...ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් යමක තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් යමක තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පස්වැ වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් යමක තෙරුනට තෙල වදාළහ:
ඇවැත්නි, යමකයෙනි, යම්සේ “රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටි ගතයෙක් තොපට උපන්නේ සැබෑ දැ යි?
ඇවැත්නි, “යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි.
ඇවැත්නි, යමකයෙනි ඒ කිමැයි හඟිවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
ඇවැත්නි, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම්, එය දුක් හෝ සුව හෝ වේ ද?
ඇවැත්නි, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දක්නට නිසි ද?
ඇවැත්නි, තෙල නිසි නො වේ ම යැ.
වේදනාව.. සංඥාව.. සංස්කාර.. විඥානය.. නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද?
ඇවැත්නි, අනිත්‍ය යැ .
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ යි?
ඇවැත්නි, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට නිසි ද?
වහන්ස, තෙල නො වේ ම ය.
ඇවැත්නි, යමකයෙනි, එහෙයින් මෙ ලොවැ අතීත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඖදාරික හෝ සුක්ෂ්ම හෝ හීන හෝ ප්‍රණීත හෝ යම් කිසි රුපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රුපයකුත් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේය”යි මෙසේ තෙල තතු සේ සම්‍යක් ප්‍රඥායෙන් දැක්ක යුතු. යම් කිසි වේදනාවක්.. යම් කිසි සංඥාවක්.. යම් කිසි සංස්කාර කෙනෙක් ඇත් ද.. අතිත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්ෂ්ම වේවයි හීන වේවයි, ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේය”යි මෙසේ තෙල තතු සේ විවසුන් නුවණින් දැක්කයුතු.
ඇවැත්නි, යමකයෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක රුපයෙහි දු කලකිරෙයි ... මේ රහත් බව පිණිස කළයුතු අන් කිසෙක් නැතැ යි දැනගනියි.
...“ඇවැත්නි යමකයෙනි, යම් සේ ආඪ්‍ය වූ මහත් ධන ඇති මහත් භෝග ඇති ගැහැවියෙක් ගො ගැහැවිපුතෙක් හෝ වේ ද, හේ ද ආරක්ෂා සම්පන්න ය. ඔහුට අවැඩ කැමැති අහිත කැමැති සිවු උපායෙන් ක්ෂේමභාවය නො කැමැති (උවදුරු කැමැති) දිවි තොර කරනු කැමැති කිසියම් පුරුෂයෙක් උපදනේ ය. ඔහුට මෙ බඳු සිතෙක් වන්නේ ය: “මේ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ ආඪ්‍ය ය. මහත් ධන ඇත්තේ ය. මහත් භෝග ඇත්තේය. හේ ද ආරක්ෂා සම්පන්න ය. මැඩ දිවි තොර කරන්නට සුකර නො වේ. මම ඇතුළට පිවිස දිවි තොර කරන්නෙම් නම් මැනැවැ”යි හේ ඒ ගැහැවියා වෙත හෝ ගැහැවිපුතු වෙත හෝ එළැඹ “හිමි, මුඛට උවැටන් කරන්නෙමි”යි මෙසේ කියන්නේ ය. ඒ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ ඒ මොහු ලව උවැටන් කරවාගන්නේ ය. හේ පළමු නැඟී සිටින්නේ පසු ව හොවින්නේ කුම් කෙරෙම් දැ?යි පුළුවුස්නේ මනවඩන දෑ කරනුයේ පියවදන් බණනුයේ උවැටන් කරන්නේ යි ඔහුගේ ඒ ගැහැවි හෝ
ගැහැවිපුත් හෝ මිතුරු සෙයිනුදු ඔහු හදහන්නේ ය. සුහද සෙයිනුදු ඔහු හදහන්නේ ය. ඔහු කෙරෙහි විශ්වාසයට පැමිණෙන්නේ ය. ඇවැත්නි, යම් කලෙක ඒ පුරුෂහට “මේ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ මා කෙරෙහි ඉතා විශ්වාස ඇත්තේ ය”යි මෙසේ අදහස් වන්නේ ද, එ කල්හි ඔහු එකලා වූවහු දැන තියුණු සැතින් දිවි තොර කරන්නේ යි.
ඇවැත්නි යමකයෙනි, ඒ කිමැයි හඟිවු ද, යම් කලෙක ඒ පුරිස් තෙමේ මේ ගැහැවියා වෙත හෝ ගැහැවිපුතු වෙත එළඹැ “හිමි, මුඛට උවැටන් කරම් දැ”යි මෙසේ කී ද, ඒ කල්හිත් හේ වධකයා ම ය. වධක වූ ම ඔහු මාගේ වධකයා යි නො දත්තේය. යම් කලෙකත් හේ පළමු නැගී සිටින්නේ පසුව හොවින්නේ කුම් කෙරෙම් දැ යි පිළිවදන් අස්වන්නේ මනාප දෑ කරන්නේ, පියවදන් බණන්නේ උවටන් කෙරේ ද, එ කල්හිදු හේ වධකයා ම ය. වධක වූ ම ඔහු මාගේ වධකයා යි නො දත්තේය. යම් කලෙක්හිදු එකලා වූ ඔහු දැන තියුණු සැතින් දිවි තොර කෙරෙ ද, එකල්හිදු හෙ වධකයා ම ය.
...වධක වූ ම ඔහු මාගේ වධකයා යි නො දත්තේ ය. ඇවැත්නි, එසේ ය යි. හේ රූපය මාගේ ආත්මය යි නො පැමිණෙයි. දැඩි වැ නො ගනියි, නො පිහිටයි. වේදනාව (මාගේ ආත්මය යි) නො පැමිණෙයි.. සංඥාව නො පැමිණෙයි.. සංස්කාරයන් නො පැමිණෙයි.. විඥානය මාගේ ආත්මය යි නො පැමිණෙයි. දැඩි වැ නො ගනියි, නො පිහිටයි. ඔහු විසින් මේ පඤ්චොපාදනස්කන්ධයෝ උපගත නො වූවාහු දැඩි වැ නො ගන්නා ලද්දාහු දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස පවතිත් යයි.
ඇවැත්නි ශාරිපුත්‍රනි, යම් කෙනකුන්ට අනුකම්පා කරණ වැඩ කැමැති ඔවදන් දෙන අනුශාසන කරන ආයුෂ්මතුන් වැනි සබ්‍රම්සරහු වෙත් නම් තෙල මෙසේ වෙයි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ මේ ධර්මදේශනාව අසා මාගේ සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදුණේ යයි.
ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ. සතුටු සිත් ඇති ආයුෂ්මත් යමක ස්ථවිර තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ දේශනාව පිළිගත්තේ යි.
☸ මූලාශ්‍රය : යමක_සූත්‍රය : https://tipitaka.lk/sn-3-1-2-4-3/sinh
Last edited: