මුසාවාදා හා ගැහැණු දැරිවිය
මේ දිනවල සමාජ මාධ්‍ය යේ ජනප්‍රිය මාතෘකාවක් බවට එක්තරා මහණනමක් විසින් ධර්ම දේශනයකදී ගැහැණු දරුවන් පවුලකට ඉපැදීමේ හේතුව ගැන කියන කොටසක් පත්ව ඇත. දෙමාපියන්ගේ සංසාරයේ කරනු ලැබූ මුසාවාදයේ ප්‍රතිඵලයක් ලෙස ගැහැණු දරුවන් පවුලකට උපදින බව එහිදී කියයි. මෙය වාද විවාද සඳහා පදනමක් ව ඇත්තේ පුදුම සහගත ලෙසය.
එම මහණනම විසින් ධර්ම දේශනයට හේතු කරගනු ලැබූ පාඨය “චේතිය ජාතකයෙන් ” උපුටා ගන්නට ඇති බවට සිතිය හැක්කේ එහි ඇති පහත ගාථාව නිසාවෙනි.
“මහරජ, දන්නා දැයක් විචාරන ලදුයේ යමෙක් එය අන් අයුරෙකින් පවසා ද, ඔහුගේ කුලයේ ගැහැනු උපදිත්. පිරිමි නූපදනහ.”
සමහරු කියන්නේ මේ ගාථා මුල් බුදු සමයට ඇයත් නොවන බවයි.
එය එසේ තිබුනාවේ.
යම් මහණක් මෙවැනි ප්‍රකාශ කල විට ඒ හරහා වාද විවාද කිරීම බෞද්ධයන්ට සුදුසු නොවේ. මන්දයත් ද්වේශය වැඩෙන බැවිනි. එම දේශන සමඟ ඔබ ගැටීම ඇති කරගැනීම, පාඩුව ඇති කරන්නේ ඔබටමය. අශූචි ගොඩකින් තව කෙනෙකුට පහර දෙන විට ප්‍රථමයෙන්ම අශූචි ගෑවෙන්නේ තමන්ගේ ඇඟේ බව කිසිවිට අමතක නොකරන්න. දොස් නැගීම හා විවේචනය කිරීම ද්වේශ මූලික ක්‍රියාවක් බවට පත්වීම හෝ නොවීම තුල ඇත්තේ කෙස්ගහක වෙනසකි. සද්භාවයෙන් කරන විවේචනයක් තුල ද්වේශය ඇතුල් විය නොහැකි වුවත් දොස් නැගීමේ වුවමනාව තුල කරන විවේචනයක ද්වේශය ඇතුල් විය හැක. අකුසල් මූලික සිතක් වන ද්වේශය ඔබට යහපතක් කිසිවිට ඇති නොකරන්නේය. මේ කුඩා ලිපිය ලියුවේ ඒ නිසාවෙනි.
ලිපිය අවසන් කිරීමට පෙර යමක් සඳහන් කල යුතුය. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේදී ස්ත්‍රීන් හා පුරුෂයන් ලෝකයට හටගැනීම ගැන බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කර ඇත.
