mcn supiri mcn ane plwn nam ara bath athurudahan una ewa kale atharaman wechcha katha tikath dapanko bn himita kywanna asai bn
පස්වෙනියගෙ කතාව.
මේක අපේ කෝඩුකාර අවාරෙ සිරිපාගමනෙදි වෙච්ච දෙයක්. කුරුවිට පාරෙන් මම ඇතුලුව හතරදෙනෙක් තමා ගමන ගියෙ. උදේටයි දවල්ටයි කන්න කෑම ඔතාගෙන, රැටයි පහුවදාටයි උයන්න බලාගෙන පෝටබල් කෙරොසීන් ප්‍රෙශර් කුකර් එකක් හෙම අරගෙන ගියෙ. හතර දෙනෙක් ගියාට මොකෝ අපි පහ පහ කෑම පාර්සල් දහයක් අරන් ගිහින් තිබුනා. හතර දෙනාටම බත් පාර්සල් අටක් දෙවේලටම ඇති උනත් වැඩිපුර කන්න හිතෙයි කියලා හදලා දුන්න ඒවා.
ඉතින් කෝමින් කොහොම හරි අපි උදෙන්ම ට්‍රේල් හෙඩ් එක ගාවට ඇවිත් ගමන පිටත් උනා. ටික දුරක් යනකොට අපේ හතර දෙනාගෙ නඩේට බලු නඩයකුත් සෙට් උනා. උඩට යන්න යන්න බලුනඩේ කෑලි හැලුනා. උඩටම යනකන් ආපු එක්කෙනෙකුත් හිටියා. එයා අපිත් එක්ක යනවට වඩා අපිට පාර පෙන්නන ආපු ලයින් එකෙන් තමා හිටියෙ. අපිට ඉස්සරහින් ටික දුරක් යනකන් යනවා එනකන් බලං ඉන්නවා. ආයෙ හිටිගමන් උඩහට දුවලා නොපෙනී යනවා, එකපාරට පාරෙ උඩ අපි එනකං බලන් ඉන්නවා පේනවා.
ඉතිං ඔහොම ගිහිං ගිහං උදේට කෑවෙ අවාරෙ මහ වැස්සට බාගෙට කැඩිලා තිබුණ කඩකෑල්ලක් ලඟ ඉඳගෙන. බත් පාර්සල් ටික උදේ දවල් කියලා වෙනමම බැඳලා තිබ්බ නිසා උදේ පාර්සලය අතට ගත්තා. අරං කට්ටිය අතරෙ බෙදාගන්න බලනකොට පාර්සල් 4යි තියෙන්නෙ. ඕක ඉතිං වැඩිය ගානක් ගියෙ නැහැ ගෙදර අයට බත් පාර්සලයක් දාන්න අමතක වෙලා ඇති කියලා හිතලා ඔන්න ඔහේ කෑවා. කාලා ඉවර වෙලා ලන්ච්ශීට් සිලිබෑග් පත්තරකොල ටික බැක්පැක් එකට ඔබද්දි දවල් කෑම පාර්සලේ ගනන් කරලා බැලුවා.ඔන්න ඒකෙනං කෑම පාර්සල් පහක් තියනවා ගානට.
උදේට එහෙම වැඩේ ඉවර වෙලා දවල් වෙනකොට අපිට සීතගඟුල ක්‍රොස් කරන තැනට යාගන්න පුලුවන් උනා. එතනදි මූන අතපය හෝදාගෙන දවල්ට කෑවා. පහක් තිබ්බට මොකෝ බිස්කට්, බීම බඩට මගදි දාගත්ත නිසා එක බත් එකත් කෑවෙත් අමාරුවෙන්. ඉතින් කාලා ඉවරවෙලා ප්ලේන්ටියකුත් ගහන්න කුකර් එක හෙම හදලා වතුර රත්වෙන්න දාලා අපි ෆොටෝ ගහන්න ගියා සීත ගඟුල පැත්තට.
