මීටර් සියය

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    මුදලිහාමි , හෙට හවස ගෙදර වැඩක් මුකුත් තියෙනවාද ? '
    ' වැඩක් නං නෑ මහත්තයා '
    ' හෙට හවස මාත් එක්ක කැකිරාවට යන්න ලෑස්ති වෙලා එන්න පුළුවන් ද ? '
    ' පුළුවන් මහත්තයා '
    ' එහෙනම් ඉස්කෝලේ ඇරිලා මාත් එක්ක කැකිරාවට යනවයි කියලා ගෙදර අයට කියලා එන්න ඕනෑ '
    ' හොඳයි මහත්තයා '
    ' දැන් අනිද්දා නේ කොළොඹ යන්නේ . එහෙ ගිහිං දුවනකොට මෙහෙදි වාගේ සරම පිටපට ගහගෙන දුවන්න බෑ . මුදලිහාමිට මගේ ගණනේ කලිසමක් මස්සලා දෙනවා . හෙට ගිහින් මිම්ම දීලා එමු '
    ' හොඳමයි මහත්තයා '
    ' දැන් එහෙනම් ගෙදර යන්න '
    මගේ ඉහේ මල් ගොන්නක්ම පිපුණා වාගේ මට දැනුණා. අළුත් මහත්තයා ආවට පස්සේ ඉස්කෝලේ කලින් තිබුණු පාළු ගතිය දැන් නෑ . ළමයිනුත් වෙන දාට වැඩියෙ ආසාවෙන් ඉස්කෝලේ එනවා . පසු ගිය වාරේ අපේ ඉස්කෝලේ උත්සවයක් තිබුණ. ඒකට මුල් වෙලා වැඩ කෙරුවෙත් අලුත් මහත්තයා . ඒකෙන් දහතුනෙන් පහළ මීටර සියය දිවීමේ තරඟෙන් පළමු වැනියා වුණේ මමයි . ඒ පාර අළුත් මහත්තයා මා කැකිරාවටත් එක්ක ගියා . එහෙදිත් මං පළමු වැනියා වුණා . ඊට පස්සේ අනුරාධපුරේටත් එක්ක ගියා . එහෙදිත් මං පළමු වැනියා වුණා . එදා තමයි මං ඉස්සරවෙලාම අනුරාධපුරේ ගියේ . මගේ අම්මේ අනුරාධපුරේ කඩ සාප්පු තියෙන තරම් ! ඒ වාගේ මයි ඒවායේ තියෙන දේවල් . අපේ ගමේ විදානෙගෙ කඩෙත් කඩයක්ද කියලා මට හිතුනා . කොළඹ ඊටත් වඩා ලොකු සාප්පු ඇති .සාප්පු විතරයැ ? කොළඹ මූදත් තියෙනවාලු . මූද අපේ වැව වාගේ නෙවෙයි . කලා වැවටත් වඩා හුඟක් ලොකු ඇති . ඒකේ නැවු යනවාලු . කොළඹ වරායකුත් තියෙනවාලු . මට ඒ ඔක්කොම බලන්න පුළුවන් වෙයි .
    මං එදා ඉස්කෝලේ ඉඳලා ගෙදර ආවේ කොහොමද කියලා මට ම මතක නෑ . වෙනදා පාරේ තියෙන වක්කඩවල් , ඒ දඬු , වැට කඩුලු එදා තිබුණාද කියලා වත් මට මතක නෑ .
    ' අම්මේ හෙට අළුත් මහත්තයාත් එක්ක මං කැකිරා යනවා '
    ' ඒ මොකටද '
    ' මට ඉන් අනිද්දා කොළඹ යනකොට ඇඳ ගෙන යන්න කලිසමක් මස්සන්න , අළුත් මහත්තයා මස්සලා දෙන්නම් කිවුවා '
    ' හැබෑට ? ඉතින් උඹට එහෙදීත් දිනන්න පුළුවන් වෙයි ද ? කොළඹ රටේ ළමයි බොහොම හපන්නු ලු '
    ' මහත්තයා කිවුවා තරඟෙට යන්නේ දිනන්නම නෙවෙයි කියලා . මේ ඉස්කෝලෙන් ඒ තරඟෙට ඉදිරිපත් කරන්න ලැබුණු එකත් ලොකු දිනුමක් ලු .'
