The X Files පළමු කතා මාලාවේ එක් පරිච්ඡේදයක් තියෙනවා pathological liar සංසිද්ධිය පිළිබඳව.මේ කතාව නිර්මාණය වෙන්නේ ඊට අවුරුදු සියයකට විතර පෙර සිදුවුනු සත්‍යය සිදුවීමක් අනුසාරයෙන් ගත් දත්ත අනුව.කතාවේ එක තැනක යාන්තමින් ඒ සිදුවීම ගැන කියවෙනවා.ඒ තමයි මේ "ෆිනියස් ගේජ්" (Phineas Gage) සම්බන්ධ සිදුවීම.
මේක ස්නායු වෛද්‍ය විද්‍යාව නව මාවතකට හරවපු හැරවුම් ලක්ෂයක්.මිනිස් සිරුරේ විවිධ ක්‍රියාවලි පාලනය සඳහා විශේෂ වූ ප්‍රදේශ මොළයේ පවතින බව,එනම් විවිධ විවිධ කාර්යන් මොළයේ විවිධ විවිධ ප්‍රදේශ වලින් පාලනය වෙනව කියන කාරණය මේ සිදුවීම සිදුවුනු 1848 වසරට පෙර ලෝකයා දැනගෙන සිටියේ නැහැ.මොළයේ ස්ථානීය කෘත්‍යය පිළිබඳ අදහස මුල්වරට කරලියට ආවේ මේ සිදුවීමෙන්.
"ෆිනියස් ගේජ්" ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙද්දි ඔහු වයස අවුරුදු 25 තරුණයෙක්.දුම්රිය මාර්ග ගොඩනැගීමේ සමාගමක කම්කරුවෙක් විදියට සේවය කරපු ගේජ් දවසක් මාර්ග තැනීම උදෙසා බිම් සකස් කිරීමේ නිරත වෙමින් සිටියා.ඔහුට පැවරුනු රාජකාරිය වුනේ පිපිරීමක් සිදුකිරීම සඳහා කුඩා කුහරයකට වෙඩිබෙහෙත් පිරවීම.මේ සඳහා ඔහු භාවිතා කරා අඟල් 43ක් දිග, අඟල් 1.25ක විශ්කම්භයක් ඇති ලෝක දණ්ඩක්.නමුත් ඒ කාර්යය කරමින් ඉන්නා අතරෙදී අවාසනාවන්ත විදියට කුහරයේ තිබුනු වෙඩිබෙහෙත් පුපුරනවා.ප්‍රතිපලය වුනේ අර ලෝක දණ්ඩ පිපිරුම නිසා ඇතිවුනු බලයෙන් හෙල්ලයක් වගේ වේගයෙන් ඈතට විසිවීම.අඩි 80ක් ඈතට විසිවෙන්න කලින් ඒ දණ්ඩ, ඒ ප්‍රක්ෂිප්තයේ එයට හමුවුනු පළවෙනි බාදකය වුන ගේජ්ගේ හිස හරහා ඉතාම පහසුවෙන් ගමන් කරනවා.ඔහුගේ වම් කම්මුලෙන් ඇතුලත් වූ දණ්ඩ හිස් කබලේ පාදම හරහා ගොස් මොළයේ ඉදිරිපස කොටස පසාරු කරමින් පිටවෙනවා.සාමාන්‍යයෙන් මෙවන් අනතුරකදී ගොදුරු වූ තැනැත්තා මියයාම හෝ අවම වශයෙන් මූලිකවම එතැනදී සිහිසුන් වීම හෝ සිදුවිය යුතු වුනත් ෆිනියස් ගේජ් හැසිරුනේ ඉන් කිසිඳු බලපෑම සිදුනොවුනු ගානට.මොළයේ කොටසක් විනාශ වූ පසුව වුවත් ගේජ් ඊට ඔබ්බෙන් පිහිටි කම්කරු විවේකාගාරය වෙත ඇවිද ගොස් එහි සිටි සිය මිතුරන්ට තමන්ට මෙවන් අනතුරක් වූ බවත් වහාම වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන බවත් දන්වා සිට තිබෙනවා.
එකල මේ සිදුවීම ප්‍රාතිහාර්යක් ලෙසින් බොහෝදෙනෙක් විශ්වාස කරතිබෙනවා.
රෝහලේ නේවාසික ප්‍රතිකාර වලින් පසුව සුවය ලැබූ ගේජ් රෝහලෙන් පිටවන වූයේ පෙර නොවූ වෙනස්ම පුද්ගලයෙක් වශයෙන්.ඔහුට පෙර සියළු මතකයන් එලෙසම පැවති නමුත් ගති පැවතුම් අහසට පොළව මෙන් වෙනස් වී තිබුනා.