ගිහින් ඇවිත් අර බත් කාපු තැන අස්කරලා ඉතිරි බත් එක බලනකොට ඒක නැහැ. මුලින් හිතුවෙ අපිත් එක්ක ආපු බලුබාස් වැඩේ දිලා කියලා. ඒත් ඉරලා දාපු බත් එකක් අහලකවත් නැහැ. බුවා ඉන්නවා නැට්ට වනවනා සිරික්කිය දාගෙන. අනික මිනිහට කට්ටිය ඉතිරි කරපු බතුත් ගොඩක් දාලා තිබ්බා.
ඕකෙන් පස්සෙ පොඩි අවුලක් ආවා හිතට. මේ මොකද උනේ කියලා. විහිලුවට වගේ "මචං ඒ පස්වෙනියා" කියලා කිය කියා අපි ඉදිරියට ඇදුනා. ඔතනින් පස්සෙ හම්බෙන්නෙ මැදහින්න අම්බලම. එතනට යනකංම කට්ටියගෙ හිතේ පොඩි චකිතයකුත් තිබ්බා. ඒ හරියට එනකොට අහසත් කලු කරගෙන ආව නිසා රේන්කෝට් දාගෙන තමා නැග්ගෙ. ඔය මැදහනින් හරියෙදි ට්‍රේල් එක හරිම අත්භූතයි. ඝන කැලෑවයි සීතලයි නිසා අර චකිතය කට්ටියගෙම හිත්වල හොඳට දුවලා තිබිලා තියනවා. කුරුවිටින් ගිහින් මැදහින්න ප්‍රදේශය මතක අයට මම කියන කතාව තේරෙනවා ඇති.
ඒ මදිවට රේන්කෝට් වලට වතුර වැටෙනකොට සටසට සද්දෙට මොකුත් ඇහෙන්නෙ නෑ. නඩේ අන්තිමටම යන මට දැන් මට පිටිපස්සෙන් පස්වෙනියෙක් එනවා වගේ දැනෙනවා. රේන්කෝට් දාලා නිසා හැරෙනවා නම් ඇඟම හරවලා බලන්න ඕනෙ. එච්චර හරියක් කරන්න බැරි නිසා මම මගේ ඉස්සරහින් ගියපු සගයව පහුකරලා හෙමීට ඉස්සරහට ඇදුනා. දැන් මම තුන්වැනියා. ඔහොම ටිකවෙලාවක් යද්දි පිටිපස්සෙ ගියපු කෙනාත් මම කලා වගේම ඉස්සරහට ඇද්දා. මමත් තිබ්බ බයට ආයෙත් ඉස්සරහට ඇද්දා. මේක කිහිප වතාවක්ම සිද්ධ උනා ඕන්. දැන් දෙන්නා කියානොගත්තට මොකේ දෙන්නම එකම දේ තමා හිතන්නෙ. මුලින්ම ගිය දෙන්නට මේ සිද්ධිය ඒතරම් ගානක් නැහැ. පිටිපස්සෙ ගිය අපිට තමා වැඩේ නෝට්. අන්තිමට ඉඳිකටුපහන ගාවට එනකම්ම මොන්ටිසොරි කාලෙ දෙන්නා දෙන්නා අත් අල්ලන් ගියා වගේ තමා ගමන ගියෙ.
අදටත් දන්නෙ නැහැ බත් පාර්සල් වලට මොකද උනේ කියලා. ගෙදරින් ඇහුවම බත් පාර්සල් දහයක් බැඳලා දීලා තියනවා. දවල් එක අර නයිදෙ කෑවා වෙන්නත් බැහැ. පස්වෙනියා අපේ හිත කියලා තමා විශ්වාස කරන්නෙ. ඒ උනාට අදටත් අපි හතරදෙනා ආපහු එනකන් පස්වැනියා මැදහින්නට වෙලා බලං ඉන්නවද දන්නෙත් නැහැ...