දැනුදු බුදු දහම පහත් කොට දක්වනු කැමති අවුල් කරනු කැමති, බෞද්ධයන්ග් ආගම භක්තිය උපායෙන් නසනු කැමති ඇතැම් යුරෝපීය පඬිවරු “අභිධර්ම පිටකය බුද්ධ කාලයේ තිබුණේ නැත. පළමුවන දෙවන සංගායනාවලදීත් තිබුණේ නැත. එය බුද්ධ භාෂිතයෙන් නො වේ ය, එය ද්විතීය සංගායනාවට හා තෘතීය සංගායනාවට අතර කාලයේ දී සම්පාදනය කරන ලද්දකැ යි සිතිය හැකි යයි කියති. බුදුනටත් ඉහළින් යුරෝපීය පඬිවරයන් අභිවාදනය කරන අප රට ඇතැම් බෞද්ධයෝ ද ඒ මත පිළිගෙන මහලොකු දේවල් ලෙස තැන තැන පවසති. ඒ මත පිළිගත් එක්තරා ස්ථවිර නමක් දැන් අභිධර්මයේ අඩුතැන් පුරවන්නටත්, වැරදි තැන් සකස් කරන්නටත් පටන්ගෙන තිබේ. එය මන්ත්‍රය නො දැන නයින් නටවන්නට යෑම වැනි භයානක ඵල ඇතිවියහැකි වැඩක් බව ඒ ස්ථවිර තුමන්ට මතක් කරනු කැමැත්තෙමු.
තථාගතයන් වහන්සේ විසින් බුද්ධත්වයට පැමිණ සත්වන වසරේ දී අභිධර්ම පිටකය දේශනය කළ බව අපේ පොත පතෙහි නොයෙක් තැන්වල සඳහන් වන ප්‍රසිද්ධ කරුණකි. විනය පිටකය ඇති වූයේ අභිධර්ම පිටකය ඇති වී වර්ෂ බොහෝ ගණනක් ගත වූ පසු ව ය. අභිධර්ම පිටකය දේශනය කළ කාලය වන විට සූත්‍ර පිටකයෙන් ද තිබෙන්නට ඇත්තේ සුළු කොටසකි. එබැවින් එකල විසූ බොහෝ භික්ෂූන් අභිධර්ම පිටකය භාවිතා කරන්නට ඇතිවාට සැකයක් නැත. “අභිධර්ම පිටකයක් බුද්ධ කාලයේ නොතිබුණේය” යි කියන්නවුන් විසින් : එකල තිබුණේ යයි පිළිගන්නා සූත්‍ර විනය පිටක දෙක්හි නොයෙක් තැන්වල අභිධර්මය ගැන සඳහන් වන්නේ, ඒ ධර්මය, භික්ෂූන් අතර කෙලින් ම තිබුණු නිසාය.
විනය පිටකයේ පාචිත්තිය පාලියෙහි 72 වැනි පචිතියෙහි අනාපත්ති වාරයේ සඳහන් වන පාඨයක් මෙසේය.
“අනාපත්ති න විවණ්ණේතු කාමො, ඉංඝ තාව සුත්තන්තේ වා ගාථායෙ වා අභිධම්මං වා පරියාපුණස්සු. පච්ඡා පි විනයං පරියාපුණිස්සතීති භණති.”
බුද්ධ කාලයේ අභිධර්ම පිටකයක් නො තිබුනා නම් මේ සික පදය විස්තර කිරීමේ දී අභිධර්මයක් සඳහන් කරන්නට කරුණක් නැත.
තවද පාචිත්තිය පාළියේ භික්ඛුණී විභංගයේ ඡත්තුපාහන වග්ගයේ 12 වන සිකපද විස්තරයේ මෙසේ සඳහන් වේ.
“සුත්තන්තෙ ඔකාසං කාරාපෙත්වා විනයං වා අභිධම්මං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස.
විනයෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා අභිධම්මං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස.
අභිධම්මෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා විනයං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස.
https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/12.html