කොඩිතුවක්කු සිරිසේන නාගානන්ද කියන පුද්ගලයා මට මුණගැහෙන්නෙ 2018 වර්ෂයේ අගභාගයේ. රටේ තිබෙන දේශපාලන තත්ත්වය ගැන කලකිරීමක් සහ රට ගැන අවංක ආදරයක් තිබූ මගේ කිට්ටුවර මිතුරන් කීප දෙනෙක් නාගානන්ද සමග එක්වෙලා දේශපාලන වෙනසක් කරන්න සූදානමකින් සිටියා. ඒ වෙනස කරන්න නම්, දූෂණයෙන්, වංචාවෙන් තොර මනුස්සයකු නායකත්වයට පත්විය යුතු යැයි ඔවුන් කල්පනා කළා. ඉතින් මටත් නාගානන්ද හමුවෙන්න ආරාධනාවක් ලැබුණා, සහ මමත් ගිහින් හමුවුණා.
ඔහු පෞද්ගලිකව මුණගැසුණු පළමු දවසේ ම, නාගානන්ද ජවනිකාව ඛේදාන්තයකින් අවසාන වෙන බව මට ඉවෙන් වගේ වැටහුණා. මාව එක්කං ගිය පුද්ගලයට පවා මම කිව්වේ, "මේ මනුස්සයා නම් අනාගන්නව" කියල. ඒකට හේතු රාශියක් තිබුණා. අනෙක්වා සේරම පැත්තකින් තිබ්බත්, ඔහුගේ තිබුණු ලොකු ම අවුල වුණේ දැඩි ආත්මකේන්ද්රීයතාව (self-centric) සහ දැඩි ඊගෝව. තමන් දරන මතය සර්වනිර්දෝෂයි, 100% නිරවද්‍යයි, ආයේ ඒකෙ ප්‍රශ්න කරන්න දෙයක් නැහැයි කියන දැඩි විශ්වාසයක තමයි ඔහු හිටියේ. මා ඔහු හමුවෙන්න එක්කං ගිය මගේ අතිජාත මිතුරන් දෙදෙනා මා එක්කං ගියේ, මා දන්නා දෙයින් ඔහුට සහයක් දෙන්න පුළුවන්දැයි බලන්න. නමුත් මා හිතන්නෙ නෑ මා කියාපු කිසිම දෙයක් ඔහුගෙ මතකයේ රැඳුණ කියල. ඒ මුළු කාලය ම ඔහු ගතකළේ තමන්ගේ දේශපාලන දර්ශනය අපට කියාදෙන්න.
මේ ආත්මකේන්ද්රීයතාව ඍජුව ම ප්‍රකාශ වෙන මොහොත තමයි ඔහු තමන්ව ම හඳුන්වාගන්නා ආකාරය. ඔහු කිසිවිටෙකත් "මම, මා, මගේ" කියන්නෙ නැහැ. ඔහු නිතර ම කියන්නෙ "නාගානන්ද, නාගානන්දට, නාගානන්දගේ" යනුවෙන්, තමන්ව ම තුන්වැනි පුරුෂයට දමාගෙන. මා හිතන හැටියට ඒ ඔහු දැඩි බෞද්ධයකු නිසා වෙන්න ඇති. බෞද්ධයකු ලෙස ඔහු විශ්වාස කළා තමන් යම්කිසි ලෝකෝත්තර තලයකට පැමිණ ඇති බව. මා හිතන්නේ ඔහු "මම, මගේ" නොකියා "නාගානන්ද" කියන්න හේතුවත් ඒකයි. "මම" නොකියා "නම" කීවා කියා "මම" නැතිවෙන්නෙ නැති බවත්, "මම" වෙනුවට "නම" කීම තුළ තියෙන්නෙත් එක්තරා මමත්වයක් ම පමණක් බවත්, නාගානන්දගේ කිට්ටුවෙන් හිටපු මගේ මිතුරන් හට මා කියා ඇති.
ඊළඟ මාස කීපය ඇතුළේ ඔහුව කීප විටක් ම හමුවුණත්, වැඩි කතාවට නොයා ඉන්න මා තීරණය කළේ ඔහු ඇහුම්කන් දෙන්නෙක් නොව, කතාකරන්නෙක් බව වටහාගැනීම නිසා. ඒක මා ඔහුට මුහුණට ම, කීප විටක් ම කියා ඇති. නාගානන්දගෙන් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඔහු කරන්නෙ ප්රශ්නය ඇසූ කෙනාගේ ප්රශ්නය විසඳීම නොවෙයි; ප්රශ්නය වේදිකාවක් කරගෙන තමන්ගේ මතවාදය දේශනා කිරීම. සමහර අවස්ථාවන්හිදී ප්රශ්නය අසා ඉවර වෙන්නත් කලින් ඔහු උත්තර දෙන්න පටන්ගත් වෙලාවල් මා දැක තිබෙනවා. නාගානන්ද වටා හිටපු තරුණ පිරිස සෑහෙන උත්සාහයක් ගත්තා මේ දුර්වලකම් හරිගස්සන්න. ඔවුන් එහි ලා තරමක් දුරට සාර්ථක වුණා වෙන්නත් පුළුවනි. ඇත්තට ම යම්කිසි කාලයක නාගරික තරුණ පරපුර අතරේ ජවිපෙටත් වඩා ආකර්ෂණයක් දිනාගන්න ඔහුට හැකිවුණේ, ඔහුගේ දක්ෂතාවටත් වඩා ඔහු වටා සිටි තරුණ පිරිසේ අප්‍රතිහත ධෛර්යය හේතුවෙන් බවයි මගේ විශ්වාසය.