    ' හ්ම්, එහෙනම් ඔය සරමයි බැනියමයි ගලෝලා දියං හෝදලා දාන්න . යනකොට කිළුටු ඇඳගෙන ගිහැකැ ? අන්න කුස්සියේ මයියොක්කා තම්බපුවා ඇති . මඩක්කුවේ ලුණුමිරිස් ඇති . අප්පොච්චිටත් ලුණු මිරිස් ටිකක් ඉතුරු කරලා කාපං '
    මං අමුඩේ ගහගෙන සරමයි බැනියමයි ගලෝලා අම්මට දුන්නා , අම්මා ඒවත් අරං වැවට ගියා , මං කුස්සියට වැදුණා .
    අළුත් මහත්තයා මට කලිසමක් විතරක් නෙවෙයි ලස්සන කමිසෙකුත් අරං දුන්නා , මං ගෙදරදි තුන් හතර සැරයක්ම ඒවා ඇඳලා බැලුවා .
    මහත්තයයි මායි ඉස්ටේසමට ඇරලලා අපේ අප්පොච්චි යන්න ලැහැස්ති වෙලා මගේ ඔළුව අත ගාලා ' පුතා අයියනායක දෙයියංගේ පිහිටෙං ගිහිං වරෙං ' කියලා කිවුවා . එළිය වැටෙන්න කලින් කිරි ටික දෝගන්න තියෙන හින්දා මිසක් නැත්තං අපි කෝච්චියට ගොඩ වෙන කල්ම අප්පොච්චිත් ඉස්ටේසමේ ඉඳියි .
    අද කෝච්චිය වෙන දාට වඩා පරක්කුයි වාගේ . වෙන දා නං කුකුළා දෙසැරේ අඬලනකොඅට කෝච්චිය හූ තියාගෙන එනවා අපේ ගෙදරට ඇහෙනවා . එතකොට තමයි මං නැඟිටින්නේ . අද නං කෝච්චිය හුඟක් පරක්කුයි . කොඩි අත බාන මිනිහාට මතක නැති වෙලා වත් ද ? කොඩි අත පාතට බානකල් කෝච්චිය එනවා යැ . අළුත් මහත්තයා ඉස්ටේසමේ මහත්තයා එක්ක කතා කර ඉන්නේ කෝච්චිය ගැන වෙන්න ඇති . චිඃ , මේ කෝච්චිය අද එන්නේ නැතුවා වත් ද ? පහුගිය සුමානේ දවසක් ඉහළගම හරියේ දී කෝච්චිය පීලි පැන්නා ලු . අදත් එහෙම එකක් වෙලා වත් ද ? එහෙම වුනොත් අපිට කොළඹ යන්න බැරි වෙයි . එතකොට තරඟ දිවිල්ලත් ඉවරයි . කොළඹ බැලිල්ලත් ඉවරයි . චිඃ ! අපරාදේ . නෑ නෑ , කෝච්චිය ආවේ නැතත් මහත්තයා කොහොම හරි මා කොළඹ එක්කන් යයි . ඒ මහත්තයට ඕනෑ එකක් කරන්න පුළුවන් . හරි උගතා . සල්ලිත් තියෙනවා . අපේ ඉස්කෝලේ තියා මේ කෝරළේ වත් නැතුව ඇති එච්චර හොඳ මහත්තයෙක් .
