වෛද්‍යවරයකුගේ ආයු කාලය අනෙකුත් සාමාන්‍ය පුද්ගලයකුගේ ආයුකාලයට වඩා වසර 15 කින් අඩු බව ඉන්දීය සමීක්ෂණයකින් හෙළිව ඇතැයි වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසයි.
සමීක්ෂණයට අනුව වෛද්‍යවරුන් සාමාන්‍ය ජනතාවගේ ආයුකාලයට වඩා වසර 15කට කලින් ජීවිතයෙන් සමුගන්නා බව අනාවරණය වේ.
ඉන්දීය වෛද්‍ය සංගමය (Indian Medical Association – IMA) විසින් සිදු කළ ජාතික සමීක්ෂණයක් මගින් පෙන්වා දී ඇති පරිදි, සාමාන්‍ය පුද්ගලයකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 73.6ක් වන අතර, වෛද්‍යවරයෙකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 58.1ක් පමණි.
සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව වෛද්‍යවරු සියයට 22.2ක් මානසික අවපීඩනයෙන් (Depression) පෙළෙති. සියයට 23.3 ක් කාංසාවෙන් (Anxiety) පෙළෙන අතර සියයට 2.8ක් සියදිවි නසාගැනීමේ සිතුවිලි (Suicidal ideation) පවතින බව අනාවරණය වී ඇත.
සමීක්ෂණය අනුව එයට සහභාගී වූ ඉන්දීය වෛද්‍යවරුන් අතරින් සියයට 49.6ක් දැඩි වෘත්තීය පීඩන තත්ත්වයෙන් ද සියයට 39.1ක් මධ්‍යස්ථ වෘත්තීය පීඩන තත්ත්වයෙන් ද සිටින අතර සියයට 11.3ක් පමණක් අඩු වෘත්තීය පීඩන මට්ටමක සිටින බව වාර්තා වී ඇත.
තවද වෛද්‍යවරුන්ගෙන් සියයට 32.1ට අධිරුධිර පීඩනය, සියයට 24.2කට අධික ආතතිය, සියයට 21.7කට දියවැඩියාව, සියයට 19.4කට අධික කොලෙස්ටරෝල්, සියයට 16.8කට ස්ථුලතාව ඇති බව හෙළි වී ඇත.
මෙම සමීක්ෂණය මඟින් අනාවරණය කර ඇති කරුණු ඉන්දියාවට පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල සෞඛ්‍ය පද්ධති සඳහා ද වැදගත් අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතු බවද වෛද්‍ය සුභසිංහ මහතා කියා සිටියේ ය.

