කොටස් මිල ඉහළ යාම, පහළ යාම....... කියන දේවල් වෙන හැටි අපි අද කතාවක් අනුසාරයෙන් බලමු.
ව්‍යාපාරයක් ඇරඹිණි (Company/Business started)
සිරිල් කියන්නෙ හොඳ ගොවියෙක්. ඔහුට ආසාවක් ඇති උනා, පොල් වත්තක් අරඹන්න. මොකද ඔහුට තේරුනා ඒ සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා කියල. ඉතින් ඔහු ඔහු ලඟ තිබෙන මුදල් හා ණය මුදලක් අරගෙන ගැළපෙන විදිහෙ ඉඩමක් හා තවත් දේවල් කිහිපයක් මිලට ගත්ත. නමුත් ඔහුට අමතක උනා පොල් පැළ ගන්න මුදල් අවශ්‍ය වග. හොයාගෙන යනකොට ඔහුට හම්බ උනා ඉතා ඉක්මනින් ඵලදාවක් ලබා දෙන පොල් විශේෂයක් විකුණන තැනක්. ඔහුට අවශ්‍ය පැළ ලබා ගන්න රු.5,000ක් අවශ්‍ය උනා. නමුත් ඔහු ලඟ තියෙන්නෙ රු.2,500ක් පමණයි. ඉතින් මොකද කරන්නෙ???
වර්ධනය සඳහා මුදල් රැස්කිරීම වෙනුවෙන් ජනතාවට ආයෝජනයට අවස්ථාව ලබා දීම. (Initial Public Offering for raising capital)
සිරිල් මොකද කරන්නෙ, තමුන්ගෙ හොඳම මිතුරන් 5 දෙනෙක් හමුවෙන්න යනව, ඔබත් එක්කෙනෙක්. ඔහු ඔබ එකිනෙකාගෙන් රු.500 බැගින් ඉල්ලා සිටිනවා. ඔහු ඒක ණයක් වශයෙන් නෙමෙයි ඉල්ලන්නෙ, මොකද ඔහුට හරියටම කියන්න බෑ ණය ගෙවීම සඳහා ඔහුට ආදායමක් ලැබෙයිද කියල, නමුත් ඔහු පොරොන්දු වෙනවා තමුන්ට ලැබෙන ආදායමෙන් කොටසක්, ඔවුන් දුන්නු මුදලට අනුව ලබා දෙන්න. ඔවුනුත් ඊට ඒකට එකඟ උනා.
වෙනත් වචනවලින් කිව්වොත් මෙතන සිද්ද උනේ සිරිල් තමුන්ගේ පොල් වත්තෙන් කොටසක් තමුන්ගේ මිතුරන්ට ලබා දීම. (shares)
සහකරුවෙකු හා කොටස් හිමියෙකු වීම අතර වෙනස (Partners and Share Holders)
ඉතින් මේ පොල් පැළ ඉතාම වේගයෙන් වැවුනා, පළමු අවුරුද්දෙම ඵලදාව හටගත්ත. මුලින්ම පොල් ගෙඩි 100ක් හැදුන. ඉතින් පොල් පැළ වෙනුවෙන් සිරිල් 50%ක් වියදම් කරපු නිසා ඔහු පොල් ගෙඩි 50 තියාගෙන ඉතිරි පොල් ගෙඩි 50 මිතුරන් 5 දෙනා ඒ කියන්නෙ ආයෝජකයින් 5 දෙනා අතරේ සමව බෙදල දෙන්න තීරණය කළා. ඔවුන්ට මේ පොල් ගෙඩි පරිභෝජනය කරන්නත් පුළුවන් විකුණන්නත් පුළුවන්.
ඉතින් මේ ආයෝජකයින් එකතු වෙලා පොඩි සාකච්ඡාවක් පැවැත්වුවා. එයාල එයාලගෙ කොටස් ලබා ගන්නවද නැතිනම් සිරිල්ටම ඒ පොල් ගෙඩි ටික විකුණන්න කියල මුදල ගන්නවද කියල. ඔවුන් තීරණය කළා සිරිල්ටම පොල් ගෙඩි ටික විකුණන්න ඉඩ දීල ලාභය අතට ගන්න. (General meeting) ඉතින් සිරිල් ඒ ටික විකුණල, ලාභය ඔවුන්ට ලබා දුන්න. ඒ විතරක් නෙමෙයි සිරිල් පොඩි ලියවිල්ලක් හැදුව "සිරිල් සහ සමාගමේ එක් කොටසක් ඔබට හිමියි. ඒ සඳහා සමාගමේ ලාභයෙන් 10%ක් ඔබට අයිතියි" කියල.
අව මිල සහිත සිරිල්ගේ සමාගමේ කොටස් අලෙවි වෙයි (Trading of Undervalued Stocks)
ඉතින් ඔන්න දැන් සිරිල්ගේ පොල් වත්ත ඉතාම සරුසාරයි. දැන් ඔහුගේ වත්තෙන් පොල් ගෙඩි 500ක ඵලදාවක් තිබෙනවා. ඔහු ඒ පොල් ගෙඩියක් රු. 20 ගණනේ විකුණනවා. ආදායම රු. 10,000/=යි. ඔහු දැන් මිතුරන්ට (කොටස් හිමියන්ට) රු. 1,000 ගණනෙ ලබා දෙනවා. සිරිල් තමුන්ගේ රු. 5,000න් තවත් පොල්පැළ මිලට ගෙන සිටුවනවා. ඒවාත් ඉතාම වේගයෙන් වැඩිල, ඵල හට ගන්නවා. දැන් සිරිල්ට රු. 20,000ක ආදායමක් ලැබෙන පොල් වත්තක් තිබෙනවා.