    ' මුදලිහාමි නින්ද ගිහින් ද ? දැන් කෝච්චිය ළඟයි , කෝ අර පාර්සලේ . ඒක අමතක කරන්න එපා '
    මං කල්පනා කර කර උන්නේ මගේ ඇඳුම් පොදියත් තුරුල් කරගෙන මයි . මහත්තයට ඒක පේන්නේ නැතුව ඇති . මට නින්ද ගිහිං කියලා මහත්තයට හිතුණට මොකද මට ගෙදරදීවත් හොඳට නින්ද ගියේ නෑ . නින්ද යාගෙන එන කොටම කොළඹ කෝච්චිය එනවා වාගේ ඇහෙනවා . මං ගැස්සිලා ඇහැරෙනවා . අර පෙනෙන්නේ කෝච්චියේ එළිය , ගස් අස්සෙන් එහාට මෙහාට හැරෙනවා . රෑට පොල්ගස්වල ඇට්ටි කන්න වඳුරෝ ඇවිත්ද කියලා විදානේ මාමා බැටරිය අල්ලනවා වාගේ . කෝච්චියේ හුඟක් හිටියොත් මට ගොඩ වෙන්න බැරි වෙයි වද්ද ? කොහොම හරි ඇතුළට රිංගා ගත්තොත් ඉඳගන්න නං නැති වුණත් කමක් නෑ . ඒක වැඩියෙන් හොඳයි . මට ජනේලයක් අයිනේ සිට ගෙන වට පිට බල බලා යන්න පුළුවන් . දැන් කළුවර වුණාට තව ටික වෙලාවකින් ඉර පායයි නේ .
    මේ කෝච්චිය මෙතන නවත්තන එකක් නෙවෙයි වත් ද ? එනවා තද වැඩියි . නෑ නෑ , ඔය ටික ටික සැර බාල වෙන්නේ .
    ' මුදලිහාමි , හ්ම් '
    අළුත් මහත්තයා මගේ අතින් අල්ලා ගෙන කෝච්චි පෙට්ටිවලට එබිකම් කර කර යන්නේ ඒවා ඉඩ නැති හින්දා වෙන්න ඇති . එක පෙට්ටියකවත් ඉඩ නැතුව ගියොත් ?
    ' හා නඟින්න මුදලිහාමි , ඉක්මනට නඟින්න '
    කෝච්චි පෙට්ටියේ සෙනඟ හත් අට දෙනෙකුට වැඩිය නෑ . ඒ ගොල්ලොත් බංකුවල දිගෑදිලා . ඒත් අපිට ඉඳගන්න ඕනෑ තරම් ඉඩ තියෙනවා . කොළඹ ගිහින් ආපුහාම අපේ මහත්තයාට කිරි මුට්ටියක් මුදෝලා ගිහින් දෙන්න ඕනෑ . මේ සැරේ ගොයම් පාගපුහාම අළුත් බත් කන්න හාල් ටිකකුත් ගෙනිහිං දෙනවා . අවුරුදු නිවාඩුවට ගමට යනකොට වේළාපු මුව මස් ටිකකුයි මී පැණි බෝතලේකුයි හොයලා දෙන්නත් පුළුවන් වුණොත් ? චඃ , මට හිතෙන දේවල් කියන්න අම්මා හරි මල්ලි හරි නෑ නේ . ගිහිං ඇවිත් වත් කියන්නංකෝ .
    කෝච්චියෙදියි මං ඇඳුම් මාරු කළේ . අපි කොළබට එනකොට උදේ අටට විතර ඇති . ඉස්ටේසමේ පෙරහැර වාගේ සෙනඟ . අපේ අපුච්චේ ; රේල් පාරවල් කීයක් තියෙනවාද ? හැම පාරකම කෝච්චි . අපි රේල් පාරවල්වලට උඩින් තරප්පුවක නැගලා ගිහින් ආයෙත් බැහැලා ඉස්ටෙසමෙන් එළියට ගියා . කිරි අපුච්චේ ! සෙනඟ ඉන්නේ මෙහේ නේ . සෙනඟ විතර යැ , කාර් , බස් , ලොරි රේස් යනවා වාගේ . අප්පේ ! මේවා කොහේ ඉඳලා ඇවිත් ද? තට්ටු පිට තට්ටු ගෙවල් . කඩ සාප්පු කෙළවරක් නෑ . අපේ ගමේ කවුරුවත් මේවා දැකලා නෑ . ඒ ඇත්තෝ කොළඹ විස්තර අහන්න අපේ ගෙදරට එයි . මං ඔක්කොම කියලා දෙනවා .
