මහණ දිවියට පත්වී ගතවූ පළමු දිනයේදීම වයස අවුරුදු 9ක කුඩා සාමනේර හිමි නමක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ විහාරාධිපති හිමිනමකට අනුරාධපුර මහාධිකරණය මගින් පනවා තිබූ වසර 7ක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් අද (12) ස්ථීර කළා.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ හංගමුවේ චන්ද්‍රානන්ද යන හිමිනමටයි.
පී. කුමාරත්නම් සහ ආර්.පී. හෙට්ටියාරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැනුණා.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත්‍රයට අනුව මෙම අපරාධය සිදුව ඇත්තේ 2016 මැයි මස 16 වැනිදා සහ 21 වැනිදා අතර කාලය තුළදීයි.
අදාළ කුඩා සාමනේර හිමි සිය පවුලේ සාමාජිකයන් සමඟ පැමිණ පන්සලේ මහණ වී ඇති අතර, ඔහු මහණ වී ගතවූ පළමු දිනයේම මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා.
වින්දිත සාමනේර හිමියන් ලබා දුන් සාක්ෂිවලට අනුව, උන්වහන්සේ <18+>ඇඳක් මත නිදාගෙන සිටියදී එතැනට පැමිණි විහාරාධිපති හිමියන් මුලින්ම ලිංගික අවයව ස්පර්ශ කර ඇති අතර පසුව එය බරපතළ ලිංගික අපයෝජනයක් දක්වා දිගු වී තිබුණා. </18+>
මෙම සිද්ධිය පිළිබඳව කුඩා සාමනේර හිමියන් සිය මවට පැවසීමෙන් පසු ඇය විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මෙම නඩුව මුලින්ම විභාග වූයේ අනුරාධපුර මහාධිකරණයේදීයි.
එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ මහාධිකරණය, චූදිත හිමිනම වරදකරු කරමින් වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්, රුපියල් 5,000ක දඩයක්, වින්දිත සාමනේර හිමියන්ට රුපියල් ලක්ෂයක (100,000) වන්දි මුදලක් ගෙවන ලෙස දඬුවම් නියම කළා.
මෙම දඬුවමට එරෙහිව චූදිත හිමිනම අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සාක්ෂි පරස්පර බවත්, චෝදනාවේ සඳහන් කාලසීමාව වැරදි බවයි.
අභියාචනය සලකා බැලූ විනිසුරු මඩුල්ල වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළා.
සිද්ධිය වන විට වින්දිතයා වයස අවුරුදු 9ක කුඩා දරුවෙකු බැවින්, වැඩිහිටියෙකුගෙන් බලාපොරොත්තු වන ආකාරයේ 100%ක නිරවද්‍යතාවයකින් යුත් සාක්ෂියක් අපේක්ෂා කළ නොහැකි බව අධිකරණය පැවසුවා.
කෙසේ වෙතත්, සිද්ධිය වූ වහාම පටිගත කරන ලද වීඩියෝ සාක්ෂි පරීක්ෂා කිරීමේදී, එම කුඩා හිමිනම මුළු සිද්ධියම ඉතා පැහැදිලිව විස්තර කර ඇති බව විනිසුරුවරු නිරීක්ෂණය කළා.
දින වකවානු පිළිබඳ යම් යම් පරස්පරතා තිබුණද, මහණ වූ පසුදිනම මෙය සිදු වූ බව එම හිමිනම නිශ්චිතව පවසා ඇති බැවින් පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව අධිකරණය පිළිගනු ලැබුවා.
ඒ අනුව, මහාධිකරණය ලබා දුන් වසර 7ක සිරදඬුවම තවදුරටත් ස්ථිර කළ අභියාචනාධිකරණය, 2024 දෙසැම්බර් මස 17 වැනිදා සිට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළා.
මෙම දඬුවම ක්‍රියාත්මක කරන ලෙසට අනුරාධපුර මහාධිකරණය වෙත ද නියෝග නිකුත් කෙරුණා.
News 19
Nanasara Nodakina News
