* * * * * * * * * * * * * * * * * *
අසල්වැසියා තම ගේට්ටුව අසල සිටිනු දකින තරැණ සැමියා වහාම ගෙට රිංගයි.
"ඩාලිං!අර අල්ලපු ගෙදර ආමි අන්කල් ආවොත් එහෙම මම ගෙදර නැහැයි කියන්න"ඔහු සිය බිරිඳට කියා සිටී.
"අනේ ඇයි ඒ වයසක මනුස්සයව මග අරින්නෙ?අපේ තාත්තගෙත් යාළුවෙක්නෙ"තරැණ බිරිඳ සැමියාට කියයි .
"අයියෝ එයාගෙ බෝරිං යුද්ද කතා අහගෙන ඉඳල මට එපා වෙලා තියෙන්නෙ "සැමියා බිරිඳට කියා සිටී."ඒ කාලෙ හිටපු ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියාව එයා වෙඩි තියල මරපු විස්තරේ විතරක් මට දැන් විසි පාරකට වැඩියෙ කියල ඇති "
"පව්!අහිංසකයා"බිරිඳ කියයි .
"තමන් මිනිහෙක්ව මරල දාපු කතන්දරේ හැමදාමත් කියන මනුස්සය අහිංසකයෙක් වෙන්නෙ කොහොමද ඩාලිං ?මිනිහ කොච්චර කෲර මනුස්සයෙක් වෙන්න ඕනද ඔය කතාව පුන පුනා කියන්නෙ .මං හිතුවෙ මං ඒ වගේ මිනිහෙක්ව මග අරිනවට ඔයා කැමති වෙයි කියලයි "
*** *** *** *** *** *** *** *** ***
යුද්ධය පසුබිම් කරගෙන තැනුණු සිංහල චිත්‍රපටයක් මාතර සිනමා ශාලාවක ප්‍රදර්ශනය වෙයි .චිත්‍රපටය අවසානයේ ත්‍රස්තවාදියා යුද හමුදාවට කොටුවී කරකියා ගන්නට දෙයක් නොමැතිව වටපිට බලයි.සිනමා ලෝලියෝ උඩට ගත් හුස්ම පහළට නොගෙන කුමකින් කුමක් සිදුවේදැයි බලා සිටිති .
අවසානයේ ත්‍රස්තවාදියා හමුදාවට හසු නොවී බෙල්ලේ එල්ලාගෙන තිබූ සයනයිඩ් කරල කා මිය යයි .
සිනමා ලෝලියෝ සිය අසුන්වලින් නැගී සිට අත්පුඩි ගසති.සමහරු කටට ඇඟිලි දමා විසිල් කරති .
*** *** *** *** *** *** *** ***
විනෝද ගමන යන බසය නතර කර ඉන් පැමිණි විශ්වවිද්‍යාල සිසු පිරිස බසිති.ඔවුහූ පාර අයිනේ ඉදිකර ඇති කුළුණක් නරඹන්නට වෙති .සමහරු එය පසුබිමට ගෙන ඡායාරූපවලට පෙනී සිටිති .
"අවුරැදු විසිපහකට කලින් මෙතන මහා යුද්ධ භූමියක් වෙලයි තිබුණෙ "ඉතිහාස මහාචාර්යවරයා සිය සිසුන්ට විස්තර කරයි ."හමුදාවෙ තිස්දාහක් විතර කැරළිකාරයො තුන්සිීය වටකරගෙන හිටිය කියන්නෙ මෙතනයි"
"තිස්දාහක් එක්ක තුන්සිීයක්?"සරසවි සිසු සිසුවියෝ විශ්මය පළ කරති."ඒක අසමාන සටනක්නෙ"
"ඒ අන්තිම තුන්සීයෙ එක්කෙනෙක් අන්තිම හුස්ම යන්න කලින් හමුදා සෙබළෙකුට අන්තිමට කියපු කතාව ඒ සෙබළාගෙන්ම මට අහන්න ලැබුණා "මහාචාර්යවරයා කියා සිටී."මිනිහ කිව්වලු තව අවුරුදු විසිපහක් ගියාම තොපේ එවුන්ට වීරයො වෙන්නෙ අපි වෙන්නත් බැරි නෑ බොලව් කියලා"
*** *** *** *** *** *** *** ***
කරැණාකර මේ මානිගෙ තීරැව සුරැකිව තබාගෙන අවුරුදු විසිපහකට පසු නැවත කියවා බලන්න .මා අද ලියූ දේ ගැන එදාට ඔබට කියන්නට දෙයක් තිබුණොත් එය මගේ පුතාට ලියා යවන්න.
සුන්දර නිහතමානි ද මැල්..