    අපි තේ බොන්න හෝටලේකට ගිහිං වාඩි වුණා . ඒකේ එළිය පොලු වහලේ හයි කරලා ; බලන්න පුදුමයි . අපි ඉඳගත්ත මේසේ එක එල්ලේම වහලේ එල්ලල්ලා තිබුණු රූංපෙත්ත හරි තදෙන් කැරකෙනවා . ඒ වගේ රූංපෙති තුන හතරක්ම තියෙන්නේ මොකද ? රූංපෙති කැරකෙනකොට හුළං හෝ ගාලා ඇවිත් ඇඟේ වදිනවා .
    අපි තේ බීලා බස් එකකින් තරඟ පොළට ගියා . ඒක හරි විසාල පිට්ටනියක් . අළුත් මහත්තයා මට ඉන්න තැනක් පෙන්නලා කොහේ දෝ ගියා . මං මෙතනින් හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕනෑ . අප්පේ ; එන ළමයි කන්දරාව ! සුදුපාට සපත්තු මේස් දාලා සුදුපාට ඇඳුම් ඇඳලා , බලන්න ලස්සනයි . මේ ඔක්කොම කොළඹ වෙන්න ඇති . කොළඹ ළමයි හරි හපන්නු ලු . ඒ ළැමයි ළඟ ඉන්නේ ඒ ඇත්තන්ගේ ඉස්කෝලේ - නෑ නෑ , මේ තියෙන්නේ කොලීජි නේ - ඒ කොලීජිවල මහත්තුරු,නෝනලා වෙන්න ඇති . එහෙනං ඒ ළමයි අච්චර තදෙන් හිනා වෙවී කෑ ගහන්නේ ? අපේ ඉස්කෝලේ ළමයි නං මහත්තුරු ළඟදී ඔහොම කෑ ගහන්නේ නෑ .
    ආ , අන්න තරඟය පටන් අරගෙන නේද ? ඉඳා ! ඔක්කොම දුවන්නේ සපත්තු දාගෙන .මට සපත්තු නැති හින්දා දුවන්න දෙන එකක් නැද්ද ? අපේ මහත්තයා ඒක අහන්න ගියා වත්ද ? සපත්තු නැතුව දුවන්න දෙන්න බෑ කියයිද ?
    ' මුදලිහාමි , ඔය දුවන්නේ දහසයෙන් පහල මීටර සීය. ඊ ළඟට තමයි දහ තුනෙන් පහළ මීටර සීය . ඒකට තමයි මුදලිහාමි ඉන්නේ . දැන් නොම්මරේ කියනකොට මුදලිහාමි අර තරඟ පටන් ගන්න තැනට යන්න ඕනෑ . මුදලිහාමි බය වෙන්න එපා , දිනන්න පුළුවනි '
    අපේ මහත්තයා මගේ කමිසය ගලවලා ඊට යටින් තිබුණු බැනියමේ දෙපැත්තේ විසි හතේ නොම්මරය ගහපු කොළ තියලා කටු ගහන ගමන් කිවුවා .ඉස්සරහ නොම්මර කොළේ තව ඇබිත්තක් පළල් වුණා නම් මගේ බැනියමේ ඉස්සරහ තියෙන කජු පුහුළං කහට පැල්ලම වැහිලා යයි . දැන් ඒකෙන් ටිකක් පේනවා . ඒක දැකලා කොළඹ ළමයි ඔච්චං කරයි ද ?
