පප්පාගම කිව්ව ගමන් මුලින්ම අපිට මතක් වෙන කෙනා තමයි සූරපප්පා කියන්නෙ. ඇඟපතෙන් පොඩි උනාට සූරපප්පා හරිම දක්ෂයි. බුද්ධිමත්. බොහොම උපායශීලී මොළයක් තියෙනව. පප්පාගමට එරෙහිව රෝමන්කාරයො යුද්දෙට එද්දි සූරපප්පා තමයි සටනට නායකත්වය දීලා ඒක මෙහෙයවන්නෙ. බැරි වෙලාවත් කවුරු හරි වලියකට ආවොත් මැජික් අරිෂ්ටෙන් පොඩ්ඩක් දාගෙන ගහගන්නත් බැරි කමක් නෑ.
සූරපප්පා එක්කම ඊළඟට අපිට මතක් වෙන්නෙ ජිම්පප්පව. පොඩි කාලෙදිම අරිෂ්ට කල්දේරමකට වැටුණ නිසා යෝධයෙක් වගේ ඇඟේ ශක්තිය තිබ්බට ජිම්පප්පට සූරපප්පා වගේ මොළේ නෑ. ටිකක් විතර මෝඩයි. පොඩි ළමෙක් වගේ බොළඳයි. ඒ නිසාම වලියකට යුද්දෙකට යද්දි ගහගන්න ජිම්පප්පව අරන් ගියාට යුධෝපායන් ගැන තීරණ ගන්න එහෙම දෙන්නෙ නෑ. ඒව කරන්නෙ සූර පප්පා.
පප්පාගමේ අනිත් වැදගත්ම චරිතය තමයි වෙදපප්පා. එයා තමයි ගමේ ඉන්න වයසකම, බුද්ධිමත්ම, බහුස්රැතම චරිතය. ගමේ අයට වෙදකම් කරන එකයි මැජික් අරිෂ්ටෙ හදන එකටයි අමතරව සූරපප්පා ඇතුළු ගමේ කොයි කවුරුත් තීන්දු තීරණ ගද්දි උපදෙස් ගන්න එන්නෙ වෙදපප්පා ගාවට තමයි.
අන්තිමට කියන්න යන්නෙ මේ පින්තූරෙ ඉන්න කෙනා ගැන. අමුතුවෙන් අඳුන්වල දෙන්න ඕනෙ නෑනෙ මේ ඉන්නෙ ලොකුපප්පා. එයා තමයි පප්පාගමේ ලොක්කා. නායකයා. ඒත් ලොකුපප්පට සූරපප්පා වගේ උපායශීලී යුද ඥානයක් තියෙනවද? නෑ. ජිම්පප්පා වගේ ශක්තිමත් ඇඟක්? නෑ. වෙදපප්පා වගේ අත්දැකීම් බහුල බහුස්‍රැත බවක්? ඒත් නෑ. ඉතින් එහෙනම් මොන හත්ඉලව්වටද ඒ මනුස්සයව ගමේ නායකයා කළේ? මුකුත් බෑනෙ?
ලොකුපප්පාට ඔය එකක්වත් බැරි උනාට එයා ගමේ නායකයා වෙන්න හේතුව තමයි එයා දන්නව සුදුසු පුද්ගලයා සුදුසු වැඩේට ලස්සනට යොමු කරලා අවශ්‍ය වැඩේ කරගන්න. යුද්දෙට වෙදපප්පව යවල හරියන්නෙ නෑනෙ? ඒකට සූරපප්පව යවනව. ගමේ වැදගත් තීරණ ගැන උපදෙස් ජිම්පප්පගෙන් අහල වැඩක් නෑනෙ? ඒකට වෙදපප්පා ගාවට යනව.
සිංදු කියන එක අහගෙන ඉන්න අමාරු උනත් කෑකෝපප්පටම දෙනව.
අන්න එහෙම තමයි නියම නායකයෙක් තමන්ට තියෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඒව නියම විදියට කළමනාකරණය කරගන්නෙ. සීසර් කොච්චර බලවත් උනත් පප්පාගම කවදාවත් අල්ලගන්න බැරි වෙලා තියෙන්නෙ අරිෂ්ටෙ නිසා වගේම ඒ නායකත්වය හින්දම තමයි.
හැබැයි බැරි වෙලාවත් සූරපප්පා රෝමන්කාරයින්ට හොඳටම ගහලා යුද්ධයක් දිනල ආපහු ගමට ආපු වෙලාවක ගමේ මිනිස්සුන්ට හෙන 'කික්' එකක් ඇවිල්ල ලොකුපප්පව පන්නල සූරපප්පව ගමේ නායකයා කරගත්ත දවසට පප්පගමට වෙන්නෙත් අපිට වෙච්චි දේම තමයි.
Last edited:

,