අවාසනාවකට දැන් මේ ලියන මොහොත වන විට නාගානන්ද යනු වංචනිකයකු බවට සමාජය විසින් හංවඩු ගසා අවසන්. මිනිසුන්ගෙන් ඡන්දයට ආධාර මුදල් ලබාගෙන, ඡන්දයට ඇප මුදල් නොබැඳීම තමයි ඊට හේතුව. ඇප මුදල් බඳින්න බැරිවෙන්න හේතුව තමයි නාගානන්දට පක්ෂයක් නොතිබීම. පක්ෂයක් නොතිබෙන්න හේතුව තමයි ඔහු ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම. ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේ අනෙක් සියලු කටයුතු කෙරුණේ අර මා කී තරුණ පිරිස අතින්. පක්ෂයක් සමග එකඟතාව ඇතිකරගැනීම පමණයි නාගානන්ද තනිව අතගහපු වැඩේ. ඒ කටයුත්තේදී ඔහු අසාර්ථකයි. ඇත්ත වශයෙන් ම, නාගාට පක්ෂයක් නැතිවීමේ අඩුව පුරවන්න, අර කී තරුණ පිරිස ඔහුව විවිධ සංවිධාන එක්ක මුණගැස්සුවා. නාගානන්ද UPM/NPM සමග එක ම වේදිකාවකට නගින්නෙත්, ඔහුගේ හැකියාවට වඩා අර කී තරුණයන්ගේ ධෛර්යය මත. නමුත් ඉන් එහාට ඒ වැඩේ කෙරුණේ නැහැ. NPM එකට අවශ්‍ය වුණේ නාගානන්ද තමන්ට එකතු කරගන්න මිස, තමන් නාගානන්ද වටා එකතුවෙන්න නොවෙයි. ඒ කටයුත්ත නොකෙරෙන කොට නාගානන්ද NPM එකෙන් ඉවත් වෙනව. ඉතිරි ව ඇති සීමිත කාලය තුළ පක්ෂයක් දිනාගන්න ඔහු අසමත් වෙනවා. පක්ෂයක අපේක්ෂකත්වය දිනාගැනීම, ඇප මුදල් බඳින්න සතියකට කලින් කරන්න පුළුවන් වැඩක් නොවෙයි. ඒක ඡන්දය ඉල්ලන මුල් කාලයේ ම කළ යුත්තක්. ඒ වැඩේ කරගන්න අතපසු කිරීමේ ප්‍රතිඵලය තමයි, මේ විදියට අසාර්ථක වෙන්න සිදුවීම.
නාගානන්ද හොරෙක්, වංචාකාරයෙක් කියල මම හිතන්නෙ නෑ. දන්නා තරමින් ඔහු එහෙමට ආර්ථික අහේනියක් ඇත්තෙක් නෙමෙයි. රේගු නඩුවලින් විශාල මුදල් ප්‍රමාණයක් උපයාගෙන, දැනටත් සුඛෝපභෝගී දිවියක් ගතකරන ඔහුට, මිනිස්සුන්ගෙන් ඡන්ද සම්මාදම් දාල පැනල යන්න අදහසක් තිබුණ කියල මම කල්පනා කරන්නෙ නැහැ.
නමුත්,
නාගානන්ද යනු මේ කාරණේදී ඉතා ම නොසැලකිලිමත් මිනිසෙක් බව නම් කිව යුතුයි. එක අතකට ඡන්දයට පෙර ම ඔහුගේ මේ අඩුපාඩුකම් ඉස්මතු වීම හොඳයි. සමහරවිට ඉදිරි අවස්ථාවකදී ඒ වැරදි නිවැරදි කරගෙන ආපසු එන්න ඔහුට හැකි වේවි. හැබැයි කොයික කරන්නත් කලින් දැන් මේ වැදී තිබෙන වංචනික ලේබලය සම්බන්ධව ඔහු වහා ම කරුණු පැහැදිලි කළ යුතුයි. එය කළ හැකි හොඳ ම ක්‍රමය වන්නේ ඡන්ද කටයුතු සඳහා සම්මාදම් කළ මුදලේ විගණන වාර්තාවක් ප්‍රසිද්ධ කිරීම. දෙවැනුව, තමන් ඇප මුදල් නොබැන්දේ ඇයිදැයි ජනතාවට පැහැදිලි කිරීම. තෙවැනුව, අනුශාංගික වගකීම් දරන්න ඔහුට හැකියාවක් නැති බව මේ සිද්දියෙන් පෙනී තිබෙන බැවින්, දේශපාලනයේ සියලු වගකීම් ඔහුගේ විශ්වාසවන්ත කමිටුවකට පවරා, නාගානන්ද ප්‍රතිපත්ති සම්පාදනයට පමණක් සම්බන්ධ වීම.