බුදුරජුන් විසින් කරන්නා වූ චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාව සාමාන්‍ය දේශනාව, සාමුක්කංසික දේශනාව යයි දෙපරිදි වේ. එයින් ඒ ඒ ස්ථානවලදී කොටින් කරන ලද චතුරාර්‍ය්‍යසත්‍ය දේශනාවෝ සාමාන්‍ය දේශනාවෝ ය. දැනට තිබෙන පොත්වල අඩංගු වී තිබෙන්නේ ද ඒ සාමාන්‍ය දේශනාවෝ ය.
එකිණෙහි ම නිවන් දැකීමට හේතු සම්පත් ඇති පුද්ගලයකු උන්වහන්සේ වෙත පැමිණි කල්හි උන්වහන්සේ පළමුකොට ඔහුට දාන කථා, ශීල කථාදියෙන් දහම් දෙසා ඔහුගේ සිත පිරිසිදු කොට, කර්මණ්ය කොට, අවසානයේ දී විස්තර වශයෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය දේශනා කරන සේක. ඒ දේශනාව අසන කල්හි එයට අනුව සිත යවන්නා වූ හේතු සම්පත් ඇති පුද්ගලයන්ගෙන් ඇතමෙක් සෝවාන් වෙති, ඇතමෙක් සකෘදාගාමී වෙති, ඇතමෙක් අනාගාමී වෙති, ඇතමෙක් රහත් වෙති. චතුරාර්‍ය්‍ය සත්‍යය දක්වා කරන ඒ දේශනාවට “සාමුක්කංසික දේශනාව” යයි කියනු ලැබේ.
බුද්ධ දේශනා අතුරෙන් සියල්ලට ම උසස් දේශනාව සාමුක්කංසික දේශනාව ය. එය වචන ලක්ෂ ගණනක් ඇති දීර්ඝ දේශනාවකි. එක් වරකදී එපමණ වචන රාශියක් බුදුන් වහන්සේට මුත් අන් කිසිවකු විසින් නො කිය හැකිය. බුදුරජාණන් වහන්සේ ආශ්චර්‍ය්‍ය පුද්ගලයෙකි. උන්වහන්සේගේ දේශනාව ද ආශ්චර්‍ය්‍යය. උන්වහන්සේට ඉක්මණින් කථා කළ හැකි බැවින් ස්වභාවයෙන් ම උන්වහන්සේ කරන එක් එක් ධර්ම දේශනාවක් ඉතා දිගය. උන්වහන්සේ විසින් දන් වළඳා අවසානයෙහි දන් දුන් දායකයන්ට වදාරන අනුමෝදනාව මඳක් වැඩිකොට දේශනා කරන කල්හි දීඝ නිකාය, මජ්ඣිම නිකාය පමණ වේ. සවස් කාලයේ විහාරයට ධර්ම ශ්‍රවණයට පැමිණෙන පිරිසට දේශනා කරන ධර්මය සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය යන නිකාය දෙක පමණ ඇත්තේ ය. දීර්ඝ දේශනාවක් වූ සාමුක්කංසික දේශනාව අසන පුද්ගලයන් හට එයින් සත්‍යාවබෝධය වන නමුත් ඒ දේශනාව තථාගතයන් වහන්සේ දෙසූ පරිද්දෙන් නැවත ප්‍රකාශ කළ හැකි වන පරිදි කිසි ම කෙනකුට පාඩම් නො වන්නේ ය. එබැවින් ඒ ධර්ම දේශනාව අද තිබෙන කිසි ම පොතකට අඩංගු වී නැත. ඒ දේශනාව කරන්නේ තථාගතයන් වහන්සේ පමණකි. සාමාන්‍ය මනුෂ්‍යයකු එක වචනයක් කියන කාලයේ දී වචන බොහෝ ගණනක් පවසමින් පර්වතයකින් ගලා යන ගංගාවක් මෙන් ඒ දේශනාව පවත්වන නමුත් ඒ ඉක්මන්කම නිසා අසන්නවුන්ට දේශනාව නොවැටහී යන්නේ ද නොවේ. ඒ දේශනාව වචනයකුදු නො හැර අසන්නවුන්ගේ සිතට කා වදින්නේ ය. එය ද මේ දේශනාවෙහි ඇත්තා වූ එක්තරා ආශ්චර්‍ය්‍යයකි.
චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධය කිරීමට තිබෙන ඉතා ම පහසු ක්‍රමය බුදු කෙනකුන් විසින් දෙසන ඒ සාමුක්කංසික දේශනාව ඇසීම ය. බෞද්ධයන්ට අනාගතයෙහි පහළවන යම්කිසි බුදු කෙනකුන් දැක උන්වහන්සේගේ බණ අසා නිවන් දක්නට ප්‍රාර්ථනා කිරීමට පුරුදු වී තිබෙන්නේ ද ඒ නිසා ය.
Source
Please BUMP & Share!
https://pitaka.lk/books/chathurarya-sathya/6.html
puluwan tharam ikmnta egoda wena eka thamai hondhama wede..