ගේජ්ගේ වෛද්‍යවරයා වූ "වෛද්‍ය ජෝන් මාටින් හාර්ලොව්" ගේජ්ගේ සම්පූර්ණ හැසිරීම් ධාරාව වාර්තාගකර ඒ පිළිබඳ පරීක්ෂණාත්මක ගවේශණයක් සිදුකර අතර මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පසුකාලීන හැදෑරීම් ගේජ් සිදුවීම අත්තිවාරමක් වූයේ ඒ අයුරින්.
වෛද්‍ය හාර්ලොව්ගේ වාර්තා අනුව අනතුරට පෙර ෆිනියස් ගේජ් වඩාත් කාරයක්ෂම, වගකීම් සහගත තරුණයෙකු වුවත් අනතුරින් පසුව මත්පැනට ලොල් වූ කුකුල් කේන්තිකාරයෙකු බවට ඔහු පත්වී තිබෙන අතර ඔහුගේ පෞර්ශත්වය සැලකිය යුතු අයුරෙන් වෙනස් වී තිබෙනවා.
වෙනත් හානියක් නොතිබූ නිසාත් පෞර්ශත්වයේ වෙනසක් පමණක් තිබූ නිසාත් ඔහුගේ මොළයේ හානි වූ කොටස සමග එහි සෘජු සම්බන්ධයක් ඇතැයි උපකල්පනය කර ඒ හානි වූ කොටස මිනිසාගේ පෞර්ශත්වය,තීරණ ගැනීමේ හැකියාව ආදිය සමග සම්බන්ධ ඇතැයි හාර්ලොව් ඇතුළු පරීක්ෂකයන් නිගමනය කරා.නමුත් එකල තිබූ අඩු තාක්ෂණික දැනුම නිසා මොළය සිතියම් ගත කිරීමේ හැකියාවක් තිබුනේ නැහැ.
1994 වසරේදී නැවතත් විද්‍යාවේ ඇස ගේජ් සිදුවීම දෙස බැලූ අතර හර්ලොව්ගේ වාර්තා සහ ගේජ්ගේ හිස්කබලේ අස්ථි බිඳුම් අනුව නව තාක්ෂණය භාවිතා කර ගේජ්ගේ මොළයේ හානිවූ කොටස කුමක්දැයි සොයාගැනුනා.ඒ අනුව අනතුරෙන් ගේජ්ගේ මොළයේ "ලලාට කණ්ඩිකාව" (Frontal lobe) විනාශ විනාශ වී තිබෙනවා.නව වෛද්‍ය විද්‍යාත්මක දැනුම අනුව අපගේ පෞර්ශත්වය සහ තීරණ ගැනීමේ හැකියාව සම්බන්ධ කරුණු පාලනය වන්නේ ලලාට කණ්ඩියාවෙන් බව අප දන්නා කරුණක්.ඒ අනුව මොළයේ ස්ථානීය කෘත්‍යයන් සම්බන්ධ ලොව මුල්ම අවධානය දිනාගත් සිදුවීමට මුහුණ දුන් ෆිනියස් ගේජ්ට සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලියි.
අනතුරෙන් පසුව වෙනස්ම මිනිසෙකු වූ ගේජ්ට නැවතත් පෙර රැකියාව නොලැබුනු නිසා ඔහු විවිධ රැකියා රැසක නිරතවූ අතර බොහෝ කාලයක් ඔහු තමන්ට ආශ්චර්යමත් අනතුර සිදුකල ලෝහ දණ්ඩද රැගෙන රටපුරා සංචාරය කරමින් මේ පුදුමට මිනිසුන් ඉදිරියේ ප්‍රදර්ශනය කර මුදල් උපයා තිබෙනවා.අනතුරෙන් වසර 12කට පසුව ගේජ් මියගිය අතර,ඔහුගේ මරණින් වසර හතකට පසුව විශේෂිත අවසරයකින් ඔහුගේ මිහිදන් දේහය ගොඩගත් වෛද්‍ය හාර්ලොව් ඔහුගේ හිස්කබල සහ ලෝහ දණ්ඩ විද්‍යාවේ අනාගත පරීක්ෂණ උදෙසා ආරක්ෂා කර තිබෙනවා.වර්තමානයේදී ඒ හිස්කබල සහ ලෝහ දණ්ඩ හාවඩ් වෛද්‍යපීඨයේ කෞතුකාගාරයේදි දැකගන්න පුළුවන්.
චායාරූප: ෆිනියස් ගේජ් ,හානි වූ හිස්කබල සහ අනතුර සිදුකල ලෝහ දණ්ඩ.
©සංකල්ප ගුණතිලක