන සම්පත් ආරක්ෂා කිරීමටත්වත් සොරසතුරන්ගෙන් වන උවදුරු වළක්වා ගැනීමටවත් නොවේ.
සීත උෂ්ණ පීඩා වලකනු පිණිසත් ලේ බොන මැසි මදුරුවන් ගෙන් වන පීඩා වළක්වා ගැනීමටත් අව්ව වැස්ස සුළඟ සහ සර්පාදී සතුන්ගෙන් වන පීඩා වළකනු පිණිසත් සෘතු විපර්යාසයන් ගෙන් වන උපද්‍රව වළකාලනු සඳහාත් භික්ෂූහු ආරාම භාවිතා කරති.
ආරාම පූජාව තුළින් භික්ෂූන් වහන්සේලාට නිවන් මඟ යාමටත් ශාසනය සුරක්ෂිත කරගෙන යාමටත් ලැබෙන අනුබල සුළුපටු නොවේ. ගිහි ජනතාවටද ගෙවල් නැතහොත් නිවාසයෙන් ලැබෙන ප්‍රයෝජනය අපමණය. එය ජීවිතයක මූලිකම අවශ්‍යතාවයකි. එවැනි ආවාසයක් සාදවා පූජාකිරීමත් පරිත්‍යාග කිරීමත් තුළින් ලබන සතුට අපමණය. ලැබෙන ආනිසංසත් අපමණය.
මෙසේ ආවාස වෙහෙර පන්සල්, ගෙවල් දීම හෙවත් පරිත්‍යාගකිරීම, පූජාකිරීම මහා පිංකමක් වන බවත් එය අටමහා කුසල් අතර තුන්වන අටමහා කුසලය බව සඳහන් වේ. ආවාසගෙයක් පූජා කිරීම තුළින් ජනිත වන්නේ සියල්ල දීම තුළින් ලබන කුසලයක් බව මුලින් සඳහන්කළ සුත්‍ර පාඨයෙන් ප්‍රකාශ වේ. එය සසර සැප විපාක ලැබ නිවන් ලැබීමට මහෝපකාරී කුසල කර්මයක් බව සඳහන් කළහැකිය.
සංඝික දානය
අටමහා කුසලයන්ගේ සතරවන කුසලය වන්නේ සඟ සතු දානමය පුණ්‍ය කර්මය වේ. තමා අයිති දෙයක් වෙනත් අයෙකුට සතුටු සිතින් දීම පරිත්‍යාග කිරීම තම අයිතිය අත්හැර පූජා කිරීම දානය වශයෙන් සඳහන් කළහැකිය.
බුදු දහමේ දස දාන වස්තුවක් ගැන සඳහන් වේ. ආහාර පාන , ගෙවල්, වස්ත්‍ර, යාන වාහන, මාලා ආදී ඒ අතර වේ. නමුත් කෙනෙකුට කාලීනව අවශ්‍ය වන්නේ ප්‍රයෝජනවත් වන්නේ යම් දෙයක්ද ඒදේ දීම දානයට වස්තු වශයෙන් දැක්විය හැකිය. තමා පරිත්‍යාග කරන්නේ යම් දෙයක් ද ඒදේ සතුටු සිතින් ශ්‍රද්ධා දි ගුණ ධර්ම පෙරදැරිව කර්ම ඵල විශ්වාසයෙන් යුක්තව දීම හෙවත් පරිත්‍යාගය දානය වශයෙන් සඳහන් කෙරේ.