මුන්දලම පොලීසිය සහ එම ස්ථානයේ සේවය කරන නිලධාරීන්ව ස්වයං නිරෝධායනය කිරීමට මහජන සෞඛය පරීක්ෂකවරුන් කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ, හදිසි අනතුරක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන මුන්දලම පොලීසිය තුළ රදවා සිටි සැකකරුවෙකුට කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛසරය ආසාධනය වී ඇති බවට හෙලිවීමත් සමගයි.
පසුගිය 08 වැනිදා මදුරන්කුලිය ප්‍රදේශයේදී වෑන් රථයක පා පැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුර සම්බන්ධයෙන් ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුව මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉතාලියේ සිට මෑතකදී දිවයිනට පැමිණි බව කියන එම සැකකරු තලවිල දේවස්ථානය දක්වා ගමන් කරමින් සිට ඇත.
පසුව සැකකරුව පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දූල් කාදර් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 11වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
බන්ධනාගාරයෙන් මුදා හැර ඇති සැකකරු පසුව අසනීප තත්ත්වයක් පෙන්නුම් කර ඇත. ඔහුට කොවිඩ් -19 වෛරසය ආසාධනය වී ඇති බවට සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගත් මුන්දලම පොලිසියේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් නිලධාරීන්ව ස්වයං නීරෝධයනය කිරීම අද (19) සවස ආරම්භ කර ඇත.
සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුත්තලම රිමාන්ඩ් සිර මැදිරිය මෙන් මීගමුව රිමාන්ඩ් සිර මැදිරියද ඔහු සමග රදවා සිටි සෙසු රැදවියන්ද නිරෝධායනය කිරීමට සිදුවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.