“වාසෙට්ඨය, යම් යම් පරිද්දෙකින් ඒ සත්වයෝ නොසානලද භූමියෙහි හටගත්තාවූ සුවඳහැල් අනුභවකරමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටියාහුද, ඒ ඒ පරිද්දෙන් ඒ සත්වයන්ගේ ශරීරයෙහි බොහෝ සෙයින් රළු බව වැඩි විය. වර්ණය අඩු බවද පෙනුණේය. පෙර යමෙක් ස්ත්‍රී වූවාද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේද ඔහුට පුරුෂ ලකුණු පහළවිය. ස්ත්‍රී තොමෝද බොහෝ වේලාවක් පුරුෂයා දෙස බලයි. පුරුෂ තෙමේද ස්ත්‍රිය දෙස බලයි. මෙසේ බොහෝ වේලාවක් ඔවුනොවුන් දෙස බලන්නාවූ ඒ සත්වයන්ට කාම රාගය ඇති විය. ශරීරයෙහි රාග පරිදාහය උපන්නේය. ඒ සත්වයෝ රාග පරිදාහය හේතුකොට මෙවුන්දම් සෙවනය කළහ. වාසෙට්ඨය, ඒ කාලයෙහි යම් ඒ සත්වයෝ මෙවුන්දම් සෙවනය කරන්නාවූ සත්වයන් දකිත්ද, (එකල්හි) සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම වැනි දේ දමා ගසත්. අපිරිසිදු තැනැත්තිය නැසෙව. අපිරිසිදු තැනැත්තිය නැසෙව, කෙසේ නම් (එක්) සත්වයෙක් (අනෙක්) සත්වයෙකුට මෙබන්දක් කරන්නේදැයි කියායි. මෙකලද සමහර ජනපදයන්හි ස්ත්‍රියක ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්. මෙසේ එම පුරාණ ලොකොත්පත්ති වංශ කථාවට අනුව යෙති. ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය. ”
එය දේශනා කරන බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී හා පුරුෂ උපතේ මුල ලෙස එහිදී දක්වන්නේ රාගයයි. උපතේ මුල තණ්හාවයි.
දෙවනුව යම් දෙමාපියන්ට දරුවකු ඉපැදීම දෙමාපියන්ගේ මූලිකත්වයෙන් සිදු වුවද, දරුවාගේ උවමනාවට සිදුවන්නකි. දෙමාපියන් බොරු කිව්වා කියා ලැබෙන දරුවා ගැහැණු දරුවකු වීමට බුදුදහම අනුව නම් නොහැක. නමුත් අදාළ දරුවා ඒ දෙමාපියන් තම දෙමාපියන් ලෙස තෝරා ගතහොත් එවිට කල හැකි දෙයක් නැත. මේ බව දැන සිටි අතීත බෞද්ධයන් නිතරම ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසට, රුවන්වැලිසෑය අබියසට ගොස් ප්‍රාර්ථනා කරනු ලැබුවේ පින්වත් දරුවෙක් අප දෙමාපියන් ලෙස තෝරා ගනිත්වා කියමිනි. දෙමාපියන්ව තෝරා ගැනීම දරුවාගේ ක්‍රියාවකි.
තෙවනුව, චේතිය ජාතකය තුල ප්‍රධාන චරිත දෙකක් හමුවේ. එක් අයකු චේතිය රජුය. අනෙකා කපිල බමුණාය. බමුණු නැත්නම් බ්‍රාහ්මණ ඉගැන්වීම් තුල කාන්තාවකට ලද ස්ථානය ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ගැහැණියගේ නුවණ හැඳිමිටේ ලෙස කීවේ ඔවුන්ය. බුදුරජාණන් වහන්සේ එය පිළිනොගත්තේය. බුද්ධ ශාසනය තුල කාන්තවට ද සැනසීම ලබාදීමට උන්වහන්සේ කටයුතු කල සේක. අකුසල්, පව් කරන පුරුෂයා මෙන්ම කාන්තාව ද නරකයේ ඉපැදේ. යම් කාන්තාවක් මාර්ගඵල ලබා ඇති විටක පුරුෂයා එවැනි මාර්ගඵල ලබා නැත්නම් පුරුෂයාට වඩා ඉහලින් කාන්තාව සැලකිනි. අනේපිඬුසිටුතුමාගේ දුවගේ කථාව මෙහිදී ඔබට සිහිපත්වනු ඇත. එවැනි පසුබිමකදී බමුණු මතවාද, බෞද්ධ දේශනා ලෙස හැඬ වැඩ දමා ඉදිරිපත් කිරීමේ දී දේශකයා මෙන්ම ශ්රාවකයා ද ප්‍රඥාවත් විය යුතු බව අපගේ අදහසයි.
ඒ කෙසේවුවත් තමන් දරණ මතයට බාහිර මතයක් ඉදිරිපත් වූ විට ඒ අරභයා ද්වේශය ඇති කරගැනීම ඔබට සුදුසු නැත. එය සිහිතබා ගන්න.
