1. බ්‍රහ්මජාල සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » සීලස්කන්ධ වර්ගය » 1. බ්‍රහ්මජාල සූත්‍රය
“මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත්, ඒ තන්හි දී තොප විසින් කෝප නො ඉපැදැවියැ යුතු ය. නොසතුට නො ම ඉපැදැවියැ යුතු ය. සිතැ අමනාප බව නොකට යුතු ය. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත් සඞ්ඝයාට හෝ දොස් කියතොත් ඒ දොස් කීමෙහි තෙපි කිපෙන්නහු නම්, නොසතුටු හෝ වන්නහු නම්, එයින් තොපට ම (තොපගේ ම ධ්‍යානලාභාදියට) අන්තරාය (බාධා) වන්නේ ය.
“මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් නගතොත්, එහි තෙපි කුපිත වන්නහු නම්, එසේ කල්හී තෙපි ඒ අනුන් කී දෑ සුභාෂිත ද (සත්‍ය කථාවෙක් ද) නැතහොත් දුර්භාෂිත ද (අසත්‍ය කථාවෙක් දැ) යි දැනැ ගත හැකි වන්නහු දැ?” යි ප්‍රශ්න කළ සේක.
“වහන්ස, මෙය නොවන්නේ ම යැ (කිපුණොත් කියන කථාවේ ඇත්ත නැත්ත දැන ගත හැකි නො වන්නමෝ මැ යැ)” යි ඒ භික්ෂූහු උත්තර දුන්හ.
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියතොත්, එහි තොප විසින් ‘මේ කාරණයෙනුත් මෙය අභූතයෙකි. මේ කාරණයෙනුත් මෙය අසත්‍යයෙකි. මේ කියන දෝෂය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි අවිද්‍යාමාන යැ’ යි නැති දොස් නැති සැටියට ම ලිහා ඉවත් කළ යුතු ය”.