    ' අන්න නොම්මර කියවනවා . මුදලිහාමි යන්න . හොඳ පුතා වගේ කප් එක ගහන්න . '
    මහත්තයා එහෙම කියනකොටම , මං තරඟ පටන් ගන්න තැනට යන්න පිටත් වුණා . මං කොහොම ගියොත් ද හොඳ ? හැල්මේ දුවගෙන යනවාද , ඉක්මනට අඩිය තියලා අඩි ගමනෙන් යනවාද ? අර ලමයා නම් දුවගෙන එනවා . මාත් එහෙම යනවා . මං යන හැටියෙන් හැටියෙන් කාටත් හිතෙයි මං ගොඩේ කොල්ලෙක් කියලා . මම හැල්මේ දුවන්න ඕනෑ . ආ , අර දුවන්න ආපු ළමයි මොනවා කරනවාද ? දුවනවා ; දුවනවා ; එත් එතනමයි . හපන්නු දුවන්න ලෑස්ති වෙන්නේ එහෙම වෙන්නෑ . ඔක්කොම සපත්තු කාරයෝ . පෙළක් ළමයින්ගේ සපත්තුවල උල් හයි කරලා . මං ඉස්සර වෙලා දුවනකොට ඒ ගොල්ලො කකුල පෑගුවොත් පතුරු යයි . මට බැරි වෙයිද මේ ළමයි එක්කලා දුවලා දිනන්න ? මේ ඇත්තෝ කොළඹ කොලීජි වල ළමයි . ඔක්කොම මට වැඩිය ලොකුයි . ඒ ඇත්තන්ට කොලීජියේදී දුවන්නත් උගන්නනවාලු . දුවන්න ඉගෙන ගන්න තියෙන්නේ මොනවාද ? එදා මං ටිකිරි අයියගේ රබ්බඩ නාම්බා පස්සෙන් අඹලා ගිහින් ඉස්සරහ රැක්කේ ඉගෙන ගෙනයැ . මං හරක් කී දෙනෙක් ගේ පස්සෙන් අඹලා අල්ලලා තියෙනවාද ? ඒත් මේ වාගේ හොඳට සුද්ද කරපු පිට්ටනි වල යැ . කටු ගාල අස්සෙන් , ගල් මුල් උඩින් , වැටවල් උඩින් පැන පැන නේ හරක් පස්සේ අඹන්නේ . නෑ මට දිනන්න පුළුවනි . මං දිනුවොත් අපේ අප්පොච්චිලා අම්මලා මල්ලිලා හෙම හරියට සතුටු වෙයි . ආ ! මේ මං ගාවම ළමයෙක් උල් හයි කරපු සපත්තු දාලයි ඉන්නේ . එයා මගේ කකුල පාගයි ද ?
    ' කමෝන් සරෝජ් '
    ' කමෝන් ප්රියාන් '
    ' කමෝන් ජනක් '
    ඔය නම් කිය කියා හතර පැත්තෙන්ම කෑ ගහන්නේ මාත් එක්ක තරඟෙට දුවන්න ඉන්න ළමයින්ට වෙන්න ඇති . කවුද ඉතින් කමෝන් මුදලිහාමි කියන්න ඉන්නේ ? එදා ඉස්කෝලෙදී නං කමෝන් මුදලිහාමි කියලා අපේ නිවාසේ ළමයි කෑ ගැහුවා . එතකොට මගේ හිතට ලොකු හයියක් ආවා .
    ' දැන් මේ ළමයි පෙළට ඉන්න . මම සැරසේන් , එල්ල වේන් කියලා වෙඩිල්ල පත්තු කරනකොටම දුවන්න පටන් ගන්න ඕනෑ .
    තමන්ට අයිති ලේන් එකේම , ඒ කිවුවේ ඔය දැන් ඉන්න ඉරි අතරෙම දුවන්න ඕනෑ . තේරුණාද ? හොඳයි දැන් සූදානම් වෙන්න .
    සැරසේන් !
    එල්ල වේන් !
    ඩෝං !
