කොරෝනාවෛරසය පැතිරයාම හේතුවෙන් මේ වන විට මධ්‍යම චීනයේ නගර 10ක සංචාරක සීමා පනවා ඇතැයි වාර්තා වේ. මෙම නගරවල මිලියන විස්සක පමණ ජනගහනයක් සිටින අතර, මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.
සෙනෙසුරාදා (ජන: 25) වන විට 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ආසාදිත පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන්ය.
එමෙන්ම, තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන් ද කොරෝනාවෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන තිබේ. එක්සත් රාජධානියේ ද මෙම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයන් 14 දෙනෙකු රෝහල්ගත කර පරීක්ෂණ සිදු කෙරේ.
චීනයේ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු සහ රැකියාවල ද නිරත වන අතර, මේ අතරින් කීපදෙනෙක් බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළහ.
වූහාන් නගරයේ තත්ත්වය
වෛරසය හේතුවෙන් ගමනාගමනයට සීමා පැනවීමත් සමග වූහාන් නගරයේ දෛනික කටයුතු සියල්ල අඩාල වී ඇතැයි පාලි භාෂා කථිකාචාර්යවරයකු වන වූහාන් නගරයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිය හදාරන උපුල් ගමගේ පැවසීය.
"වූහාන් නගරයේ දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි වෙලා තිබෙනවා," ඔහු පැවසුවේය.
තමන් දන්නා පරිදි වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් අතරින් වෛරසය ආසාදනය වූවන් තවමත් වාර්තා වී නොමැති බව පවසන උපුල් ගමගේ ඔවුන් එකිනෙකා විවිධ සන්නිවේදන මාර්ග ඔස්සේ සම්බන්ධ වන බව පැවසීය.
"අපි ඉන්නේ ඉතා අවදානම් තත්ත්වයක. ශ්‍රී ලාංකික සිසුන් සියලුදෙනා එකතුවෙලා බීජිංවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ උසස් අධ්‍යාපන කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබෙනවා වූහාන්වල සිටින සියලු සිසුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කරන්න කියලා."
කෙසේනමුත්, වූහාන් නගරය සම්බන්ධයෙන් මේ වන විට පවතින නීති රෙගුලාසි අනුව එයින් පිටවීමට තවමත් ඉඩ නොමැති බව තානාපති කාර්යාලය සිසුන්ට දැනුම් දී ඇතැයි උපුල් ගමගේ පැවසීය.
"ශ්‍රී ලාංකික සිසුන් අනතුරේ වැටෙන්න පෙර ශ්‍රී ලංකා රජය ඉක්මන් පියවරක් ගත යුතුයි. තවමත් මේ සියල්ල පවතින්නේ සාකච්ඡා මට්ටමේ," ඔහු තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවට යාමට 'බලාපොරොත්තුවෙන්'
අද දින (ජනවාරි 25) පැවැත්වෙන චීන නව වසර සැමරුම වෙනුවෙන් එරට විශ්වවිද්‍යාල සිසුන් සිය ගම් බිම් බලා ගොස් ඇති නමුත්, විදෙස් සිසුන් බොහෝ පිරිසක් තවමත් විශ්වවිද්‍යාල තුළ රැඳී සිටින බව ටිඇන්ජින් නගරයේ වෙසෙන සිසුවියක වන නිමේෂා කසුනි පැවසීය.
"ශ්‍රී ලංකාවේ සිසුන් ඔක්කොම 80ක් විතර ටිඇන්ජින් ප්‍රදේශයේ ඉන්නවා. මම ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයේ 50ක් විතර ඉන්නවා. එයින් බොහෝ දෙනෙක් ගිය දවස් ටිකේ නැවත ශ්‍රී ලංකාවට ගියා මේ වෛරසය පැතිරීමත් සමඟ ඇති වූ බියත් එක්ක," ඇය පැවසුවාය.
"නමුත් තවත් 20 දෙනෙක් විතර ඉතිරි වෙලා ඉන්නවා. අපි ඔක්කොම එකට යන්න බලාගෙන ඉන්නේ."
සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් පිටතට නොයන ලෙසට පාලනාධිකාරිය උපදෙස් දී ඇති අතර, හදිසි අවශ්‍යතාවකට පිටතට යන පුද්ගලයෙකු ඉතා හොඳින් පිරිසිදු වී නැවත ගොඩනැගිල්ලට ඇතුළු විය යුතු යැයි නිමේෂා පැවසුවාය.
"අපිට එළියට යන්න එපා, කාමරය ඇතුළටම වෙලා ඉන්න කියල විශ්වවිද්‍යාලයෙන් උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ වගේම පොදු ප්‍රවාහන සේවය භාවිත කරන්න එපා කියලා තියෙනවා. අපි හොඳින් ඉන්නවා ද කියලා ගුරුවරු නිතර සොයා බලනවා."
ආරක්ෂක පියවරක් ලෙස නිර්දේශිත මුඛවාඩම් පමණක් පැළඳ සිටින ලෙස ද විශ්වවිද්‍යාල සිසුන්ට දන්වා ඇතැයි නිමේෂා තවදුරටත් පැවසීය.
'විශේෂ රෝහලක්'
මේ අතර වූහාන් හි වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයෙකු වන ලහිරු අසංකගේ අදහස එහි පවතින තත්ත්වය "දිනෙන් දින නරක අතට පත් වෙමින් පවතින" බවය.
"මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා චීන රජය නව රෝහලක් ගොඩනගමින් සිටිනවා. එහි වැඩ දින හයක් ඇතුළත නිම කිරීමට නියමිතයි," ඔහු පැවසුවේය.
"ඒ වනතෙක් වෛරසය ආසාදිත පුද්ගලයන් වෙන් කර තැබීමට රජය ක්‍රියා කරන තිබෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.
වූහාන් නගරයේ දිවිගෙවන තිහකට අධික ශ්‍රී ලාංකික සිසුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සිය නවාතැන්වලින් පිටතට යෑමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ආචාර්ය උපාධිය හදාරන උපුල් ගමගේ පැවසීය.
බොහෝ කඩ සාප්පු වසා දමා ඇති අතර, විවෘතව තිබෙන සීමිත ප්‍රමාණයේ භාණ්ඩ ඉතා අධික මිලකට අලෙවි කරන බව ඔහු තවදුරටත් පැවසුවේය.