ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය යටතේ සාමාන්‍ය තත්ත්වයට බාධා වන හෝ ප්‍රචණ්ඩත්වයට පත්වන ආකාරයෙන් විරෝධතාවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් ඉරිදා පළවූ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පවසා තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පසුගිය දිනවල දක්නට ලැබුණු පරිදි පැය කිහිපයක් ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදෙන සිදුවීම් වැනි ඒවා ඉදිරියේදී හදිසි නීති රෙගුලාසි යොදා ගනිමින් පාලනය කරන බව ඔහු පවසා තිබේ.
“පාර්ලිමේන්තු සැසිවාර සඳහා යන මහජනතාවට සහ මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂිත ගමන් මඟ සැලසීම අපගේ යුතුකමයි,” මේජර් ජෙනරාල් අල්විස් මහතා පැවසීය.