    ආ , උල් සපත්තුකාරයා මට ඉස්සර උනා නේද ? ඒත් එයාට ටිකිරි අයියාගේ රබ්බඩ නාම්බා විතර හයියෙන් දුවන්න පුළුවන්ද ? මේකේ දුවන එක මහ කජ්ජක් ද ? ඔය ළං වෙන්නේ , තව ටිකයි , තව ටිකයි . ඔය දැන් හොඳටම කිට්ටු වුණේ . මට දිනන්න පුළුවනි . දැන් හරි , දැන් කරට කර මගේ කකුල් පණ නැතිව යන්න එනවාද ? මළත් කමක් නෑ , තව තදෙන් දුවන්න ඕනෑ . දැන් හරි . උල් සපත්තුකාරයා පහු වුණා . මිනිහට මගේ කකුල පෑගෙයි ද ? කකුල් කැඩිලා ගියත් කමක් නෑ , තව හයියෙන් දුවන්න ඕනෑ . දැන් නං උගුර කට හොඳටම වේලිලා . ආ , සපත්තු සද්දේ ළඟම ඇහෙනවා . ආපසු බලන්න හොඳ නෑ . දැන් පටිය ළඟයි . කොනොම හරි ඒක බිඳගෙනම යනවා . පටිය කඩාගෙන ගියාට පස්සේ මැරිලා වැටුනත් කමක් නෑ . හ්ම් , හරි මං දිනුම් .
    මේ මොකද ? මගේ අතින් අල්ලාගෙන කොහෙද මේ එක්ක යන්නේ ? උල් සපත්තුකාරයත් කවුදෝ එක්කර ගෙන එනවා .
    ' නඟින්න උඩම තට්ටුවට '
    මගේ අතින් අල්ලාගෙන ගිය මහත්තයා පඩිපෙළක් වගේ එකකට මට නඟින්න කිවුවා . මං නැංගා .
    ' මෙන්න තවත් තරඟ ප්රතිඵලයක් '
    ' දහ තුනෙන් පහළ මීටර සියය දිවීමේ තරඟය . පළමුවැනි ස්ථානය අංක විසි හත , කැකිරාව මණ්ඩලයේ දොඹෑව පාසලේ කළුබණ්ඩාගේ මුදලිහාමි '
    යකඩ කටින් එහෙම කියනවා මට හීනෙන් වාගේ ඇහුණා . එතකොටම සෙනඟ කෑ ගහන්න අප්පුඩි ගහන්න පටන් ගත්තා . හරියට බට කැලේ ගිනි ගත්තා වගේ . තව මොනවාදෝ යකඩ කටින් කිවුවා . සෙනඟ අප්පුඩි ගහන සද්දේ හින්දා ඒවා මට ඇහුණේ නෑ .
    මගේ දකුණු අත පැත්තේ පහළින් තට්ටුවේ හිටියේ උල් සපත්තුකාරයා . මං බිමට බැහැපු හැටියේම උල් සපත්තුකාරයා මං ළඟට ඇවිත් , ' ඔයා හරි හපනා , මං ඔයාට සුබ පතනවා ' කියලා මට අතට අත දුන්නා . අනික් පැත්තේ හිටපු ළමයත් එහෙම කළා . ඒ ඇත්තෝ හොඳ ළමයි .
    ' මුදලිහාමි දිනන බව මම සහතිකෙන්ම දන්නවා , හොඳ කොල්ලා '
    අළුත් මහත්තයා මගෙ කිහිලි දෙකෙන් උස්සලා මාව බිමින් තියලා මගේ ඔළුව අත ගෑවා . එතකොට මහත්තයාගේ ඇස්වල කඳුළු පිරුණා . සතුටේ බැරුව මගේ ඇස් දෙකෙත් කඳුළු පිරුණා ... '
     
    • Like
    Reactions: janish05656

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    Grade 7 - Sinhala - 1st chapter....... Nice Memories.

    Grade 7 - Sinhala - 1st chapter....... Nice Memories.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    a kale sinhala pothe padamak neda meka ?
    ape loku tattage puthage sinhala pothe thibila kiyewwa meka.... 1990 wage kale sinhala pothaka padamakda koheda
     

    OKman

    Junior member
  • Jul 20, 2015
    197
    13
    18
    The story explains the feelings of a kid very well. i also went thorough same feelings in several times.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අට වසර සින්හල පොතේ පලවෙනි පාඩම.
    අපිට අවුරුද්දකට දෙකකට කලින් සිලබස් එක වෙනස් උනා.කොහෙන්ද මන්දා පරනසිලබස් එකේපොතක් හම්බවෙලාකියෙව්වේ