ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මලාව පුරාවටම විවිධ වංශ වත් පවුල් වලට අයත් සංකේත අපි දකිනවා. ඒවා අපි ප්‍රොෆයිල් පික් වලට කවර් ෆොටෝ වලට එහෙමත් දාගෙන ඉන්නවා. මාටින් සීයාගේ පොත් වල ඒ ඒ පවුල් වල සංකේත නොහොත් සිජිල්ස් (sigils) මෙසේ විය යුතු යැයි සරලව විස්තර කොට තිබුනද ඇඳ පෙන්වා නෑ.
එසේනම් මේ චිත්‍ර සටහන් සැබෑවටම කාගේද?
ඒවා එසේ නිර්මාණය කලේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි කතා මාලාවේ ප්‍රධාන ග්‍රැෆික් නිර්මාණ ශිල්පියා විදිහට කටයුතු කළ ජිම් ස්ටේන්ස් විසිනුයි.
ඒ අනුව, ලැනිස්ටර් වංශයේ අපි දකින සිංහ සලකුණත්, ස්ටාක් වංශිකයන්ගේ වෘක සලකුණත්, ටාගේරියන් වංශිකයන්ගේ ඔලු තුනේ මකර සලකුණත් , ග්‍රේජෝයි වංශිකයන්ගේ ක්රාකේන් සලකුණත්, මෙන්න මේ විදිහට විය යුතු යැයි මුලින්ම ඇඳී ඇත්තේ ඔහුගේ මනසේයි.
එපමණක් නොව, කතාව පුරා අපි දකින එම වංශ වලට අයත් රණ කොඩි, සන්නාහ, පළිහ ආදියේ විවිධ විදිහට චිත්රනය වී, කැටයම් වී ඇති එම සලකුණු වල ව්‍යුත්පන්න ආකාරයන්ද ඔහු ප්රමුඛ ඔහුගේ ග්‍රැෆික් නිර්මාණ කණ්ඩායමේ නිර්මාණයි.
ඊට අමතරව කතාව පුරා ඔබ දකින, සිතියම් සියල්ලද ඔහුගේ නිර්මාණ වන අතර ගෑන්ඩ් මේස්ටර්වරුන් , රජවරුන්, විවිධ අවස්තාව වලදී පෙරලා බලන වෙස්ටරෝස් ඉතිහාසය ලියැවුනු පොත් වල ඇති අකුරු සහ රූප වලද පිටුපස සිටින කලාකරුවා ඔහුයි.
කතා මාලාවේ හත් වෙනි භාගයේ පළමු කතාංගයේ තැනක සර්සි රැජිණිය, වෙස්ටරෝස් යටත් කරගැනීමට ඇයට ඇති නොදැමුණු අවශ්‍යතාව කියාපාමින් මාළිගාවේ පොළොව මත ඇදි විශාල සිතියමක ඇවිද යන දර්ශනය ඔබට මතක ඇති.
මීටර් දහයක් පමණ දිගින් සහ අටක් පමණ පළලින් යුතු මෙම දැවැන්ත සිතියම, පරිඝණක දෘශ්‍ය ප්‍රයෝගයක් නොව, සැබෑවටම ඇඳි එකකි. එහිත් සැබෑ අයිතිකරුවා වන්නේ ජිම් ස්ටේන්ස්මයි.
"අපිට මුලින්ම සිතියමේ ප්‍රමාණය කිව්වා. ඒ ප්‍රමාණයට වෙස්ටරෝස් සිතියමක් ඇඳලා ඕනෙ කිව්වා. මට මධ්‍යතන යුගයේ සිතියම් ඇඳලා හොඳ පලපුරුද්දක් තියෙනවා . මුලින්ම මම සිතියම පොඩියට ඇන්දා. ඉන්පස්සේ චිත්‍ර ශිල්පීන් ලවා තමා මේ ලොකු සිතියම ඇන්ඳේ. වර්ග සෙන්ටිමීටර හැට ප්‍රමාණයෙ MDF ටයිල් මත ඇක්‍රිලික් තීන්ත භාවිතා කරමින් සිරස් අතට තියාගෙන කොටස් වශයෙන් ඇඳලා, ඉන්පස්සේ කාර්මිකයන් ලවා පොලොව මත හයි කලා. ඒ වගේම ඒක මත ඇවිදින්න පුලුවන් වෙන විදිහට සපත්තු වලට ඔරොත්තුදෙන විදිහටයි අපි ඒක හැදුවෙ ..." ඒ කාර්ය ඔහු විස්තර කලේ එලෙසින්.
මෙම සිතියම සැබෑ ලෙසටම, සැබෑ පරිමාණයටම උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හි ටයිටැනික් ස්ටූඩියෝව තුළ නිමැවුනා. එම දර්ශනය විනාඩි කිහිපයකට සීමා වුනත්, මෙම සිතියම සඳහා දසදෙනකුගෙන් පමණ සැදුම්ලත් කණඩායමක් සති හයක් පමණ වෙහෙසී තිබෙන බව ඔබ දැන සිටියාද?
එසේම, ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව පුරාවටම ජිම්ගෙන් ලද දායකත්වයට ගරු කිරීමක් වශයෙන් එම දර්ශනය තුළ පෙනී සිටීමටත් (Cameo) ඔහුට අවස්තාවක් ලැබුණා.
ඔව්! අර සර්සි එතැනට එද්දී එම සිතියම අඳිමින් සිට පසුව සර්සිගේ අණ පරිදි එතැනින් ඉවත්ව යන මහලු චිත්‍ර ශිල්පියා ඔබට මතකද?
ඒ තමා ජිම් ස්ටේන්ස්!!