ඉතින් මේක දැකපු සිරිල්ගේ අසල්වැසියෙක් වන නිමල්ටත් මේකට සම්බන්ධ වෙන්න ඕනෙ වෙනවා. ඒ අතරේ සිරිල්ගේ සමාගමේ කොටස් හිමියෙක් වෙන සුනිල් තමුන්ගේ කොටස් විකුණන්න කැමත්තෙන් ඉන්නවා. ඉතින් නිමල්, සුනිල්ට රු. 500ක් (bid price) දෙන්න කැමතියි මේ කොටස මිලට ගන්න. ඒත් සුනිල් මෝඩ නෑ, ඔහු දන්නවා දැනටමත් මේ සමාගම කොටසකට රු. 2,000ක් උපයනවා කියල. ඉතින් සුනිල් ඒ කොටස සඳහා රු. 2,000ක් ඉල්ලනවා (ask price) නිමල්ගෙන්.නිමල් එවෙලෙම කැමති වෙලා කොටස ඒ මිලට, මිලට ගන්නවා. (trading happens)
පොඩි රැවටිලිකාර දෙයක් සිද්ධ වෙනවා. (Bubble Formed)
සිරිල්ගේ අනෙක් කොටස් හිමි මිතුරන් දකිනවා සුනිල් කරපු දේ හා ඔහුට ලැබුනු මුදල, ඉතින් ඔවුන්ටත් තමුන්ගේ කොටස් විකුණන්න ඕනෙ වෙනවා. (කොටස් හිමියන්) අනිත් පැත්තෙන් සිරිල්ගේ තවත් අසල්වැසියන්ට මේකට සම්බන්ධ වෙන්න ඕනෙ වෙනවා (ආයෝජකයින්), ඔවුන් දැක්කනෙ නිමල්ගේ ආයෝජනය කෙතරම් ඉක්මනින් සිදු උනාද කියන එක.
ඉතින් මෙහෙම එහෙට මෙහෙට කොටස් අලෙවි වෙලා, (trading of shares) කොටසක මිල රු. 5,000 දක්වා ඉහළ යනවා. ඒක සිරිල්ගේ පොල් වත්තේ ආදායමටත් වඩා ඉහළ අගයක්. (කොටස් අධි මිලට අලෙවි වෙනවා) සිරිල්ගේ මුල්ම ආයෝජකයින්ගෙන් එකම එක්කෙනෙක් පමණයි තවමත් තමුන්ගේ කොටස තියාගෙන ඉන්නෙ. ඒ ගයාන්. රු. 6,000ට ඉල්ලුවත් ඔහු ඒක තියාගෙන ඉන්නෙ, ඒකෙන් තමුන්ට ස්ථිර ආදායමක් ලැබෙන නිසයි. (fixed income=dividends)
ඉතින් මේ අතරෙ, පොල් කුරුමිණියෝ නිසා සිරිල්ගේ මුලු පොල් වගාවම විනාශ වෙනවා, වසරකම ආදායම නැති කරල දාමින්. ඉතින් කොටස් හිමියන්ට හරිම ප්‍රශ්නයක්, ඇයි ඔවුන් කොටස් මිලට ගත්තේ තමුන්ගේ වැඩ වලට ඉතිරි කරගත්තු මුදල් වලින්නෙ. (margin traded)
රැවටිල්ල කඩා වැටෙනවා (Bubble Bursts)
ඉතින් යළි මුදල් අවශ්‍ය කොටස් හිමියන්ගෙන් දෙදෙනෙක්, තමුන්ගේ කොටස් යළිත් රු. 2000ට ගයාන්ට විකුණනවා. (කොටස් මිල පහළ යනවා) දැන් ඔහු ලඟ සිරිල්ගේ සමාගමේ කොටස් 3ක් තිබෙනවා. අනිත් කොටස් හිමියන් දෙදෙනාත් ඒකම කරන්න උත්සාහ කළත් ගයාන්ට කොටස් 3ක් ඇති, ඉතින් ඔහු තවත් මිලට ගන්න සූදානම් නෑ.
ඉතින් දැන් අනිත් කොටස් හිමියන් දෙදෙනාට හරිම ප්‍රශ්නයක්. ඉතින් මෙන්න ජයන්ත මේ කොටස් වලට රු, 1,500ක් ගෙවන්න කැමතියි. මොනව කරන්නද, ඒ කොටස් හිමියන් දෙදෙනා රු. 1,500 බැගින්තමුන්ගේ කොටස් දෙක ජයන්තට ලබා දෙනවා. (තවත් කොටස් මිල පහළ යනවා)
මේ කෙසේ වෙතත් සිරිල්ගේ පොල් වලට තිබෙන ඉල්ලුම එහෙමමයි,ඉතින් සිරිල්ට කොහොම හරි මේ පොල් කුරුමිණියන් ඉවත් කරල ආපහු පොල් ගස් ටික ගොඩ ගන්න ඕනෙ. නමුත් ඒකට කෘමිනාශක ගන්න සිරිල්ට මුදල් අවශ්‍යයි.