කල්පය ගැන බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් මෙලෙස විමසුවා. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පයකට අවුරුදු ගණන කීය ද? බ්‍රාහ්මණය, අවුරුදු වලින් සියය යි. දහස යි, දස දහස යි යනුවෙන් අවුරුදු ගණනින් කල්පය යනු කුමක්දැ’යි පවසන්න අසීරු යි. එහෙමනම්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පය තේරුම් ගන්නේ කෙලෙසදැ’යි සඳහන් කරන්න. එවිට බුදුන් වහන්සේ උපමා දෙකක් වදාළා. එනම්, යොදුනක් උස, යොදුනක් දිග , යොදුනක් පළල විශාල අබ කන්දක් ගැන සිතන්න. යොදුනක් යනු සැතපුම් දාසයක්. එනම්, සැතපුම් දාසයක් උස, සැතපුම් දාසයක් පළල, සැතපුම් දාසයක් දිග අබ කන්දක් ගැන සිතා ගන්න. අවුරුදු සියයකට එක වතාවක් එක අබ ඇටයක් බැගින් ඉවත් කරන්න. නැවත අවුරුදු සියයක් ගිය තැන එක අබ ඇටයක් ඉවත් කරන්න. මෙලෙස අවුරුදු සියයකට එක අබ ඇටය බැගින් ඉවත් කිරීම නිසා යම් දවසක් එනවා ද, මේ අබ ප්‍රමාණය ම අවසන් වෙනවා ද? කල්පය එතරම් ම දීර්ඝ යි යනුවෙන් සඳහන් වෙනවා. තවත් උපමාවක් බුදුන් වහන්සේ පෙන්වා වදාළා. එනම්, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උසට විශාල තනි ගල් පර්වතයක් ගැන සිතන්න. කුහර නැති, සිදුරු නැති මේ තනි ගල් පර්වතය කෙනෙක් සිනිඳු ම සළුව වන කසී සළුවකින් අවුරුදු සියයකට එක වතාවක් පිසගෙන යනවා. මේ නිසා ම යම් විදිහකින් ගෙවීමක් සිද්ධ වෙනවාද? එලෙස ගෙවී ගොස් සළුවේ පිස දැමීම නිසා ම ගෙවී යන මේ ගල් පර්වතය ම ගෙවී අවසන් වී එන කාලයක් වේද, ‘මහණෙනි, කල්පය ඒ වගේම යැ’යි වදාළා.